දකුණු චීන මුහුද සහ නැෙඟනහිර ආසියාවෙහි උත්සන්න වන දේශපාලනික ආතතීන්
Posted on 04.15.2015 by Sampath in විදෙස් පුවත් with 0 Comments
දකුණු චීන මුහුදෙහි අයිතිය පිළිබද කතා බහ යළිත් නැෙඟනහිර ආසියානු දේශපාලනය තුළ විවාදාත්මක තලයකට එසවෙමින් පවතී. වෝල් ස්ටී‍්‍රට් ජර්නලය වාර්තා කරන පරිදි ‘අදාළ කලාපය තුළ චීනයෙහි හැසිරීම පිළිබඳව තම රජය ගැඹුරු අවධානයකින් සිටින බව, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ඇෂ් කාටර් පසුගිය සඳුදා ඇරිසෝනා රාජ්‍ය විශ්වවිද්‍යාලයෙහි පැවැති හමුවකදී අවධාරණය කර තිබේ. ආසියානු-පැසිපික් කලාපයේ ආරක්ෂාව පිණිස අවි ආයුධ සහ සටෙල්ත් වර්ගයේ බෝම්බ ප‍්‍රහාරක යානා සඳහා ආයෝජනය කරන බවද ඔහු කියා සිටියි. බලවත් නාවික යාත‍්‍රා සහ ගුවන් යානා ද කලාපයට යොමු කෙරෙනු ඇත. ආරක්ෂක ලේකම්වරයා මෙම සතියෙහිදී දකුණු කොරියාවෙහි සහ ජපානයෙහි සංචාරය කිරීමට ද නියමිතය. එහිදී ද අදාළ රටවල ආරක්ෂාව සම්බන්ධ ප‍්‍රධාන කාරණා පිළිබඳව සාකච්ඡුා කිරීමට සැලසුම් කර තිබේ. අ.එ.ජනපදය දකුණු චීන මුහුද තුළ වර්ධනය වන චීන ආධිපත්‍යය පිළිබඳ තම විරෝධය පළ කළ පළමු අවස්ථාව මෙය නොවන බව කිව යුතුය. වර්ෂ 2011 දී ඉන්දුනීසියාවේ පැවැති ගිනිකොනදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ (ASEAN) කලාපීය රැස්වීමක දී හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් කියා සිටියේ එක්සත් ජනපදයට ආසියාවේ නාවික කටයුතුවලට ප‍්‍රවේශ වීමෙහි ජාතික අවශ්‍යතාවක් සහ බැඳීමක් ඇති බවයි. ඉන් අනතුරුව අවස්ථා ගණනාවකදී ඊට සමාන ප‍්‍රතිචාරයන් පළ කරනු ලැබ තිබේ. ඉන් පැහැදිලි වනුයේ චීනය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර ඉදිරි දශකය තුළ අදාළ කලාපයෙහි ආධිපත්‍යය සම්බන්ධව බරපතළ දේශපාලන ආතතීන් වර්ධනය විය හැකි බවයි.
මතභේදයට තුඩු දී ඇති මුහුදු කලාපය පිහිටා ඇත්තේ චීනය, වියට්නාමය, තායිවානය, මලයාසියාව, බෘනායි සහ පිලිපීනයට මැදිවයි. ඊට වර්ග කිලෝමීටර් මිලියන 1.4ක පමණ ජල තලයක් ඇතුළත්ය. පාර්සෙල්ස්, ස්ප්‍රෙට්ලිස් සහ හුනාන්ගියෑන් ඇතුළු කුඩා දූපත් සමූහයක් ද එතුළ පිහිටා තිබේ. ඒවායේ වපසරිය වර්ග කිලෝ මීටර් 10 කට ආසන්නය. චීනය කියා සිටිනුයේ අදාළ දූපත් සහ යාබද මුහුදු කලාපය වසර 2000 කට වැඩි කලෙක සිට තම රටෙහි අඛණ්ඩ කොටසක් ලෙස පැවැති බවයි. වර්ෂ 1947 දී චීනය තම රටෙහි සීමා පැහැදිලි කිරීම සඳහා සිතියමක් නිකුත් කර තිබේ. ඊට ද අදාළ දූපත් ඇතුළත්ය. ඒ අතරම චීනයෙහි තර්කය මත පිහිටා ඉන් වෙන්ව සිටින තායිවානය ද අදාළ කලාපයට අයිතිවාසිකම් කියා සිටියි. නමුත් වියට්නාමය ඊට එරෙහිව බලවත් ප‍්‍රතිතර්කයක් ගොඩනඟා තිබේ. ඔවුනට අනුව චීනය වර්ෂ 1940 ට පෙර අදාළ දූපත්වලට හෝ සාගර කලාපයට අයිතිවාසිකම් කියා නොමැත. තමන් 17 වැනි ශත වර්ෂයෙහි සිට සකී‍්‍රය ලෙස, වාර්තා සහිතව පාර්සෙල්ස් සහ ස්ප්‍රෙට්ලිස් යන දූපත් පාලනය කළ බව එය තවදුරටත් පෙන්වා දෙයි. පිලිපීනය ද ඉහත කී දූපත් ත‍්‍රිත්වයට, විශේෂයෙන්ම හුනාන්ගියෑන් දූපතට අයිතිවාසිකම් කියාපාන තවත් රාජ්‍යයකි. තවද, මලයාසියාව සහ බෘනායි යන රාජ්‍යයයන්ද අදාළ කලාපයෙහි තමනට ඇති පාර්ශ්වීය අයිතිවාසිකම් පෙන්වා දී තිබේ. ඒ අනුව ගැටලූව අතිශයින්ම සංකීර්ණ බව නොකි මනාය.
දකුණු චීන මුහුද සම්බන්ධව මෙතරම් වැඩෙන උනන්දුවක් සහ කාකොටා ගැනීමක් ජනනය වී ඇත්තේ මන්ද යන්න විමසිය යුතු කරුණකි. තීරණාත්මක වැදගත්කමක් සහිත භූ-මූලෝපායික නාවික මාර්ග කිහිපයක් අදාළ කලාපය හරහා විහිද පවතී. මැද පෙරදිග සහ අපි‍්‍රකාවෙන් චීනයට ආනයනය කෙරෙන සමස්ත තෙල් ප‍්‍රමාණයෙන් 80% ක් පමණ ඊට ළඟා වනුයේ මලක්කා සමුද්‍ර සන්ධිය හරහා දකුණු චීන මුහුද ඔස්සේය. ජපානය හා දකුණු කොරියාව ඇතුළු අනෙකුත් ආසියානු රාජ්‍යයන් ද අදාළ සාගර කලාපය හරහා සිදු කෙරෙන තෙල් ප‍්‍රවාහනය මත රැුඳී සිටියි. සංඛ්‍යාත්මකව පැහැදිලි කළහොත් ලෝකයේ තෙල් ප‍්‍රවාහන නෞකාවන්ගෙන් 50% පමණ අදාළ මුහුදු සීමාව හරහා ගමන් කරයි. එය සූවස් සමුද්‍ර සන්ධිය මෙන් තුුන් ගුණයක සහ පැනමා සමුද්‍ර සන්ධිය මෙන් 5 ගුණයක අගයකි. ලෝකයේ ප‍්‍රධාන වරායන් 10 න් අඩක්ම පිහිටා ඇත්තේ ද දකුණු චීන මුහුදු කලාපයට තදාසන්නවයි.
දකුණු චීන මුහුද, තෙල් සහ ගෑස් සම්පත් සම්බන්ධ නව මූලාශ‍්‍රයක් ලෙසද හඳුනා ගනු ලැබ තිබේ. ලෝක බැංකුවෙහි පුරෝකථනයන්ට අනුව බිලියන 7ක පමණ තෙල් සහ කියුබික් අඩි ටි‍්‍රලියන 900 ක පමණ ගෑස් සංචිත එහි පවතී. බරපතළ බලශක්ති පිපාසයකින් පෙළෙන කලාපයේ රටවලට එය මහඟු නිධානයකි. විශේෂයෙන්ම චීනය ගත් විට එය බරපතළ ලෙස විදෙස් බලශක්ති මූලාශ‍්‍ර මත රඳා පවතින බව පැහැදිලි කරුණකි. ලෝකයෙහි ප‍්‍රධානම තෙල් ආනයනකරුවා වන්නේ ද චීනයයි. පසුගිය දෙසැම්බරයේ දී එහි දෛනික තෙල් ආනයනය ප‍්‍රථම වරට බැරල් මිලියන 7 ඉක්මවා තිබිණි. බලශක්තිය සම්බන්ධව දීර්ඝකාලීන ලෙස අන් රටවල් මත පරාධීන වීම කිසියම් මොහොතක තම ඉදිරි පැවැත්මට තර්ජනයක් බව චීනය දනියි. ඒ නිසාම එය තමන්ගේම වූ තෙල් සැපයුම් කලාපයක් පිළිබඳව දැඩි උනන්දුවක් දක්වයි. දකුණු චීන මුහුද සම්බන්ධ චීනයෙහි ආධිපත්‍යධාරී ප‍්‍රවේශය එහි ප‍්‍රධාන ප‍්‍රකාශනයකි.
තවද, දකුණු චීන මුහුද සුවිශාල ධීවර සම්පත් මූලාශ‍්‍රයක් බව ද අප අමතක නොකළ යුතුය.
චීනය දැනටමත් තම විරෝධය නොතකා දකුණු චීන මුහුදෙහි පාර්සෙල්ස් සහ ස්ප්‍රෙට්ලිස් යන දූපත් ආශී‍්‍රතව කෘතිම දූපත් ද ඇතුළු විවිධ ඉදිකිරීම්වල නිරතව සිටින බව වියට්නාමය සහ පිලිපීනය නිරන්තරව චෝදනා කරයි. තෙල් ගවේෂණ ද ඊට ඇතුළත්ය. වර්ෂ 1974 දී චීනය සහ වියට්නාමය අතර පාර්සෙල්ස් දූපත් සම්බන්ධව යුද ගැටුමක් ද සිදු විණි. ඉන් වියට්නාම් සෙබළුන් 70 කට අධික පිරිසක් මිය ගියහ. අනතුරුව වර්ෂ 1988 දී ස්ප්‍රෙට්ලිස් දූපත් කලාපයට යාබදව තවත් එවැනි නාවික ගැටුමක් වාර්තා විණි. එයින් වියට්නාමයට තම නාවිකයන් 60 දෙනෙක් අහිමි විය. දෙරටෙහි වැසියන් අතර කිසියම් ආකාරයක ජාතිකවාදී ප‍්‍රතිවිරෝධයක් ජනනය වීමට ද පවතින අර්බුදකාරී තත්වය බලපා තිබේ. එකිනෙක රටවල් තුළ සිදු කෙරෙන විරෝධතා උද්ඝෝෂණවල සිට අදාළ කලාපයෙහි මසුන් මැරීමෙහි යෙදෙන ධීවරයන් අතර ගැටුම් දක්වා වන විශාල පරාසයක එය පැතිර පවතී.
අමෙරිකා එක්සත් ජනපදය වර්ෂ 1945 සිට ඉන්දියන් සාගරය සහ මලක්කා සමුද්‍ර සන්ධියද ඇතුළත් ලෝකයේ වඩාත් තීරණාත්මක මුහුදු මාර්ග මත ආධිපත්‍යය දරමින් සිටියි. ඕනෑම අවස්ථාවක ඒවා අවහිර කිරීමට ඊට හැකියාව පවතී. ඒ පිළිබඳව රහසිගත සැලසුම් සකස් කෙරෙමින් පවතින බවද චීනය දනියි. විශේෂයෙන්ම ආනයන සහ අපනයන මත දැඩි ලෙස රඳා සිටින චීන ආර්ථිකයට එය බරපතළ තර්ජනයකි. එම තත්වය තුළ දකුණු චීන මුහුද සහ තදාශ‍්‍රිත නාවික මාර්ග තමන්ට නිරතුරුව විවෘතව තබාගැනීම සඳහා ඔවුන් විෂයෙහි දැඩි අවශ්‍යතාවක් පැන නැඟී තිබේ. කලාපය තුළ චීන සමුද්‍ර අයිතිය චිරස්ථායී ලෙස තහවුරු කරගැනීම ඊට අදාළ එක් පියවරකි. එමතු ද නොව, එතැනින් ඔබ්බට ද ගොස් ඉන්දීය සහ අත්ලාන්තික් මෙන්ම පැසිපික් සාගර කලාපයන් තුළ ද තුළ ද තමන්ට හැසිරවිය හැකි සමුද්‍ර මාර්ගයන් පිළිබඳව ද චීනය උනන්දු වෙමින් සිටියි. පාකිස්ථානය, ලංකාව, බංග්ලාදේශය සහ බුරුමය යන රටවල් සම්බන්ධ කරගත් වරාය ව්‍යෘපෘතින් ඊට දිය හැකි එක් නිදසුනකි. එමෙන්ම පැනමා සමුද්‍ර සන්ධියට විකල්පයක් ලෙස නිකරගුවාව හරහා නව සමුද්‍ර සන්ධියක් ඉදිකිරීමට ද චීන ආයෝජකයෙක් දැනටම ඉදිරිපත්ව සිටියි.
සමුද්‍ර සේද මාවත පමණක් නොව ගොඩ බිම් සේද මාවත ද චීනයෙහි ඇල්ම බැල්ම දිනා ගෙන තිබේ. එය ඇසුරෙහි මධ්‍යම හරහා යුරෝපය සම්බන්ධ කෙරෙන නව මාර්ග පද්ධතියක් වැඩි දියුණු කිරීමට ද චීනය යොමුව සිටියි. උතුරින් රුසියාවෙහි මොස්කව් සහ එහි ඈත පෙරදිග ප‍්‍රදේශයන් මෙන්ම දකුණින් ඉන්දියාව ද ඊට සම්බන්ධ කිරීමට නියමිතය.
රුසියාව හැරුණු විට බ‍්‍රසීලය, දකණනු අප‍්‍රිකාව ඇතුළු ලතින් අමරිකානු සහ අප‍්‍රිකානු රටවල් ගණනාවක් සමඟද චීනය විවිධ මට්ටමින් සබඳතා තහවුරු කරගනිමින් සිටියි. බලශක්ති ක්ෂේත‍්‍රයට අදාළ ආයෝජන ඒ අතර කැපී පෙනෙයි. තවද, තම මෙහෙයුම සහිත ආසියානු කලාපයෙහි යටිතල පහසුකම් සඳහා වන අයෝජන බැංකුවක් ස්ථාපනය කිරීමට ද චීනය පියවර ගෙන තිබේ. දැනටමත් රටවල් 40 කට වඩා වැඩි ප‍්‍රමාණයක් ඊට සම්බන්ධ වීමට කැමැත්ත පළ කර ඇත. එ.ජනපදයෙහි මිතුරන් වන ඕස්ටේරලියාව, බි‍්‍රතාන්‍යය සහ ජර්මනිය ද ඊට ඇතුළත්ය. නමුත් එක්සත් ජනපදය මෙන්ම ජපානය එය මඟහැර තිබේ. ඒ අතරම චීනය ලෝකයෙහි විශාලතම ආර්ථිකය බවට පත්ව ඇතැයි පසුගිය වසරේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවාදාත්මක ලෙස කියා සිටියේය. ඉදිරි දශකය තුළදී එම තත්වය චිරස්ථායි ලෙස තහවුරු කරගැනීමට චීනයට හැකි වනු ඇත. යුධ බලය අතින් ද චීනය සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගෙන තිබේ. වර්ෂ 2014 දී වාර්තා වූ අමෙරිකන් ඩොලර් බිලියන 148 ක් වූ වාර්ෂික ආරක්ෂක පිරිවැය වර්ෂ 2018 දී අමෙරිකන් ඩොලර් බිලියන 189 දක්වා ඉහළ යාමට නියමිතය. තවද, ලෝකයෙහි 3 වැනි විශාලතම අවි අපනයනකරුවා චීනය බව ස්ටොක්හෝම්ස්හි ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය (SIPRI) පසුගිය දා කියා සිටියේය. එයට ඉදිරියෙන් සිටිනුයේ අමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව පමණි.
ඉහත කී සමස්ත චිත‍්‍රය ලෝක ආර්ථික බලවතා වන අමෙරිකා එක්සත් ජනපදයට මෙන්ම එහි ආධිපත්‍යධාරී මුදල් ඒකකය වන ඩොලරයට බලවත් තර්ජනයකි. අමෙරිකා එක්සත් ජනපදය තවමත් එය පදනමින්ම සෙලවීමට සමත් වූ ආර්ථික අර්බුදයෙන් නිදහස්ව නොමැත. එමගගඟින් එහි ස්ථාවරත්වය සහ අසහාය බලය පිළිබඳ අදහස් දැනටමත් දුර්වල කර තිබේ. යුරෝපය ද ඊට සමාන අර්බුදයක ගිලී සිටියි. මෙම තත්වය තුළ තම යුධ බලය මත වැඩි වශයෙන් රඳා පැවතීමට සහ ලෝකය කොල්ල කෑමට එ. ජනපදය යොමුව සිටින බව නොරහසකි. ඇෆ්ගනිස්ථානයේ සිට යුකේ‍්‍රනය සහ මැද පෙරදිග හරහා කෙන්යාව දක්වා වන පුළුල් කලාපයක පැතිර පවතින යුධ ගැටුම් සහ සංහාරයන් එහි එක් ප‍්‍රතිඵලයකි. අනෙක් පසින් ඔවුන් එබඳුම ගැටුම්කාරී ආතතීන් නැෙඟනහිර ආසියානු කලාපය තුළද ජනනය කිරීමට වෑයම් දරමින් සිටියි. විශේෂයෙන්ම චීනය සහ වියට්නාමය අතර මෙන්ම අන් රාජ්‍යයන් අතරද එකිනෙකාට එරෙහිව එදිරිවාදිකම් වර්ධනය කරවීමට එක්සත් ජනපදය සෑමවිටම මාන බලයි. චීනයෙහි ආධිපත්‍යධාරී ප‍්‍රවේශය ද හඳුනා ගන්නා අතරම දකුණු චීන මුහුද සම්බන්ධ අර්බුදයට අමෙරිකා එක්සත් කරන මැදිහත් වීම අප වටහා ගත යුත්තේ එම අර්ථයෙනි. ඇත්තෙන්ම එය අන්තර් අධිරාජ්‍ය කාකොටා ගැනීමක තවත් ස්වරූපයකි.
ගාමිණි හෙට්ටිපතිරණ
Related News