‘ශ්රී ලංකා ජාතික පෙරමුණ‘ නමින් මුල්වරට මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර 2015දී ‘අපේ ශ්රී ලංකා නිදහස් පෙරමුණ‘ නමින් වෙනස් කර තිබුනු දේශපාලන පක්ෂය මහින්ද රාජපක්ෂ පිල විසින් පවරා ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග හෙලිකරයි.
ඒ අනුව, අංක 8/11, රොබට් අල්විස් මාවත, බොරලැස්ගමුව දරණ ලිපිනයේ සාගර කාරියවසම් නමැති රාජපක්ෂ හිතවාදී නිතිඥවරයා විසින් ලියාපදිංචි කර තිබුනු එම පක්ෂය ‘ශ්රී ලංකා පොදුජන පෙරමුණ‘ නමින් නව පක්ෂයක් ලෙස නොවැම්බර් 18 අනුරාධපුර පැවැත්වෙන උත්සවයකින් එළි දැක්වීමට නියමිත බවද වාර්තා වේ. මෙසේ පක්ෂය නම් වෙනස්කර මහින්ද පිලට පවරාගෙන ඇත්තේ කුමන ගනුදෙනුවක්ද යන්න හෙලිදරව් වී නැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ඇති හිතවත්කම නිසා සාගර කාරියවසම් විසින් පවරා දුන්නාද නැතිනම් මිලදී ගත්තාද යන්න ඉදිරියේදී හෙලිදරව් වනු ඇත.
කෙසේවෙතත් මෙසේ පවරා ගත් පක්ෂයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී.එල්.පීරිස් නම්කර ඇතත් තවමත් ලේකම් ලෙස සටහන්වන්නේ සාගර කාරියවසම් යන නමයි. නොවැම්බර් 18 වැනිදා පැවැත්වෙන උත්සවයේදී නව නිලධාරි මණ්ඩලය ප්රකාශයට පත්වනු ඇති බවට විශ්වාස කෙරේ. මුල් ලියාපදිංචියේ මැතිවරන ලකුණ ලෙස මල්පොහොට්ටුව නම්කර ඇති මෙම පක්ෂය, මහින්ද රාජපක්ෂ ඇතුලු ශ්රී.ලං.නි.ප.යේ හවුල් ආන්ඩුවට එරෙහි පිලේ දේශපාලන ගමන සදහා යොදාගනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.