Home / දෙශීය පුවත් / 19යි, 20යි එකතුකරලා ගේන සංශෝධනය කියන්නේ ව්‍යවස්ථානුකූල ඒකාධිපතීත්වය තවදුරටත් තියුණු කිරීමක්
19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හා 20 වෙනි ව්‍යවස්ථා සශෝධනය එක්කර රැගෙන එන නව සංශෝධනය යනු ව්‍යවස්ථානුකූල ඒකාධිපකතීත්වය තවදුරටත් තිවුණු කිරීමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ පෙන්වා දෙන්නේ මෙය පාර්ලිමේන්තුවේ අති දැවැන්ත බලයක් සංඛේන්ද්‍රණය වන මැතිවරණ ක්‍රමයක් සහ විධායක ජනාධිපතිවරයෙක් යන දෙකම එකවර පවත්වාගෙන යාම හරහා ලෝකේ කොහෙවත් නැති ආකාරයේ ඉතාම බලසම්පන්න රාජ්‍යයක් නිර්මාණය කිරීමක් බවයි.
මෙම බලය නිර්මාණය කරගන්නේ නවලිබරල් ධනවාදය ඉදිරියට ගෙනයාමට මිස ජනතාවට සේවය කිරීමට නොවන බවත් මේ නිසා මෙය මහජනයාගේ අයිතීන්වලට ඉතාම අහිතකර බවත් පුබුදු ජයගොඩ වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්
‘‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීම සදහා වන 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් නුදුරේදිම ගෙනඑනවා කියාලා ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ කරමින් තියෙනවා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙම කොටසක් ලෙස කලින් 20 වෙනි ව්‍යවස්ථා ලෙස ඉදරිපත් කිරීමට නියමිතව තිබූ මැතිවරණ ක්‍රම සංශෝධනයත් ගේන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික හෙළ උරුමය ඇතුළු පිරිස් බලකරමින් සිටිනවා. මෙවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් අපේ රටේ ජනතාව ගතයුතු තීරණය මොකක්ද කියන එක ඉතාම බරපතල ලෙස කල්පනා කළ යුතුයි කියලා අපි හිතනවා.
19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ගැන මුලින්ම සාකච්ඡා කළේ දැන් මේ ආණ්ඩුවේ ඉන්න පක්ෂ. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වෙලා මෛත්‍රීපාල සිරිසේනට සහාය දැක්වීමට ආපු පිරිස්, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික හෙළ උරුමය ඇතුළු මේ හැමදෙනාම. ඔවුන් ජනාධිපතිවරණයට කලින් කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොදු අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා කියලා කිව්වේ. ඒක පටුවෙලා, පටුවෙලා, දියාරු වෙලා, කප්පාදු වෙලා අවසානයට ආවේ විධායක ජනාධිපති සතු බලතල අඩු කරනවා කියන තැනට. පහුගිය මාර්තු මාසේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වෙලාවේ අපි දැක්කා, ඒ කියපු ඒවත් මොකුත් නෑ කියලා. අඩුම තරමේ ජනාධිපතිවරයාගේ මුක්තිය ඉවත් කිරීමක්, ජනාධිපතිවරයා රාජ්‍යයේ සහ ආණ්ඩුවේ නායකයා කියන සියළු බලතල ඉවත් කිරීමක්, ජනාධිපතිවරයා ඇමතිධූර දැරීම සීමා කිරීමක්, ජනාධිපතිවරයා අමාත්‍යංශ ලේකම්වරුන් හරහා අමාත්‍යංශ පාලනය කිරීම සීමා කිරීමක්, ඒ කිසිදු දෙයක් 19 සංශෝධනයේ ඇතුළත් වෙලා නෑ. ඉතාම සරළ කාරණා ප්‍රමාණයක් තිබුණා, යම් බලතල ප්‍රමාණයක් අගමැතිවරයාට පවරණ විදියේ.
අවසානයේදී ශ්‍රෙෂ්ඨාධිකරණය තීරණය කරලා තියෙනවා, ඒවත් ජනමත විචාරණයකින් තොරව ක්‍රියාත්කම කරන්න බෑ කියලා. ජනමත විචාරණයකින් තොරව සම්මත කරන්න පුළුවන් කියලා තියෙන්නේ, පාර්ලිමේන්තුව විසරවීමේ කාල සීමාව පාර්ලිමේන්තුව පත්වුණ දින සිට වසරක් කියන සීමාව වසර හතර හමාරක් දක්වා දික් කිරීම කියන කාරණය පමණයි.
දැන් අවසානයේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත කිරීමට යන ව්‍යවස්ථා පනත් කෙටුම්පත ගත්තොත් ඒකේ ඇති දෙයක් නෑ. එකම දේකට තියෙන්නේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසරවීමේ බලය සීමා වෙනවා, ස්වාධීන කොමිසම් සභා හරහා මැතිවරණ සේවයට, රාජ්‍ය සේවයට, අධිකරණයට යම් ආකාරයක නිලධාරීන්ට ස්වාධීනව මැදිහත් වීමේ ඉඩක් හදලා දීලා තියෙනවා. ඒ ඇරුණම විධායක ජනාධිපතිවරයා සතු බලතල කිසිවක් මේ සංශෝධනයෙන් ඉවත් කරලා නෑ.
අපි මේ ප්‍රශ්නය ජනාධිපතිවරණයට කලින් කිව්වා. ජනාධිපතිවරණයට කලින් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනමත විචාරණයක් තියන්නේ නෑ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් ව්‍යවස්ථාව සම්මත කරනවා කියද්දී අපි රටපුරා රැස්වීම් තියමින් කිව්වා මේක සම්පූර්ණ බොරුවක්, ජනමත විචාරණයක් නොතියා විධායක ජනාධිපතිගේ බලතල අඩුකරන්න බෑ කියලා. මොකද ව්‍යවස්ථාවේ තියෙනවා, ජනාධිපතිවරයා සතු බලතල කිසිවෙකුට පැවරිය නොහැක්කේය, කිසිවෙකු විසින් පවරා නොගත යුත්තේය කියලා. අපි ඒ නිසා කිව්වා ජනමත විචාරණයකින් තොරව මේක කරන්න බෑ කියලා. නමුත් රටේ ජනග්‍රහණයෙන් ලක්ෂ 60ක පමණක් පිරිසක් විශ්වාස කළා මෛත්‍රීපාල සිරිසේන මේක කරයි කියලා.
දැන් මේ අතර තමයි සියළු ප්‍රතිගාමී බලවේග මැදිහත්වෙලා මැතිවරණ ක්‍රමය සමානුපාතික ක්‍රමයෙන් වෙනස් කරලා කේවල හා සමානුපාතික නියෝජනයක මිශ්‍රණයක් කියන අලුත් මැතිවරණ ක්‍රමයකුත් මේ සංශෝධනයට එකතු කරන්න යන්නේ. මේක ඉතාම බරපතලයි. මැතිවරණ ක්‍රම සංශෝධනයක් කියන ප්‍රශ්නේ මුලින්ම ආවේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් බලය තුළනය කරන්නේ කෙසේද කියන ප්‍රශ්නෙත් එක්ක. ඒ අයගේ තර්කය වුණේ පාර්ලිමේන්තුවේ බහුතරය තනි පක්ෂයකට ගන්න බැරිකමක් තියෙද්දී අරාජික තත්ත්වයක් ඇතිවෙනවා කියන එක. ඒ මොහොතේ අපි කිව්වේ අරාජිකත්වයක් එන එක ජනතාවගේ අයිතිවාසිකම් පැත්තෙන් හොදයි කියලා. නමුත් ඔවුන් කිව්වේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ බලතලවල යම් තුළනයක් තිබීම හොදයි, අරාජිකත්වය නරකයි කියලා. ඒ නිසා ඔවුන් යෝජනා කළේ විධායක ජනාධිපතිවරයා සතු බලතල කප්පාදු කරනවා, ඒ වෙනුවට විධායක ජනාධිපතිවරයා පත්වන පක්ෂය හෝ වෙනත් එවැනි පක්ෂයකට, වෙනත් පක්ෂවල සහයෝගයෙන් තොරව පැහැදිලි බහුතරයක් දිනාගන්න පුළුවන් ඡන්ද ක්‍රමයක් ස්ථාපිත කරනවා කියලා.
දැන් අන්තිමට වෙලා තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් වෙලත් නෑ, පාර්ලිමේන්තුව තනි පක්ෂයකට පැහැදිලි බහුතර බලයක් ගතහැකි ආකාරයේ මැතිවරණ ක්‍රම සංශෝධනයකටත් යනවා. දැන් මේ තත්ත්වය 1978 ජේ.ආර්. ජයවර්ධන හදුන්වලා දුන්න ක්‍රමයටත් වඩා නරකයි. මොකද ජේ.ආර්. ජයවර්ධන හදුන්වලා දුන්න ක්‍රමයේ විධායක ජනාධිපතිවරයෙක් හිටියා, නමුත් පාර්ලිමේන්තුව හැමදෙනාම නියෝජනය වෙන එකක් තිබුණේ. ඒකේ බහුතරය නිර්මාණය කරගැනීම තනි පක්ෂයකට අසීරු තත්ත්වයක් තිබුණේ. ඒ නිසා යම් තුළනයක් ඒක ඇතුළේ තිබුණා. ඒ සරළ අවම ඉඩ පවා අහෝසි කරලා දැන් අලුතෙන් කරන්න යන්නේ එක පැත්තකින් පූර්ණ බලැති විධායක ජනාධිපතිවරයෙක් ඉන්නවා, අනෙක් පැත්තෙන් බොහෝ අවස්ථාවලදී ඒ ජනාධිපතිවරයාගේම පක්ෂයට අයත් පැහැදිලි බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවකුත් තියෙනවා. ඒ නිසා මේ කරලා තියෙන්නේ රාජ්‍යය අලුත් වටයකින් ශක්තිමත් කිරීම.
දැන් මේ ආණ්ඩුවයි, මේ ආණ්ඩුවට උදව් කරපු පක්ෂයි පුන පනා කියපු එක තමයි විධායක ජනාධිපති ක්‍රමය කප්පාදු කරලා රාජ්‍යය ශක්තිමත් කරනවා වෙනුවට පරවැසියා ශක්තිමත් කරනවා කියලා. දැන් අපි ප්‍රශ්න කරනවා, මේ මැතිවරණ ක්‍රම සංශෝධනයයි, විධායක ජනාධිපති ක්‍රමය සොච්චමක් වෙනස් කරලා කරන බොරුවයි ඇතුළේ ඇත්තටම ශක්තිමත් වෙන්නේ කව්ද කියලා.
ඇත්තටම මේකෙදි වෙන්නේ පීඩිත ජනතාව, පීඩිත පංති ශක්තිමත් වීමක් නෙමෙයි, ඒ අය මර්දනය කිරීම සදහා රාජ්‍යය ශක්තිමත් වීම. ගැහැණියෙක් පිරිමියෙක් කරන්නයි, පිරිමියෙක් ගැහැණියෙක් කරන්නයි විතරක් බෑ කියලා ජේආර් හදපු විධායක ජනාධිපති ක්‍රමයයි, බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවකුයි කියන දෙකම හදපු අති දැවැන්ත බලයක් රාජ්‍යයට ගොඩ ගහන එක.
නවලිබරල් ධනවාදයේ පළවෙනි ඉනිම ලංකාවේ ක්‍රියාත්මක කළේ විධායක ජනාධිපති ක්‍රමයක් හදලා දැවැන්ත අත්තනෝමතිකත්වයක් ඇතුළේ, ඒකෙ දෙවනි ඉනිම ක්‍රියාත්මක කරන්න යන්නේ ඊටත් වඩා අත්තනෝමතිකත්වයක් ඇතුළේ කියලා අපි වසර දෙක තුනක තිස්සේ ඉදලා අපි ප්‍රකාශ කරමින් හිටියා. ඒක තමයි මේ සිද්ධවෙන්න යන්නේ. ව්‍යවස්ථානුකූල ඒකාධිපකතීත්වයක් හදන්න යනවා, පාර්ලිමේන්තුවේ අති දැවැන්ත බලයකුත් සංඛේන්ද්‍රණය වෙන මැතිවරණ ක්‍රමයකුත් හදලා, ඒකටම විධායක ජනාධිපති කෙනෙකුත් දාලා. ඒ නිසා ලෝකේ කොහෙවත් නැති ආකාරයේ ඉතාම බලසම්පන්න රාජ්‍යයක් තමයි මේ ගොඩනගන්න යන්නේ. මේක මහජනයාගේ අයිතීන්වලට ඉතාම අහිතකරයි. මොකද මේ බලය හදාගන්නේ නව ලිබරල් ධනවාදය ඉස්සරහට ගෙනියන්න මිසක ජනතාවට සේවය කරන්න නෙමෙයි.
ඒ නිසා මේ ප්‍රතිගාමී ප්‍රයත්නය අනිවාර්යයෙන් පරාජය කළ යුතුයි. අපි හිතනවා ඒක පරද්දන්න ඕනා පාර්ලිමේන්තුව ඇතුළේ නෙමෙයි. මේක පාර්ලිමේන්තුවෙන් එළියේ මහපාරට ජනතාව ඇවිල්ලා පරද්දන්න ඕනෑ. ඒ නිසා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත්, 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් එකට එකතු කරලා, මැතිවරණ ක්‍රමයත් වෙනස් කරමින්, විධායක ජනාධිපතික්‍රමයේ බලතල සංශෝධනය කරනවා කියලා ඒවත් සංශෝධනය නොකර හුදු කොමිසම් සභා ස්ථාපනය කිරීමෙන් පමණක් කරන්න යන මේ සංශෝධනය කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයක් නෙමෙයි. මෙතෙක් තිබූ අවම හෝ ප්‍රජාතන්ත්‍රවාදයක්, නිදහසක් තිබුණා නම් ඒක පවා අහෝසි කිරීමක්. ඒ නිසා ව්‍යවස්ථානුකූල ඒකාධිපතීත්වය තවදුරටත් තියුණු කිරීම සදහා පාර මේ කපමින් ඉන්නනේ. මේකට විරුද්ධව එකතුවෙන්න, මේකට විරුද්ධව සටන් වදින් කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.’’
වීඩියෝව