එක්සත් ජනපද නාවික හමුදා කඳවුරක් ත්‍රිකුණාමලයේ පිහිටුවන්නට සූදානමක් පවතින බවට පසුගිය කාලයේ විවිධ අංශවල සාකච්ඡාවට ලක්ව තිබුණා. ඉංග්‍රීසි බසින් පළවන සති අන්ත පුවත්පතක මේ පිළිබඳ අවධානය යොමු කර තිබුණත් සිංහල ජනමාධ්‍ය ඔස්සේ ඒ ගැන අවධානයක් යොමු වූයේම නැහැ.
ත්‍රිකුණාමලය කියන්නෙ ලංකාවේ පිහිටා තිබෙන නාවික කටයුතු සඳහා සුදුසුම ස්ථානයක් බව ඉතිහාසයේ සිටම පිළිගැනීමට ලක්වුණා. නැපෝලියන්ගේ නාවික හමුදාව පරාජය කළ බි්රතාන්යයේ දක්ෂතම නාවික සේනාධිපති ලෙස සැළකෙන හොරේෂියෝ නෙල්සන් විසින් ත්‍රිකුණාමල වරාය ලෝකයේ නාවික සංග්‍රාමික වශයෙන් අනගිම වරායක් ලෙස නම් කළ බවට ඉතිහාස වාර්තා තිබෙනවා. එක් පැත්තකින් ලෝකයේ වඩාත් කාර්යබහුල නාවික මාර්ගයක පිහිටා තිබෙන ලංකාව සුමුද්රික ප්‍රවාහනය, වෙළෙඳාම හා සංග්‍රාමික මධ්‍යස්ථානයක් බවට විවාදයක් නැහැ. නමුත් එක්සත් ජනපදය මේ සඳහා ත්‍රිකුණාමලය තෝරාගන්නේ ඇයිදැයි කිසිවකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්.

ත්‍රිමලේ – තෙල් ටැංකි පිහිටුවා ඇති ආකාරය
ඉතිහාසය පුරා ලංකාවේ බලය පිහිටුවාගත් රජවරු, යටත්විජිත පාලකයෝ් ත්‍රිකුණාමලය වරායේ ඇති සංග්‍රාමික වැදගත්කම වටහාගෙන සිටියහ. පෘතුගාලය, ස්පාඤ්ඥය, බි්රතාන්ය, ප්‍රංශය යන යටත්විජිතකරණයේ තරගයට පැමිණි රාජ්‍යයන් ත්‍රිකුණාමලය කෙරෙහි ඇස ගසාගෙන සිටියහ. නමුත් සංග්‍රාමික වැදගත්කම නිසා එහි හමුදා බලය පිහිටුවන්නට සමත් වූ බි්රතාන්ය පසුව එය තෙල් ටැංකි සියයක් සහිත වැදගත් නාවික මධ්‍යස්ථානයක් බවට පත් කළහ. එදා මෙන්ම වර්තමානයේ නවලිබරල් ධනවාදය තුළ කලාපීය බලතුලනයට මැදිහත්වන්නට අපේක්ෂා ඇති අධිරාජ්‍යවාදී බලවේගවලටද ත්‍රිකුණාමලය වරාය මර්මස්ථානයක් ලෙස පෙනීම අරුමයක් නොවේ.
විශේෂයෙන් එක්සත් ජනපදයට කලාපීය බලය වෙනුවෙන් ඇති තරගයේදී ඉන්දියාව හා ලංකාවට මැදිහත්වන්නට කේන්ද්‍රයක් අවශ්‍යව තිබේ. ආරක්ෂක කටයුතුවලදී සහයෝගිතාව සඳහා ඉන්දිය පාලකයන් ප්‍රතික්ෂේප කළ ගිවිසුමක් (Acquisition and Cross-Services Agreement-ACSA) මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ලංකාවේදී අත්සන් කරන්නට එක්සත් ජනපදයට හැකි විය. 2002 වසරේ සිට රනිල් වික්‍රමසිංහ පාලනය සමග ඇතිකරගත් සාකච්ඡුාමය එකඟතා තිබුණද එම ගිවිසුම අත්සන් කරනු ලැබුවේ 2007 මාර්තු මාසයේදීය. ඒ අනුව, කලාපීය යුද මෙහෙයුම්වලදී එක්සත් ජනපද හමුදාවලට අවශ්‍ය යුදමය නොවන සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන්නට ලංකා රජය එකඟ වී සිටී. දස අවුරුදු ගිවිසුමක් ලෙස එය 2017දී අලූත් කරන්නට හෝ වඩා ඉදිරි ගිවිසුමකට යන්නට එක්සත් ජනපදය සූදානම්ව සිටී. රාජපක්ෂ ආණ්ඩුවට විවිධ විවේචන ගෙන ආවද වත්මන් හවුල් ආණ්ඩුව එක්සත් ජනපදය සමග ඇති ස්වාමි සේවක සබඳතාවය අත් නොහරිනු නිසැකය. අනෙක් අතට රාජපක්ෂ පාලනය මෙන්ම වත්මන් ආණ්ඩුවද එක්ව ලංකාව ජාත්‍යන්තර වශයෙන් ඇද දමා තිබෙන රාජ්‍යතාන්ත්‍රික වියවුල තුළ ස්වාධීන වන්නට නොහැකිව තිබේ.
තතු මෙසේ නිසාම ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව නාවික කඳවුරක් පිහිටුවන්නට එක්සත් ජනපදයට ඇති අපේක්ෂා ලෙහෙසියෙන් වෙනස් කරන්නට නොහැකිය. එක්සත් ජනපදය විසින් ලොව විවිධ රටවල සිය යුද බලය ස්ථාපිත කර ඇත. ඉහත කී ආකාරයේ සැපයුම්කාර රාජ්‍යයක් බවට පත් කෙරෙන (ACSA) ගිවිසුමට අමතරව යුද බලය රඳවන රාජ්‍යයන් පෙළක් එක්සත් ජනපදයට තිබේ. එවැනි යුද කඳවුරු පිහිටා ඇති රටවල් සමග අත්සන් කර ඇත්තේ (SOFA) නමින් වූ ගිවිසුමකි. බි්රතාන්ය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, රුසියාව, ඔස්ටේ්රලියාව, ජපානය, දකුණු කොරියාව, ඉරාකය, කටාර් ආදී රටවල එක්කෝ නාවික හමුදා එසේත් නැතිනම් ගුවන් හමුදා කඳවුරු එක්සත් ජනපදය විසින් පිහිටුවා ඇත. ලොව පුරා සිය අධිරාජ්‍යවාදී අරමුණු ඉටුකරගන්නට හා යුද බලය පිහිටුවන්නට අවශ්‍ය එක්සත් ජනපදය මීට අමතරව සිංගප්පූරුව, ගුවාම්, දියාගෝ ගාෂියා හා ගුවන්තනාමෝ වැනි ස්ථානවල මිලිටරි මධ්‍යස්ථාන, ඔත්තු සේවා ස්ථාන හෝ සංග්‍රාමික අරමුණු වෙනුවෙන් වෙනත් කටයුතු මෙහෙයවමින් තිබේ.

ඉන්දිය සාගරයේ තෙල් සැපයුම් මාර්ග

