වැඩකරන ජනතාවට මේ මොහොතේ සටන් දෙකක් තිබෙන බවත් එක් සටනක් වන්නේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ජනතා ද්‍රෝහී වැඩපිළිවෙළට එරෙහි සටන බවත් අනෙක් සටන කම්කරු ව්‍යාපාරය තුළ තිබෙන අගතීන්ට එරෙහි සටන බවත් දුමින්ද නාගමුව පැවසීය. ඔහු මෙම අදහස් පළ කළේ වෘත්තීය සමිති ගණනාවක් එක්ව සංවිධානය කරන ලද සම්මන්ත්රණකදී අදහස් දක්වමිනි.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසුවේය.
මේ වෙලාවේත් පතල් කම්කරුවන්, පතල් පෞද්ගලිකකරණයට එරෙහිව මහපොළොවෙන් අඩි ගහණනාවක් යට විරෝධතාවක නියැලී ඉන්නවා. තැනින් තැනට වැඩකරන ජනතාවගේ අරගල උද්ගෝෂණ මතු වෙමින් තිබෙනවා. සමහර ඒවා ජයග්‍රහණය කරනවා. සමහර ඒවා පරාජය වෙනවා. සමහර සටන් පාඨ සාකච්ඡුාවට එන්නේත් නැහැ.
උදාහරණයක් විදියට රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීම ප්‍රකාශයට පත් වෙලා අවුරුද්දක් ගත වෙලා තිබෙනවා. නමුත් ඒ පිළිබඳ ප්‍රමාණවත් සාකච්ඡුාවක් තිබෙනවාද කියන ප්රශ්නය තිබෙනවා.
මොන සටන් පාඨ දාගෙන මූණවල් පෙන්නගෙන ආවත් හැමෝගේම ළඟ තියෙන්නේ එක පොතයි. ඒ තමයි නවලිබරල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. මහින්දලාගේ, රනිල්, මෛත්‍රීලාගේ ප්‍රතිපත්තිමය වශයෙන් වෙනසක් නෑ. මේ දෙකේ වෙනසක් නෑ. සරම අඳිනවද, කලිසම අඳිනවද වගේ වෙනස්කම් විතරයි තියෙන්නේ. කෙනෙකුට අවශ්‍ය නම් ඒ ගැන සතුටු වෙන්න පුළුවන්.
මේ ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගය ආයෝජකයන් ගෙන්වීම කියලා කියමින් ඉන්නවා. නමුත් අභාග්‍ය සම්පන්න දේ තමයි අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඔවුන් කී දේ යථාර්ථයක් කරන්න අසමත් වෙලා තිබෙනවා. දැන් බෑනා කියන කතාව මීට කලින් මාමා විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් කිව්වා.
ආයෝජකයන් ආවාම තමන්ගේ විසඳෙයි කියලා තරුණයන්ට උද්දාමයක් තිබෙනවා කියලා පේනවා. නමුත් ඇත්ත තත්වය මොකක්ද? දැනටත් කටුනායක වෙළෙඳ කලාපයේ රැුකියා 30,000ක අතිරික්තයක් තියෙනවා. ඇයි? කවුරුත් යන්නේ නෑ. ඒ සේවා කොන්දේසි යටතේ වැඩ කරන්න බෑ.
අපේ ප්රශ්නය අපේ අත්වලින් රෙදි මහනවාද කාර් හදනවාද කියන එක නොවෙයි. ජීවත් වෙන්න අවශ්‍ය වැටුපක් ගෙවනාවද කියන එක. වැඩකරන ජනතාවගේ ජීවන තත්වයට මොකද වෙන්නේ කියන එක. ඒකයි ප්රශ්නය.
දැන් එට්කා ගිවිසුම අත්සන් කරනවා. ඒකෙන් වෙන්නේ ලංකාවේ වැටුප් තල පහළ වැටෙනවා. දැන් මේකට කලබල වෙලා ඉන්නේ වෛද්‍යවරු, ඉංජිනේරුවෝ වගේ වෘත්තිකයෝ තමයි. නමුත් අවසාන වශයෙන් මේක බලපාන්නේ පහළ පන්තියේ කම්කරුවන්ට.
ආයෝජකයන් ගෙන්වන්න නම්, බංගලාදේශයට, ඉන්දියාවට වඩා අඩු වැටුපට ශ්‍රමය ගන්න පුළුවන්, මෙහෙට වරෙල්ලා කියලා පාලකයන්ට කියන්න පුළුවන් වෙන්න ඕන. එහෙම කුණු කොල්ලෙට වැඩ ගන්න ආයෝජකයන් ආවාට මේ රටේ ජනතාවට වැඩක් නෑ. කිසිම සුගතියක් අත් වෙන්නේ නෑ.
ආර්ථිකයේ ප්රශ්නය ගැන මොකක්ද අපට කියන්නේ? ණය, වෙළෙඳ ශේෂය, අය වැය හිඟය තමයි ප්රශ්නය කියලා අපට රවීලා, රනිල්ලා කියනවා. මේ ප්‍රශ්නයට අනෙක් රටවල් මුහුණ දීලා නැද්ද? අපි අහන්නේ 78 ලංකාවට හඳුන්වා දුන්න ආර්ථික මොඩලය ක්‍රියාත්මක වෙන මොන රටේද ණය, අයවැය හිඟය, වෙළෙඳ ශේෂය ප්‍රශ්නයක් නොවී තියෙන්නේ. මේක මේ ආර්ථික මොඩලයේ ප්‍රශ්නයක්.
ලෝකයේ රටවල් 51ක විතරයි වෙළෙඳ ශේෂය ධන අගයක තියෙන්නේ. මොකද නිෂ්පාදනය කරන්නේ කේන්ද්‍රයේ රටවල්. අපේ රටවල් කරන්නේ පරිභෝජනය කරන්න. ඒක තමයි මේ ක්රමයේ විදිය.
ලෝකයේ වැඩිම ණය තියෙන රට මොකක්ද? ජපානය. දළ දේශීය නිෂ්පාදිතය වගේ 226%ක් ණයයි. අපට පරමාදර්ශයන් විදියට පෙන්වන හැම රටකම තත්වය ඕකයි.
රටේ ආර්ථිකයෙන් ආණ්ඩුවේ කොටස 14%යි. ඉතිරි 86%ම තියෙන්නේ එළියේ. ආණ්ඩුව කොම්පැනියක් කියලා මොහොතකට හිතන්න. අපි ඒකට බදු ගෙවනවා. ඒක හැමදාම පාඩුයි. නමුත් ඉතිරි 86%, ආණ්ඩුවට පිටින් තියෙන සියලූ කොම්පැණි ලාභයි. ඒ ලාභය නැවත රටට ලැබෙනවාද? නෑ. පැනමා පේපර්ස්වල, ස්විස් බැංකුවල සල්ලි දාන එක ගැන සාකච්ඡුා වුණා. 2100දීත් ඉස්කෝලවල උගන්වන්නේ ලංකාව තුන්වැනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. ඒක වෙනස් වෙන්නේ නෑ. ඒක තමයි මේ ආර්ථික මොඩලයේ හැටි.
ලංකාවේ ප්‍රධාන සමාගම් 100යේ 2015 අවුරුද්දේ ශුද්ධ ලාභය බිලියන 196ක්. මේක ඇත්ත ගණන නොවෙයි. ඇත්ත ගණන 300 වෙන්නත් පුළුවන්. අපි දන්නවා, ඔය සමාගම් තමන්ගේ ලාභ හංගලා බොරු වාර්තා ඉදිරිපත් කරන්නේ කියලා.
පසුගියදා ආණ්ඩුව පැනවූ අලූත් බදුවලින් උපයන්න අපේක්ෂා කරන්නේ රුපියල් බිලියන 100යි. අර ප්‍රධාන සමාගම් 100 ශුද්ධ ලාභය විතරයි විතරක් තියෙනවා බිලියන 196ක්. ඒ ශුද්ධ ලාභයෙන් භාගයක් ගන්න බැරි ඇයි? අපෙන්ම හූරගෙන කන්නේ ඇයි? ඉතිං ආණ්ඩුව කියන කොම්පැණිය පාඩුයි. ඉතිරි කොම්පැණි ඔක්කොම ලාභයි. ඒ නිසා අපට ඉදිරිපත් කරන මේ ආර්ථික සූත්‍රයෙන් ගැලවිය යුතුයි.
ආර්ථිකයේ මූලික ප්රශ්නය මොකක්ද? ඇත්තටම ආර්ථිකයේ ප්රශ්නය තමයි ඇති නැති පරතරය. සම්පත් බෙදී යාමේ විශමතාව. ලෝකයේ හැම වසරක් පාසාම මේ පරතරය තීව්ර වෙනවා. ලෝක ජනගනයෙන් දුප්පත්ම අර්ධය භුක්ති විඳින සම්පත්වල ප්‍රමාණයට සමාන සම්පත් ප්‍රමාණයක් ලෝකයේ ඉහළම පොහොසතුන් 60 දෙනා භුක්ති විඳිනවා. මේක තමයි ප්රශ්නය.
රුපියල් 10,000කින් වැටුප් වැඩි කරන්න කියලා ඉල්ලූවේ 2005 ජීවත් වුණු තත්වයට ජීවත් වෙන්න අවශ්‍ය වැටුප. ඇත්තටම වැටුප වැඩි වෙලා තියෙනවාද? වැටුප වැඩි වෙලා නෑ. වැටුපේ ඇත්ත අගය වැඩි වෙලා නෑ. වැටුප එක තැන පල් වෙනවා. බඩු මිල වේගයෙන් ඉදිරියට යනවා. එහෙම දිගටම යන්න බෑ. මොකද කම්කරුවන් කැරලි ගහනවා. ඒ නිසා ඉඳල හිටලා වැටුපත් පොඞ්ඩක් ඉස්සරහට තල්ලූ කරනවා. නමුත් වැටුවේ ඇත්ත අගය වැඩි වෙන්නේ නැහැ.
රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරලා දායකත්ව විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙන්න සමහර වෘත්තීය සමිතිත් එකඟ වෙලා තිබෙනවා. ඒක කණගාටුදායක තත්වයක්. අපි කියන්නේ ඒ පිළිබඳව සලකා බලන්නවත් එපා කියලා. යුරෝපයේ තියෙන්නේ දායකත්ව විශ්‍රාම වැටුපක්. දැන් මොකද වෙන්නේ. ඒක ගෙවන කාලය අවුරුදු 60ට තිබුණේ. ආර්ථික අර්බුදය එද්දී විශ්‍රාම වැටුප ගෙවන වයස වැඩි කරමින් ඉන්නවා. සමහර රටවල්වල ඒක අවුරුදු 62ට 63ට වැඩි කලා. සමහර රටවල්වල ගෙවන්නේ අවුරුදු 67න් පස්සේ. අවුරුදු 67ක් ඉන්න ඕන තමන්ගේම මුදල්වලින් හැදුව දායකත්ව විශ්‍රාම වැටුප ගන්න.
වතුකම්කරුවන් රුපියල් 1000ක් දක්වා දෛනික වැටුප වැඩි කරන්න කියලා ඉල්ලූවා. නමුත් ඔවුන්ගේ මූලික වැටුප වැඩි කළේ රුපියල් 50කින්. 730ක් දක්වා වැඩි කරනවා කිව්වට ඒක ලැබෙන්නේ නෑ. ඒ සම්පූර්ණ මුදල ගන්න නියමිත දින ගණනට වඩා වැඩ කරන්න ඕන. ඔවුන් කියන ටාගට් එක සම්පූර්ණ කරන්න ඕන. අපනයන ආදායම්වලින් තුන්වැනි තැනට ආදායම් ගේන්නේ වතුකම්කරුවන්. ඔවුන්ගේ ප්රශ්නය විසඳන විදියයි මේ.
බිලියන 21කින් වැය පාර්ශ්වය කපලා තියෙනවා. මේ වියදම් අඩු කරලා තිබෙන්නේ රුපියල අවප්‍රමාණය වෙන තත්වයක් තුළ. අධ්‍යාපනයෙන් කපලා. සෞඛ්‍යයෙන් බිලියන 14ක්. විශ්වවිද්‍යාලවලට වෙන් කළ මුදලින් තුනෙන් එකක් කපලා. රාජ්‍ය විශ්වවිද්‍යාල පණ මෙන් රකිනවා කියන ගමන් තමයි මේ කප්පාදුව කරලා තියෙන්නේ. ප්‍රවාහනයට වෙන් කරන මුදල කපලා. දැන් කොළඹ නගරයේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 14යි. මොරටුව විශ්වවිද්‍යාලයේ විද්වතුන් කියනවා මේ ප්‍රවාහන ප්රශ්නය විසඳන්න පුළුවන්. ඒකට පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කරන්න කියලා. මෙහෙම ප්‍රතිපාදන කපන කොට අලූතෙන් කෝච්චි පෙට්ටියක්වත් ගේන්නේ කොහොමද? පාර්ලිමේන්තුවට උඩින් යන්න නම් මුදල් වෙන් කරනවා.
මොවුන් කටයුතු කරන්නේ මූල්‍ය අරමුදල දුන් උපදෙස් මත. මොනවද ඒ උපදෙස්. එකක් තමයි, බදු ඉහළ දැමීම. ඒක කළා. ඊළඟට සුබසාධනය කප්පාදුව. ඒක කරමින් ඉන්නවා. ඊළඟට රාජ්‍ය ව්‍යවසායන් විකිණීම. මූල්‍ය අරමුදල කෙලින්ම කියනවා එයාර් ලංකා පාඩුයි විකුණන්න කියලා. කහටගහ පතල වකුණන්න යනවා. වරාය විකුණන්න යනවා. මේ වළෙන් ගොඩ එන ක්‍රමයක් නොවෙයි. වල තව තවත් හාරන ක්‍රමයක්.
ඊළඟට වෙළෙඳ බාධක ඉවත් කරන්න කියලා කියනවා. අල ගොවියා ආරක්ෂා කරන්න බද්දක් දාලා තියෙනවා නම්, ඒ බදු ඉවත් කරන්න කියලයි මේ කියන්නේ. එට්කා වගේ ගිවිසුම්වල අරමුණත් ඒක. මේ තත්වය නිසා සුළු පරිමාණ ව්‍යවසායකයෙක් ඉන්නවා නම් ඔවුන් හේදිලා යනවා. ඒ වගේම විනිමය පාලනය ඉවත් කරන්න කියනවා.
මේ උපදෙස් තමයි පාලකයන් ක්‍රියාත්මක කරන්නේ. මේ හැම ප්‍රශ්නයක් පිටුපසම තිබෙන්නේ මේ ප්‍රතිපත්තිය. ඒ නිසා හැම සටන් කරන බලවේගයකටම අනෙක් සටන් කරන කොටස් සමග සම්බන්ධයක් තිබෙනවා. එහෙම නැති වුණොත් තනි තනිව වැනසෙන්නයි වෙන්නේ.
ඇතැම් වෘත්තීය සමිති කියනවා, දේශපාලනය එපා කියලා. ඒකට සාධාරණ ඉතිහාසයකුත් තියෙනවා. නමුත් මේ යුගයේදී දේශපාලනයෙන් මිදෙන්න බෑ. සියලූ අරගල ඒකාබද්ධ කළ යුතුයි. දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. කම්කරු පන්තියට මේ මොහොතේ සටන් දෙකක් තියෙනවා. එකක් ආණ්ඩුව ගෙන එමින් තිබෙන ජනතා ද්‍රෝහී ප්‍රතිපත්තියට එරෙහි සටන. දෙවැනි සටන කම්කරු ව්‍යාපාරය තුළ තිබෙන අගතීන්ට එරෙහි සටන. මේ අරගල දෙකම එකවර ක්‍රියාත්මකකළ යුතුයි. එහෙම නැත්නම් ජයග්‍රහණයක් දැන් වෘත්තීය සමිති තියෙන්නේ ශ්‍රේණිවලට. ඒ ගැන ප්‍රශ්නයක් හදාගත යුතු නැහැ. නමුත් ශ්‍රේණියේ ප්‍රශ්නවලට, ආර්ථික සටන් පාඨවලට සීමා නොවී ඒ සීමා අතික්‍රමණය කිරීමේ නිර්මාණශීලි මැදිහත්වීමක් අවශ්‍යයි.
ජෝෂප් ස්ටාලින්, ලංකා ගුරු සංගමය
අය වැයෙන් මුදල් වෙන් කළත් ඒ මුදල් අමාත්‍යාංශවලට ලැබෙන්නේ නැහැ. අවුරුද්ද අවසානයේදී ඒ මුදල් ලැබිලා නැහැ. පැවති සෑම ආණ්ඩුවක්ම එය කරනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුව 2015 ජනවාරි 8 බලයට පත් වුණේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරනවා, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරනවා කියලා. නමුත් පළමු අයවැයෙන් පෙන්නුවා ප්‍රකාශ කළ ඉලක්ක සියල්ල බොරු බව. අයවැයට පස්සේ විවිධ යෝජනා ගෙනත් මුදල් අනුමත කර ගත්තා.
2015ට පෙර විශාල උද්ඝෝෂණයක් තිබුණේ අධ්‍යාපනයට. අයවැයෙන් 6%ක් වෙන්ක රන්න කියලා විශාල ඉල්ලීමක් තිබුණා. මේ ආණ්ඩුවේ ඇමතිවරු තමයි ඒ වේදිකාවල වාඩි වෙලා හිටියේ. නමුත් දැන් අධ්‍යාපනයට වෙන් කරන මුදල බිලියන 76.9ට අඩු කරලා තියෙනවා.
දැන් කියනවා 13 වසර දක්වා ළමයින් පාසලේ රඳවා ගන්නවා කියලා කියනවා. එහෙම ගත්තොත් අලූතෙන් ලක්ෂ තුනකට වැඩි පාසල් සිසුන් ගණනක් පාසල්වල තියා ගන්න වෙනවා. ඒකට ගොඩනැගිලි, ගුරුවරු වෙනත් පහසුකම් අවශ්‍යයි. ඒ සඳහා අයවැයෙන් වෙන් කරන මුදල් වැඩි වෙන්න ඕන. නමුත් කරලා තියෙන්නේ මුදල් අඩු කළ එක. කියන දේවල් සහ මුදල් වෙන් කිරීම අතරේ බරපතළ ප්රතිවිරෝධයක් තිබෙනවා. රනිල් කිව්වා අපි අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් කරනවා කියාල. මේ තමයි විප්ලවීය වෙනස.
පෞද්ගලික පාසල් නියාමනය කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙනවා. ඒකට අපි විරුද්ධයි. මේක අධ්‍යාපනය පෞද්ගලිකකරණය කරන්න ගත්ත විශාල පියවරක්. මේ ආණ්ඩුව ඇවිල්ලා 5/2015 චක්‍රලේඛය නිකුත් කළා. ඊට අනුව පාසලේ වියදම ළමුන් ගණනෙන් බෙදලා අය කරන්න ඉඩ දීලා තිබෙනවා. රුපියල් තුන් හාර දහසේ ඉඳලා 15,000 විතර දක්වා ළමුන්ගෙන් මුදල් අය කරනවා. නිල ඇඳුම කප්පාදු කරලා තිබෙනවා. මේ සැලැස්ම පරාජය කළ යුතුයි.
ලක්ෂ 14ක් රාජ්‍ය සේවකයන් ඉන්නවා. මේ ආණ්ඩුව බලයට පත් කළේ මූලික වැටුප 10,000කින් වැඩි කරන්න කියලා. නමුත් මොකක්ද කළේ? රුපියල් දසදහසේ දීමනාව වැටුපට කොටස් වශයෙන් එකතු කළා. ඒක සම්පූර්ණ වෙන්නේ 2020දී. ඇත්තටම වෙලා තිබෙන්නේ වැටුප් අඩුවීම. බරපතළ රැුවටීමක් කරලා තියෙන්නේ. දැන් ආරංචියක් තියෙනවා, මේ කොටස් වශයෙන් වැටුප් වැඩි කිරීමත් නොකර ඉන්න. ඒ ගැන අපි විශාල වශයෙන් අවධානය යොමු කළ යුතුයි.
දැන් රාජ්‍ය සේවයට යන අයට විශ්‍රාම වැටුප පිළිබඳව යථා කාලයේදී දැනුවත් කරනු ඇත කියලා කියනවා. මෙතෙක් කල් රාජ්‍ය සේවකයන් භුක්ති විඳි විශ්‍රාම වැටුප අහිමි කරලා සියයට දහය, දහය දායකත්ව විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙන්න යනවා. යහපාලනයක් කියන ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ අයිතියට මේ විදියට අත තියනවා නම් ඒක බරපතළ තත්වයක්.
මේ ආණ්ඩුව යන ගමන පැහැදිලියි. මේ තත්වය තේරුම් ගෙන මේ තත්වය පරාජය කිරීම වගේම, අපට ලැබුණු අයිතිවාසිකම් ඉදිරි පරම්පරාවලටත් ආරක්ෂා කර දීම අපේ වගකීමක්.
මහින්ද දේවගේ, සමාජවාදී වතු සේවක සංගමය
අපි අනෙකුත් සාම්ප්‍රදායික වතුකරයේ වෘත්තීය සමිතිවලට වඩා වෙනස් තලයක සිට වතුකම්කරුවාගේ නිදහස, විමුක්තිය, අයිතිය පිළිබඳ ප්‍රශ්න ගැන සාකච්ඡුාවක් කරමින් ඉන්නවා. වතුකම්කරුවාගේ තත්වය අනෙකුත් කම්කරුවාට වඩා වෙනස්. ඔවුන් ගැඹුරු පීඩාවකට පත් වෙලා ඉන්නේ. තොණ්ඩමාන් ඇතුළු ධනපති වෘත්තීය සමිති වටායි කම්කරුවන් පෙළ ගැහිලා හිටියේ. 1940 ගණන්වල 50 ගණන්වල වතුකම්කරුවන් සමසමාජ පක්ෂය වගේ වාමාංශික නැඹුරුවක් සහිතව හිටියා. නමුත් ඔවුන් පාවා දුන්න නිසා ඒ තත්වය වෙනස් වුණා. ඔවුන්ගේ ඡුන්දය ගත්ත සියලූ දෙනා ඔවුන් පාවාදෙමින් සිටිනවා. මේ වෘත්තීය සමිති නායකයන් ඇත්තටම වෘත්තීය සමිති නායකයන් නොවෙයි, වතු හිමියන්.
වතුකම්කරුවන්ට වතුකරය ඇතුළේ අයිතියක් නෑ. ඉන්න ලැයිම්කාමරයේ, භූමියේ අයිතියක් නෑ. තමන්ගේ ජීවිතය පිළිබඳ කිසිම අයිතියක් නෑ. වතුකරයේ අධ්‍යාපනය තවමත් තිබෙන්නේ ඉතාමත්ම පහළ මට්ටමක. සාමාන්‍ය පෙළ පන්තියෙන් ඉහළට පන්ති නැහැ. රෝහල්වල කිසිදු පහසුකමක් නෑ. පුරවැසිභාවය නැති දහස් ගණනක් තවමත් වතුකරයේ ඉන්නවා. වහළුන් ලෙස, වහල් කම්කරුවන් ලෙස ඔවුන් කටයුතු කරනවා කිව්වොත් එය අතිශයෝක්තියක් නොවෙයි.
බොහෝ කම්කරුවන් පසුගිය මාසය දක්වා මාසයකට ලබා ගත්තේ රුපියල් 5000ක්, 8000ක් වගේ වැටුපක්. දැන් වතුකම්කරුවන් මහපාරට ඇවිත් ඉන්නවා. තවමත් පාලකයන්, හම්පුතුන් කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන්න තීරණයක් අරගෙන නැහැ. ඒ නිසා ඒ සටන තවම තිබෙනවා.
වෘත්තීය සමිති තුළ ප්රජාතන්ත්රවාදයක් නෑ. වෘත්තීය සමිති නායකයාට අවශ්‍ය ලෙසයි තීරණ ගන්නේ. මේ ප්රජාතන්ත්ර විරෝධී සම්ප්‍රදායට එරෙහිව කටයුතු කළ යුතුයි.
විජේපාල වීරකෝන්, එක්සත් කම්කරු සම්මේලනය
ඔක්තෝබර් මාසය කම්කරු පන්තියට ඉතාමත් වැදගත් මාසයක්. 1917 දී රුසියානු කම්කරුවන් තමන්ගේ වැඩපොළවල්වල සහ රටේ බලය ගත්තේ පැරණි කැලැන්ඩරයට අනුව ඔක්තෝබර් මාසයේ. ඔක්තෝබර් 7 වැනිදා ජාත්‍යන්තර ගෞරවාන්විත සේවක දිනය ලෙස නම් කරලා තිබෙනවා.
ගෞරවාන්විත රැුකියාවක් කියන්නේ, ගෞරවාන්විත ජීවිතයක් ගත කරන්න අවශ්‍ය වැටුප, නිවාඩු සහ වෙනත් පහසුකම් ලැබෙන රැුකියාවක්. ඒ නිසා දැන් ඔක්තෝබර් හත් වැනිදා කියන්නේ ඒ තත්වය දිනා ගැනීමට සටන් කළ යුතු දිනයක්. අපි උද්ඝෝෂණයක් කළා, පසුගිය 7 වැනිදා ඉල්ලීම් දෙකක් මුල් කර ගෙන. ආණ්ඩුව ජීවන අංක දීමනාව කියලා 321.41ක් ජීවන අංකයකට ගෙවන්න කියලා ගැසට් කරලා තිබෙනවා. නමුත් ගෙවන්නේ නැහැ.
2009 අවුරුද්ද දක්වා මේක ගෙව්වා. 2009 දී මේ දීමනාව ගැසට් කරන එක, ගෙවීම නතර කළා. පහුගිය අවුරුද්ද දක්වාම සටන තිබුණේ මේක ගැසට් කරන්න කියලා. ගිය අවුරුද්දේ ගැසට් කරලා තියෙනවා, ජීවන අංකයකට රුපියල් 321.42ක් කියලා. නමුත් ඒක ගෙවන්නේ නෑ. ඒ නිසා විශාල අරගලයක් තිබෙනවා. හාම්පුතුන්ගේ සම්මේලනය මේක නොගෙවන්න විශාල හඬක් නගමින් ඉන්නවා. කොහේ හරි තැනක ගෙවන්න උත්සාහ කරනවා නම්, ඒක ගෙවන එක වළක්වන්න හාම්පුතුන්ගේ සම්මේලනය කටයුතු කරමින් ඉන්නවා.
ඊළඟට මෑන්පවර් සේවකයන් පිළිබඳ ප්රශ්නය. මේක ලංකාවේ පමණක් නොවෙයි, මුළු ලෝකයේම තිබෙන ප්‍රශ්නයක්. මෑන්පවර් සේවකයන් බඳවා ගත්තාම සිදු වෙන ප්රශ්නය මොකක්ද? ඒක මෑන්පවර් සේවකයන්ගේ ප්‍රශ්නයක් විතරක්ද?
ටෙලිකොම් එකේ සහෝදරවරු තිදෙනෙක් අඩි පන්සීයක් විතර උස කුලූණකට නැගලා උපවාස කළා, තමන්ගේ රැුකියාව ස්ථිර කරන්න කියලා. ඔවුන් අවුරුදු 15ක් විතර සේවය කරනවා. 1200ක් විතර ටෙලිකොම් එකේ මෑන්පවර් සේවකයන් ලෙස වැඩ කරනවා.
මීට පෙර විශාල අරගලයක් කළාට පසුව, රනිල්ගේ මෛත්‍රීගේ නියෝජිතයන් ඇවිත් අට වැනිදා බලයට ආවාට පසුව සියලූ මෑන්පවර් සේවයන් ස්ථිර කරනවා කියලා පොරොන්දු වුණා. ජනවාරි අට ඔවුන් බලයට ආවා. නමුත් මෑන්පවර් සේවකයන් ස්ථිර කළේ නැහැ.
කවුරු හරි සේවකයෙක් ස්ථිර ලෙස සේවයක යොදවනවා නම් ඔවුන් ස්ථිර සේවකයන්. ඔවුන්ට මෑන්පවර් කියලා කියන්න බැහැ. මෑන්පවර් ලේබලය ගහන්නේ අයිතිවාසිකම් නොදී ඉන්න. සියලූම ක්ෂේත්රවල මේ තත්වය තිබෙනවා.
මේ පිළිබඳව අපි නඩු පවරලා තියෙනවා. නමුත් නඩුවලින් මේ ප්රශ්නය විසඳන්න බැහැ. නඩු තීන්දු දෙන්නේ ප්රශ්නය දිහා බලලා නොවෙයි, පෙනී ඉන්න නීතිඥයන්ට තිබෙන පිළිගැනීම මත. ඒ නිසා නඩු තීන්දු මත විශ්වාසය තියන්න බැහැ. වැඩකරන ජනතාවගේ ශක්තිය මතයි දිනන්න පුළුවන්. මෑන්පවර් සේවකයන් ගැනීම ස්ථිර සේවකයන්ටත් බරපතළ ප්‍රශ්නයක්. ස්ථිර සේවකයන් ස්ට්‍රයික් කරන විට මෑන්පවර් සේවකයන් දාලා වැඩ කරනවා. ඒ නිසා මෑන්පවර් ක්‍රමය අහෝසි කරන්න වෘත්තීය සමිති, ස්ථිර සේවකයන් මැදිහත් වෙන්න ඕන.
‘රාජ්‍ය ආයතන විකිණීම නවතනු!’. ‘විශ්‍රාම වැටුපට අත නොතබනු!’. ‘ඊ.ටී.එෆ්, ඊ.පී.එෆ්. කොල්ලකෑමට එරෙහි වෙමු!’. ‘ජීවන අංක දීමනාව වහා ලබා දෙනු!’. ‘මෑන්පවර්, අනියම්, ආදේශක, කොන්ත්‍රාත්, ආවරණ සේවකයන් ස්ථිර කරනු!’. ‘වතුකම්කරුවන්ට ඉඩමක්, නිවසක්, මාසික වැටුපක්, දිනකට රුපියල් 1000ක් ලබා දෙනු!’ යන යටන් පාඨ මූලික කර ගනිමින් මෙම සම්මන්ත්රණ කොළඹ කොටුව,වයි.එම්.සී.ඒ. ශාලාවේදී පැවැත් විණි.
එක්සත් කම්කරු සම්මේලනය, කම්කරු අරගල මධ්‍යස්ථානය, ලංකා ගුරු සංගමය, එක්සත් තටාක සේවක සංගමය, ප්‍රගති ගුරු සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ජනරජ සෞඛ්‍ය පොදු සේවා සංගමය, රජයේ එක්සත් කළමනාකරණ සහකාර සංගමය, සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය, රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය, වාරිමාර්ග පොදු සේවක සංගමය, ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, එක්සත් පොදු සේවක සංගමය, වාණිජ කාර්මික සේවක සංගමය, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය, රජයේ කාර්යාල සේවා සේවක සංගමය යන වෘත්තීය සමිති සහ සංවිධාන එක්ව සම්මන්ත්‍රණය සංවිධානය කරනු ලැබීය. මෙම අවස්ථාවට වෘත්තීය සමිති නියෝජිතයන් විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ.