ලංකා සතොස සුපිරි වෙළෙඳසැල් ජාලය මඟින් සැපයුම්කරුවන්ට ගෙවිය යුතු රුපියල් බිලියනයක පමණ ණය ප‍්‍රමාණයක් ගෙවා ගැනීමට නොහැකි වීමෙන් සැපයුම්කරුවන් සිය භාණ්ඩ සැපයුම අත්හිටුවීම නිසා සතොස භාණ්ඩ හිඟයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.
සැපයුම්කරුවන්ට මුදල් ගෙවීමේ සීමාව මාස තුනේ සිට නවය දක්වා ඉහළ නැංවීමද සතොසට භාණ්ඩ සැපයීමට සැපයුම්කරුවන් අධෛර්යයට වීමට හේතුවක්වී ඇත. මෙම තත්වය තුළ ලංකා සතොස සුපිරි වෙළෙඳසැල් සමූහය බරපතළ අවධානමකට ලක්ව තිබේ.
ජනාධිපතිවරයා විසින් මෙහි සභාපති ධුරයට පත්කළ කිරාන් අතපත්තු ආයතනය අර්බුදයෙන් ගලවා ගැනීම වෙනුවට එහි සේවිකාවන්ට අයුතු බලපෑම් සිදු කරමින් සිටින බවත් ජනාධිපතිවරයා සමඟ ඇති හිතවත්කම ඔහු සිය අසමත්කම් වසා ගැනීමට භාවිත කරන බවත් අප සමඟ අදහස් දැක්වූ සතොස සේවකයකු පැවසීය.
මෙලෙස ලංකා සතොස ආයතනය විනාශ කිරීමට හේතුව එය පෞද්ගලිකකරණය කිරීම යැයි සේවකයන් චෝදනා කරන අතර ඒ පිළිබඳ ප‍්‍රවෘත්තියක් ජනරළ පසුගිය කලාපයේද පළ විය.
සතොස සතු සුපිරි වෙළෙඳසැල් 200කින් සමන්විත ජාලය වෙනත් සුපිරි වෙළඳසැල් ආයතනයකට පැවරීමේ සූදානමක් පිළිබඳ සේවකයෝ දිගින් දිගටම කරුණු දක්වති.