වතුකම්කරුවන් හාම්පුතුන් නමැති කූඩැල්ලන්ගෙන් සහ තොණ්ඩමන්, දිගම්බරන් ආදී වෘත්තීය සමිති නමැති කූඩැල්ලන්ගෙන්ද ගලවා ගත යුතු යැයි කම්කරු අරගල මධ්‍යස්ථානය පවසයි. එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් දුමින්ද නාගමුව පැවසුවේ වතුකම්කරුවන්ට සැබැවින්ම වැටුප් වැඩි වී තිබෙන්නේ රුපියල් 50කින් පමණක් බවයි. එම මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
‘‘මෙම සාමූහික ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව තිබුණේ 2014 වසරේදීය. අවුරුදු තුන හමාරකට පසුවයි මේ ගිවිසුම් අත්සන් කර තිබෙන්නේ. මේ දක්වා වතුකම්කරුවන්ගේ දෛනික වැටුප තිබුණේ රුපියල් 450යි. වෙනත් දීමනා සමග රුපියල් 620ක් ලැබුණා. බඩු මිල වැඩිවීම, ජීවන වියදම් ඉහළ යාම, රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම ආදී කරුණු සලකා බැලූවාම වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි විය යුතුයි.
රාජපක්ෂ පාලනය යටතේ ඇමැතිවරයෙක් වුණු තොණ්ඩමන්ලා ඒ කාලේ කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම වෙනුවෙන් මැදිහත් වුණේ නැහැ. ඒ ප්රශ්නය මග හැරලා ගියා. නමුත් ඒ ආණ්ඩුව වැටිලා ඇමතිකම නැති වුණාම තමයි ඔවුන්ටත් කම්කරුවන්ගේ ඉල්ලීම් වෙනුවෙන් මැදිහත් වෙන්න මතක් වෙලා තියෙන්නේ. දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීම වෘත්තීය සමිතිවල ඉල්ලීමක් පමණක් නොවෙයි. රනිල්ලා, මෛත්රීලා, මේ ආණ්ඩුවේ දිගම්බරන්ලා කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කරනවා කියලා පොරොන්දු වුණා. කම්කරුවන් ඉල්ලූවේ ඒ පොරොන්දුව ඉටු කරන්න කියලා.
දැන් සාමූහික ගිවිසුම අත්සන් කරලා තිබෙනවා. ඊට අනුව දිනක වැටුප වැඩි වෙලා තිබෙන්නේ රුපියල් 450 ඉඳලා 500 දක්වා රුපියල් 50කින් විතරයි. වෘත්තීය සමිතිත් මේකට එකඟ වෙලා තිබෙනවා. අපි අහනවා, මොනවටද මේ රුපියල් පනහක් වැඩි කළේ? මොන දෛනික අවශ්‍යතාවද රුපියල් පනහකින් ඉටු කර ගන්න පුළුවන්? පාන් ගෙඩියක් ගන්න පුළුවන්ද? දැන් දීමනා සමග වැටුප රුපියල් 620 ඉඳලා 730 දක්වා වැඩි වෙලා කියලා කියනවා. නමුත් දීමනාවලින් සාමාන්‍යයෙන් ලැබෙන්නේ රුපියල් 30යි. අනෙක් ඒවා පැමිණීමේ දීමනා සහ ඉලක්ක සම්පූර්ණ කිරීමේ දීමනා. මේවා බොහෝ විට ලැබෙන්නේ නෑ. ඒ නිසා ඇත්තටම දවසකට ලැබෙන්නේ රුපියල් 530යි.
ලංකාවට විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ග අතර තුන්වැනි තැනට තිබෙන්නේ තේ වගාව. නමුත් වතු කම්කරුවන්ට සලකන්නේ මෙහෙම නම් මේ ආර්ථිකය සැප දෙන්නේ කාටද, පොල් කුඩු වගේ මිරිකලා සාරය අරගෙන විසි කරලා දාන්නේ කාවද කියන එක පැහැදිලියි. මේක තක්කඩිකමක්.තමන්ගේ ඉල්ලීම් සැබෑ ලෙසම දිනා ගැනීම වෙනුවෙන් වතුකම්කරුවන්ට දිගු කාලීන අරගලයක් තිබෙනවා කියලා අපි හිතනවා.
ධනේෂ්වර ක්‍රමය තමයි මාසික වැටුපක් හඳුන්වා දුන්නේ. දැන් ධනේෂ්වර ආර්තික ක්‍රමය බොහෝ දුර ගිහින් තිබෙනවා. නමුත් වතුකම්කරුවන්ට මාසික වැටුපක් නැහැ. ඔවුන්ට තිබෙන්නේ දෛනික වැටුපක්. ඒ වගේම ඔවුන්ට ඉඩමක්, නිවසක් නැහැ. ඔවුන් වහළුන් වගේ තියාගෙන වැඩ ගන්න පාවිච්චි කරන්නේ ඒ තත්වය. ඒ නිසා වතුකම්කරුවන්ට දිනකට රුපියල් දහසක්, මාසික වැටුපක්, ඉඩමක්, නිවසක් දිනා ගන්න අපි අරගල කරනවා. ඒ වගේම වතුකම්කරුවන් හාම්පුතුන් නමැති කූඩැල්ලන්ගෙන් වගේම තොණ්ඩමන්ලා, දිගම්බරන්ලා වගේ වෘත්තීය සමිති කූඩැල්ලන්ගෙනුත් ගලවා ගත යුතුයි.’’