අද උදෑසනජනාධිපති කාර්යාලයේ පැවැති අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂ්‍ය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කලා. මෙමගින් බලාපොරොත්තු වන්නේ ජාතික සමගි සංධාන ආණ්ඩුවක් පිහිටුවීමයි. මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පිළිබදව අප පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩගෙන් විමසා සිටියා පහත පළවන්නේ ඔහු පළකල අදහස්ය.
“ මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ජාතික සමගි සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගත්තා. මෙය රටේ ජනතාවගේ පැත්තෙන් ගත කල ඉතාම අනතුරුදායක තත්වයක්. මීට පෙර මේ පක්ෂ දෙක වෙන වෙනම ක්‍රියාත්මක කළ නව ලිබරල් ප්‍රතිපත්ති දැන් එකට එක්වී ක්‍රියාත්මක කරයි. ජනතා විරෝධය නිසා හකුලා ගැනීමට, කල් දැමීමට සිදුවූ ප්‍රතිගාමී ක්‍රියාමාර්ග මේ බලය භාවිතා කර ක්‍රියාවට නංවයි. ඒවාට ජනතාව විරුද්ධ වන විට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කර ඒකාධිපතිත්වයට ගමන් කරන බව නිසැකයි. දැනටමත් ඒ ලක්ෂණ පෙන්වනවා. සමහරු මේකෙන් මහා වෙනසක් වෙයි කියලා හිතාගෙන හිටියට කිසිම සමාජ යහපතක් වෙන්නේ නෑ. නරකට නරක එකතු වුනාම හොඳ වෙන්නේ නෑනේ. මේක කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ තත්වයක්. වැඩිපුර තිත්ත තමයි සමාජයේ පහල පන්තීන්ට ලැබෙන්නේ.
ඒ එක පැත්තක්. දෙවැනි පැත්ත තමයි විපක්ෂය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෛත්‍රී පාර්ශ්වය ආණ්ඩුවට එක්වීම නිසා විපක්ෂය බවට පත්වන්නේ මහින්ද හිතවාදීන්. විමල් වීරවංශ,උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන වැනි අය විපක්ෂයේ මතවාදී නියෝජිතයන් බවට පත්වෙයි. ඒ කියන්නේ ජාතිකවාදය විපක්ෂයේ නිල මතවාදය බවට පත් වෙන්න ඉඩ තිබෙනවා. මහින්දගේ පාලන කාලයේ ජාතිකවාදය තිබුනේ රාජ්‍යයේ නිල මතවාදය විදියට. එහිදීත් විශාල සමාජමය විනාශයක් සිදු වුනා. ජාතිකවාදය විපක්ෂයේ මතවාදය වන විට එය වඩාත් රැඩිකල්කරණය වෙනවා. සමාජය ඉන්නේ විශාල අවදානමක.
දැන් කළ යුත්තේ විපක්ෂය පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා විපක්ෂයක් ලෙස ගොඩ නැගීම. පාර්ලිමේන්තුව තුල විපක්ෂයක් නෑ. දෙමල ජාතික සන්ධානයත් ජනතා විමුක්ති පෙරමුණත් නව ලිබරල් මතවාදය ඉදිරියේ දන ගහලා ඉන්නේ. අපි 19වැනිදා මාධ්‍ය සාකච්ඡාවේ කියපු දේමයි නැවත කියන්න තියෙන්නේ. “මැතිවරණයෙන් පසු නිවාඩු ගන්න එපා. ජනතාව අද සිටම මේ දැන් සිටම දේශපාලන වශයෙන් සක්‍රිය වෙන්න. සංවිධානය වෙන්න. තමන්ගේ අනාගතය පිලිබඳ තීරණ ගැනීමේ අයිතිය ඊනියා නියෝජිතයන් අතට නොදී ඔබ අතට ගන්න.”
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි මහ ලේකම් කබීර් හෂීම් හා ශ්‍රීලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි වැඩ බලන ලේකම් දුමින්ද දිසානායක යන අය එම අවබෝධතා ගිවිසුමට අද පෙරවරුවේ අත්සන් කර තිබේ.