ශ්‍රී පාදස්ථානය පිළිබඳව මේ දිනවල විවිධ අදහස් ප්‍රකාශ වුණත් එය සර්වාගමික අච්චාරුවක් නොවන බව එල්ලාවල මේධානන්ද හිමි පවසයි.
‘ලක්බිම‘ පුවත්පතට අදහස් දක්වමින් ගිහි පැවිදි කවුරුන් හෝ අදහස් පළ කිරීමේදී ප්‍රවේශම් විය යුතු බවක් පවසමින් වැරදි අදහස් සමාජගත වූ විට අනාගතයේ අනවශ්‍ය ගැටුම් පවා ඇතිවිය හැකි බවද මේධානන්ද හිමියෝ අවධාරණය කරති. ශ්‍රිපාද විහාරාධිපති ශ්‍රීපාදය විවිධ ආගමික බැතිමතුන්ගේ ගෞරවයට ලක් වූ ස්ථානයක් නිසා එහි කිසිදු ඉඩමක් කිසිවකුට පවරා නැති බවට පසුගිය දා ශ්‍රිපාද විහාරාධිපති විසින් කළ ප්‍රකාශයක් නිසා මෙවැනි අදහස් පළ කිරීමක් කර ඇත.
සෙනරත් පරණවිතාන විසින් ලියූ ‘ගෝඩ් ඔෆ් ඇඩම්ස් පීක්‘ යනුවෙන් පොතක් නිසා සමනල කන්ද ගැන වැරදි මතයක් ඇතිවූ බව හා 7 වන සියවසේ සංස්කෘත නාට්‍ය ග්‍රන්ථයක මෙහි අගස්ති සෘෂිවරයාගේ ආරාමයක් තිබූ බව සඳහන් වුණත් කිසිම අන්‍යාගමික සටහනක් ශ්‍රීපාද කන්දේ නැති බව ඒ හිමියන් ප්‍රකාශ කර ඇත. පොළොන්නරුවේ 1 වෙනි විජයබා රජු ශ්‍රීපාද වඳින්න ගිය මාර්ග සුද්ධ පවිත්‍රකර තැන් තැන්වල අම්බලම් කර වූ බවට සඳහන් මූලාශ්‍ර ගෙන හැර දක්වමින් එල්ලාවල හිමි පෙන්වා දෙන්නේ ඔහුගේ කාලයටත් පෙර සිට ශ්‍රීපාදයට පැමිණෙන මාර්ග තිබූ බවයි. එසේම ගිලීමලේ හා අඹගමුව සෙල්ලිපිවලින් හැටන් හා රත්නපුර ඔස්සේ ශ්‍රීපාදයට පිවිසෙන මාර්ග තිබූ බවත් පසුකාලීනව ‘ඉබන් බතුතා‘ වැනි සංචාරකයන් ශ්‍රීපාද වෙත ගොස් වර්තා සකස් කළ බවත් මේ හේතු නිසා වැරදිමත ලෝකයට ගෙන යන්න එදා වගේම අදත් සමහරු උත්සාහ කරන බවත් එල්ලාවල මේධානන්ද හිමි පවසයි.


