මහ බැංකුව සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් තිබුණු බැවින් ග්‍රීක් බොන්ඩ් සිදුවීම, පෞද්ගලිකව කොටස් දීමෙන් ලාභ ගැනීම, කොටස් වෙළෙඳපොළේ මගඩි යන මේ සියල්ල ඉදිරියේ විමර්ශනයට ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ‘කෝප් වාර්තාව‘ පිලිබද අදහස් දක්වන්නට ඊයේ(02) සිරිකොත එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති ජනමාධ්‍ය හමුවකදීය.
එහිදී අගමැතිවරයා මෙසේද කියා සිටියේය. “මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එළිදැක්වුණු කෝප් වාර්තාව අපගේ විශාල ජයග්‍රහණයක් බව සඳහන් කළ යුතුයි. මීට පෙර මේ අයුරින් පැහැදිලි තීරණයක් ලබාදුන් අවස්ථාවක් තිබේ යැයි කිසිවෙකුටත් කියන්නට බැහැ. මහ බැංකුව තිබෙන්නේ මගේ යටතේයි.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. මා විසින් ලබන සතියේදී මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය කැදවා තිබෙනවා. ග්‍රීක් බොන්ඩ් සිද්ධිය ඇතුළු සියලූම දේ විභාග කොට ඒ කරුණු සියල්ලත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවෙන් ඒ ගැන ඉදිරි පරීක්ෂණ සිදු කෙරෙනවා ඇති. ඒ පරීක්ෂණ ඒ අයුරින්ම ඉදිරියට සිදු කෙරෙනවා.“