2015 අප්‍රේල් 13
මාධ්‍ය නිවේදනයයි
පෙ.ස.ප යේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයට ජ.වි.පෙ. කඩා වැදීම පිළිබඳව
ඊයේ (අප්‍රේල් 12) රාත්‍රී 8.30 ට පමණ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගන්නෝරුවේ පිහිටි මහනුවර දිස්ත්‍රික් කාර්යාලයට කඩා වැදුණු ජනතා විමුක්ති පෙරමුණේ 15ක පමණ පිරිසක් කාර්යාලය ඉදිරිපස දොර කඩා විවෘත කරමින් එහි රැඳී සිටි අයට තර්ජනය කරමින් ඔවුන් සිරකර තබා ගනිමින් කාර්යාලයේ තිබූ ලිපි ගොනු උපකරණ හා රුපියල් 25,000 ක පමණ මුදලක් පැහැරගැනීමක නිරතවිය. එම පිරිස අතර ජ.වි.පෙ. සාමාජික රුවන් නමැත්තා සහ ජ.වි.පෙ. ප්‍රවාහන වෘත්තීය සමිති සාමාජික තෙන්නකෝන් සිටි බවට හඳුනාගෙන ඇත. මෙම සිද්ධිය අතරතුර පොලිසියට අප කළ පැමිණිල්ලකට අනුව පොලිසිය මෙම ස්ථානයට පැමිණි අතර පොලිසිය පැමිණීමෙන් පසු ඔවුන් එම ස්ථානයෙන් පලා ගියේය. එම අවස්ථාවේ පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළ අතර එම ස්ථානයෙන් ඉවත්ව යාමට ඉඩකඩ ලබා දී තිබුණි.
මෙම සිදුවීම පිළිබඳව සොයාබැලීමට නුවර දිස්ත්‍රික්කයේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ සහෝදර සහෝදරියන් පිරිසක් මෙම ස්ථානයට පැමිණි අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුත්තක නියැලී සිටි පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක සහෝදරයාද මෙම ස්ථානයට ගියේය. ඒ මොහොත වනවිට ජ.වි.පෙ. ඉහත කඩා වැදුණු කණ්ඩායම කාර්යාලයෙන් ඉවත්ව ගොස් සිටි අතර නැවත වතාවක් අළුයම 2.30 ට පමණ කාර්යාල පරිශ්‍රයට කඩා වැදීමට ඔවුන් (ජ.වි.පෙ. පිරිස) උත්සාහ කළේය. එහිදී කාර්යාලයේ රැඳී සිටි සහෝදරවරුන්ගේ ආරක්ෂාව සඳහාත් පක්ෂයේ සම්පත් වල ආරක්ෂාව සඳහාත් රැඳී සිටි සහෝදරවරුන්ට මැදිහත් වීමට සිදුවිය.
එම අවස්ථාවේ ඇතිවූ උණුසුම්කාරී තත්වය පිළිබඳව පොලිසියට කළ දෙවැනි පැමිණිල්ලට පොලිසිය ක්‍රියාත්මක වූ අතර පෙ.ස.ප ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක සහෝදරයා ඇතුළු සාමාජිකයන් 16ක් අත්අඩංගුවට ගත්තේය.
පෙ.ස.ප. ආරම්භකළ මොහොතේ සිටම ජ.වි.පෙ. විසින් පෙ.ස.ප. ඉලක්ක කරමින් පහරදීම් ගණනාවක නිරත විය. මේ මොහොත දක්වාම අපගේ ප්‍රචාරක පෝස්ටර් විනාශ කිරීම ඔවුන්ගේ සාමාන්‍ය පුරුද්දක් වී ඇත. පසුගිය රාජපක්ෂ පාලන සමයේද ඉහත කිසිදු පහර දීමක් පිළිබඳව නිතිය ක්‍රියාත්මක නොවුණි. 2011 සිට මේ දක්වා අවස්තාවන් කිහිපයකදී අපගේ සහෝදරවරුන් 8 දෙනෙකුගේ අත් පා කඩමින් ඔවුන් සිදු කළ පහර දීම් පිළිබඳව නීතිය ක්‍රියාත්මක නොවීම ඒ සඳහා හොඳම උදාහරණයකි. එවකට පැවති රාජපක්ෂ පාලනය අනුග්‍රහය සහිතව ඉහත පහරදීම් සිදුකල බව පැහැදිලිය.
මේ මොහත වනවිට ජාතික විධායක සභාවේ සිටිමින් ජාතික ආණ්ඩුවේ පාර්ශව කරුවෙක් වෙමින් ඒ හරහා ලැබෙන රැකවරණය යොදාගනිමින් ජ.වි.පෙ. ඉහත ක්‍රියා සිදු කරන බව පැහැදිලිය. පසුගිය කාලය පුරාම ජ.වි.පෙ. අනුගමනය කළ ආණ්ඩු ගැති පිළිවෙත හෙලිදරුව් කිරීම නිසා ඇතිවූ වෛරයෙන් නායකත්වය විසින් සාමාජිකත්වය ඉහත ක්‍රියාවලට පොළඹවන බව පැහැදිලිය. පංති සතුරන් සමඟ හුරේ දමමින් වමේ දේශපාලන පක්ෂ වලට පහර දීම ඔවුන්ගේ දේශපාලන පාරාජිකත්වයේ මනා කැඩපතකි. ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව අපට ඇති මතවාදී විවේචනයට මතවාදී ලෙස පිළිතුරු දෙනවා වෙනුවට බාහු බලයෙන් පිළිතුරු දීම ඔවුන්ගේ දේශපාලන දරිද්‍රතාවයේ ප්‍රකාශනයකි.
දේශපාලන මණ්ඩලය
පෙරටුගාමී සමාජවාදී පක්ෂය