මැතිව් පීරිස් මිනීමැරුම් නඩුව ඇසුරෙන් ප්‍රවීන සිනමා අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් නිර්මාණය කළ “අනුරාගිනී -According to Mathew” චිත්‍රපටය තහනම් කරන ලෙස අගරදගුරු මැල්කම් රංජිත් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂනය කළ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනයට අවසන් සංස්කරණ කටයුතු සදහා සූදානම් වෙමින් සිටින අවස්ථාවේ තමන්ට මේ ගැන දැනගන්නට ලැබුණු බව චිත්‍රපට අධ්‍යක්ෂකවරයා පවසයි. මැතිව් පීරිස් නමැති ඇන්ග්ලිකන් පූජකයකු විසින් වර්ෂ 1977 පමණ සිය බිරියද පෙම්වතියගේ විවාහක සහකරුවාද ඝාතනය කිරීම නිසා ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වූ සිදුවීමේ නඩු වාර්තා පදනම් කරගෙන සිනමා කෘතිය නිර්මානය කළ බව අධ්‍යක්ෂවරයා පවසයි.
පසුගිය කාලයේ සිනමා කෘතිවලට පමණක් නොව සාහිත්‍ය කෘතිවලටද ආගමික බලධාරින්ගේ ආක්‍රමනික මැදිහත්වීමක් සිදුවිය. 1970 සමගි පෙරමුණ පාලනයේ මෙන්ම 1977 එ.ජා.ප. පාලනයේදී සිනමා කෘති, ගුවන්විදුලි ගීත සහ සාහිත්‍ය කෘති පවා වාරණයට ලක් විය. රාජපක්ෂ පාලනය තුළ මංජුල වෙඩිවර්ධනගේ මේරි නම් වූ මරියා, කේ.කේ.සමන් කුමාරගේ නේරංජනේ ස්නානේ වැනි සාහිත්‍ය කෘතිද ප්‍රසන්න විතානගේ පුරහද කලුවර, විමුක්ති ජයසුන්දරගේ සුළග එනු පිනිස, අශෝක හදගමගේ තනිතටුවෙන් පියාඹන්න, අක්ෂරය වැනි සිනමා කෘති රජයේ බාධාවන්ට හෝ වාරනයට ලක් විය.
නමුත් වත්මන් පාලනයේ ප්‍රමුඛ සටන් පාඨ වූයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මානව නිදහසයි. අදහස් ප්‍රකාශනය හා විවේචනය හේතුවෙන් මරා දැමුනු දහස් ගණනකගේ මිනී පෙන්වමින් බලයට පත් වූ වර්තමාන හවුල් ආණ්ඩුවද කලා කෘති වාරණය කිරීම දක්වා පල්ලම් බසිමින් සිටින බවට විචාරකයෝ පෙන්වා දෙති. විශේෂයෙන් රාජපක්ෂගේ පාලනයට සමාන ලෙස අදහස් ප්‍රකාශනය, දේශපාලන නිදහස මර්දනය කරවන සූදානමක් වත්මන් ආණ්ඩුව සතුව ඇති බවට බොහෝ දේශපාලන මතධාරිහු අනතුරු අගවති. ඒ නිසාම කලාකෘතිවලට හා කලාකරුවන්ට එම මර්දනය එල්ලවීම වැලැක්වීමේ සූදානමක්ද අවශ්‍ය බව ඔවුහු පෙන්වා දෙති.