ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිව්ව වැදි බණ හුළඟට ගහගෙන යන තත්වයක් නිර්මාණය වෙලා – රවීන්ද්‍ර මුදලිගේ

Raveendra-mudalige

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියූ වැදි බණ සියල්ල හුළඟට ගහගෙන යන තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවත් ඒ නිසා රටේ පැහැරගැනීමට ලක්වුණු, අතුරුදහන් කළ පුද්ගලයින් වගේම දේශපාලන රැදවියන්ගේ ප්‍රශ්නෙට විසදුම් ලබාදෙන්න ලෙස ආණ්ඩුවට බලකරන බවත් සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ පැවසීය.

ඔහු මේ අදහස් පැවසූවේ අද (28) දින කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවති උද්ඝෝෂණයකට සහභාගී වෙමිනි.

දේශපාලන රැඳවියන් වහා නිදහස් කරනු යන තේමාවෙන් සම අයිතිය ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණයට වාමාංශික පක්ෂ, සිවිල් ක්‍රියාකාරීන්, කලාකරුවන් හා දේශපාලන රැදවියන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ

‘‘මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනය පරාජය කරලා මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට ගේන්න මැදිහත්වුණු මේ රටේ බහුතරයක් ජනතාවගේ, ඒ සදහා විශේෂ දායකත්වයක් දීපු උතුරු නැගෙනහිර තමිල් මුස්ලිම් ජනතාවගේ අපේක්ෂාව වුණේ පහුගිය රාජපක්ෂ පාලනය ඇතුළේ මිලිටරි හස්තයකට යටත්කරලා තිබුණු උතුරු නැගෙනහිර ජනතාවට නිදහස ලැබෙයි කියලා. ඔවුන් බලාපොරොත්තු වුණා පැහැරගෙන ගිහිල්ලා අතුරුදහන් කරලා තියෙන තමන්ගේ හිතවතුන්, දූ දරුවන් තමන් අතරට එහි, ඔවුන්ට නිදහස ලැබෙයි කියලා. ඔවුන් බලාපොරොත්තු වුණා දේශපාලන සිරකරුවන් බවට පත්කරලා අත්අඩංගුවේ ඉන්න තමන්ගේ සහෝදර සහෝදරියන්ට, දරුවන්ට, දෙමාපියන්ට නිදහස ලැබිලා නැවත තමන් ලගට එන්න, තමන්ගේ ගම්බිම්වලට එන්න නිදහස ලැබෙයි කියලා.
දැන් ඒ පාලනය නිර්මාණය වෙලා දින 100 වැඩපිළිවෙල අවසන් වෙලා මාස හතරක් පහක් ගතවෙනකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයලා, රනිල් වික්‍රමසිංහ මහත්තයලා දේශපාලන සිරකරුවන් නෑ කියන තත්ත්වයට පත්වෙලා තියෙනවා. පහුගිය දවසක මාධ්‍යවේදීන් ප්‍රශ්නකරනකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා දේශපාලන සිරකරුවෝ එක්කෙනෙක්වත් නෑ කියලා. අද අපි සම අයිතිය ව්‍යාපාරය විදියට ඒ දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් එක්ක මේ කොටුව දුම්රියපොළ ඉස්සරහට ඇවිල්ලා කියනවා, වහම ඔවුන් නිදහස් කරන්න.

දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිව්ව වැදි බණ සියල්ල හුළඟට ගහගෙන යන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා අපි බලකරනවා වහාව රටේ පැහැරගැනීමට ලක්වුණු, අතුරුදහන් කළ පුද්ගලයින් වගේම දේශපාලන රැදවියන්ගේ ප්‍රශ්නෙට විසදුම් ලබාදෙන්න ඕන. දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරනන, වර්තමාන පාලනය කටයුතු කරන්න ඕන.

ඒනිසා මේ රටේ පොදු ජනතාව සිංහල, තමිල්, මුස්ලිම් ජනතාව එක්ක, ඒ වගෙම ප්‍රගතිශීලීන්, වාමාංශික සංවිධාන, කලාකරුවන්, සියළුදෙනා එක්ක එකතු වෙලා, මේ රටේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගන්න, උතුරු නැගෙනහිරට වර්තමාන පාලනය ඇතුළෙත් අහිමිකරලා තියෙන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගන්න, සම අයිතිය ව්‍යාපාරයේ අපි සූදානම්. ඒ සියළු බලවේග එක්ක එකතුවෙලා අරගල කරන්න, සටන් කරනන අපි සූදානම්.

ඒ නිසා පහුගිය මැතිවරණ වේදිකාවල දීපු පොරොන්දු ඉෂ්ඨ කරන්න ආණ්ඩුවට බලකරන අතර අපි මේ රටේ සිංහල, තමිල්, මුස්ලිම් පීඩිත ජනතාවට ආරාධනා කරනවා, ඒ තමන්ගේ අයිතීන් දිනාගැනීම සදහා උතුරේ දකු‍ණේ සියළු පීඩිත ජනතාව එකතුවෙමු, ඒකාබද්ධ වෙමු, ඒකාබද්ධ අරගලයකට අපි පෙරමුණ ගමු කියලා සම අයිතිය ව්‍යාපාරයේ අපි යෝජනා කරනවා.’’

Leave a Reply