ජනතාව විපක්ෂය ගොඩ නැගිය යුතුයි – පෙ.ස.ප.

pubudu
අද දින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය  හමුවක් මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේහිදී  පස්වරු1.00ට පැවැත්විනි. එම මාධ්‍ය හමුව සදහා එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ හා එහි ජාතික කමිටු සාමාජික සුරංග ප්‍රියදර්ශන සහභාගීවිය.
එම මාධ්‍ය හමුවේදී පුබුදු ජයගොඩ දැක්වූ අදහස් පහත පළවේ.
පසුගිය 17 වැනිදා පැවැති මැතිවරණයෙන් පසුව දැන් හවුල් ආණ්ඩුවක් නිර්මාණය කරන්න යනවා. මෙවර මැතිවරණයෙන් ජනතාව කිසිවකුට බහුතරයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන්න බලය දීලා නැහැ. අප මේ ගැන මැතිවරණයට පෙර පැවත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ පරිදි බහුතර බලයක් කිසිදු පක්ෂයකට හිමි වී නෑ. මේ තත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් හදන්න ගිවිසුමක් අත්සන් කළා.කෙසේ වෙතත් මේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව හදන ආණ්ඩුවට මේ රටේ ප්‍රශ්න විසදන්න බැරි බව නම් අපට ස්ථිරවම කියන්න පුළුවන්.  1947 මැතිවරණයේ ඉදලා පසුගිය ඉතිහාසය පුරාම තවත් පක්ෂ සමග යම් සංධාන, සම්මුති හවුල් හා එකගතා යනාදිය උපයෝගී කරගෙන මේ පක්ෂ දෙක මෙරට පාලනය කළා. ජනතාව රවටමින් විවිධ පොරොන්දු දෙමින් තමයි පසුගිය වසර 70ක් පමණ මෙරට පාලනය කළේ, නමුත් මේ පක්ෂ දෙකේ නායකත්වයෙන් පිහිටවපු එකම ආණ්ඩුවකටවත් බැරි වුනා මෙරට ජනතාවගේ ප්‍රශ්න වලට නිසි පිලියම් යොදන්න. තනි තනිව මේ පක්ෂ දෙක කල දේට වඩා වෙනස් දෙයක් එකතු වෙලා කරන්නේ නෑ. වසර 70ක් ලිහලා බලලා තියෙන මල්ල ආයේ ඔබලා බලන්න දෙයක් නෑ. මේ එකතු වෙන්නේ කුණු ගොඩවල් දෙකක්. තිත්තට තිත්ත එකතු වෙන්නේ. කොහොඹ ගහට කරවිල වල ගියා වගේ කියන උපමාව තමයි සිහිපත් වෙන්නේ.
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය 21වැනි දින එකගතා ගිවිසුමක් අත්සන් කළා. පක්ෂ දෙකේ ලේකම්වරු දෙදෙනා තමයි මේකට අත්සන් කලේ මොකක්ද මේ ගිවිසුමේ තියෙන්නේ ප්‍රධාන කරුණු 10 ක් ගැන කිව්වාට ඇත්තටම තියෙන්නේ කරුණු 07යි.
එහි තිබෙන අංක එක සමාජ වෙළදපොල ආර්ථිකය මේකේ කියන්නනේ මොකක්ද අප දන්න විවෘත ආර්ථිකයම තමයි මේ කියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් තිබුනා සමාජ වෙළඳපල ආර්ථිකය කියන්නේ විවෘත ආර්ථිකයම පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමක් කියලා.  අනික තමයි මෙකේ කියලා තියෙනවා රැකියා දශ ලක්ෂයක් බිහිකරනවා කියලා ඉතින් රැකියා දශ ලක්ෂයක් බිහිකරන්න නම් දිනකට රැකියා 550වත් බිහි කරන්න වෙනවා මේ ඉලක්කය සපුරන්න බැරි දෙයක්. ලංකාව ලෝක ආර්ථිකයේ ලොකු කොටසක් අත්පත් කර ගන්නවා කියලාත් තියෙනවා. වැඩකරන ජනතාවට ඔවුන් නිර්මාණය කරන වටිනාකම් වලින් සාධාරණ කොටසක් දෙන්න කිව්වාම අපට මනෝරාජික කියනවා. මේක මනෝරාජික නැද්ද? මේවා ප්‍රායෝගිකද? මේ කරන්නේ රැවටීමක්.
අනික මේකේ දෙවැනි කරුණ ලෙස තියෙන්නේ නිදහස තහවුරු කිරීම ගැන. ඒ කියන්නේ සමාජය තුල ප්‍රජාතන්ත්‍රවාදයට තිබුනු ඉල්ලුම ගැන තියලා තියෙන දේ. කොමිෂන් සභා ගැන මේකෙ කියලා තියෙනවා. මේ කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික යාන්ත්‍රණය හැදෙනේනේ ව්‍යවස්ථා සභාව පත්කිරීම මගින්. මේක පත්කරන්න ගිහින් මොකද වුනේ? ඒකෙ දහ දෙනාගෙන් හත් දෙනෙක්ම පාර්ලිම්න්තු මන්ත්‍රීවරු. ආයේ දේශපාලන තන්ත්‍රයෙන්මයි කොමිෂන් සභා පත් කරන්නේ. ඉතින් ඒවා ස්වාධීනද?ඉතිරි සිවිල් නියෝජිතයන් තිදෙනා පත්කරන්න බැරි තත්වයක් ඇතිවුනා. දැන් කොමිෂන් පත් කරනවා කියන්නේ ඒ තුන් දෙනාට එකඟද? දැන් එකඟ නම් කලින් විරුද්ධ වුනේ ඇයි? මේ ප්‍රශ්න වලට උත්තර ඕන.
දැන් ඒ අය තනිව ගෙන ගිය පාලනයට වෙනස් පාලනයක් අපට කොහොමවත් මේ පක්ෂ දෙක එකතුවී මෙරට ජනතාවට ලබාදෙයි කියලා අපි විශ්වාශ කරන්න බැහැ. අනික් කාරණය තමයි. මේ එකතුව හැදෙන්නේ මේ රටේ තිබෙන දක්ෂිණාංශිකම පක්ෂ දෙක හවුල් ආණ්ඩුවක් හදලා. අපි මෙරට ජනතාවට මේ ගැන අනතුරු අගවනවා.  ජනතාවගේ සෑබෑ ප්‍රශ්න තවත් වර්ධනය වෙයි, ඒ වගේම ඉදිරියේදී මෙරට පීඩිත ජනතාවට මුහුණ දෙන්න සිදුවන අනතුර තවත් ඉහල යනවා. ජනතාවට ඉතාම අමාරු තත්වයකට මුහුණ පාන්න වෙනවා.  මේ වන විටත් පසුගිය ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය මැතිවරණයට පෙර සතියේ ගංගා ද්‍රෝණි හා ජලාශ කළමනාකරණ අධිකාරි පනත හරහා ජාල පෞද්ගලීකරණයට අනුමැතිය දීලා තිබෙන්නේ. ඒ විතරක් නොවෙයි, අප රටේ දැනට පවතින නිතියේ හැටියට මිනිස් අවයව අලෙවි කරන්න නිතියෙන් අවසරයක් නැහැ. කලින් කිව කැබිනට් මණ්ඩල රැස්වීමෙදීම තීරණය කරලා තියෙනවා ලේ විකුණන්න හැකිවන තත්වයක් සඳහා නීති හදන්න. මේ කරුණු දෙකම ගැන මෙරට ජනතාව දන්නේ නැහැ ජනතාවට හොරෙන් මැතිවරණ උණුසුම අස්සේ හොරෙන්ම ගෙනවිත් තිබෙන කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති යෝජනා. දැන් මේ යෝජනා ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයකදී  අනුමත කරගන්න අවශ්‍ය කටයුතු කරයි. මෙකෙන් මොකක්ද වෙන්නේ මේ රටේ ජනතාව පරිත්‍යාග ලෙස ලබාදෙන ලේ තොග පුද්ගලික වෙළද සමාගම් අතට පත් කරන්නයි මේ සූදානම් වන්නේ. එක පැත්තකින් ජලය අනෙක් පැත්තෙන් ලේ ටික විකුණන්නයි මේ සූදානම් වෙන්නනේ මේක කරන්න ඉඩ දිය යුතු නැහැ. ජාතික ආණ්ඩු කියකිය එකතු වෙන්නේ මේවා කරන්න. පාර්ලිමේන්තුව තුල මේවාට එරෙහි විපක්ෂයක් නෑ. ඒ නිසා විපක්ෂය පාර්ලිමේන්තුවෙන් පිටත ජනතාව අතර නිර්මාණය කල යුතුයි.
ජනතාවට තම අයිතීන් රැකගන්න සටන් කරනවා හැර වෙනත් මගක් නොමැති බව පැහැදිලියි. ඒක අපි දැක්කා පසුගිය කාලයේ ජනතා සටන් වලදී. ඔය කියන පාර්ලිමේන්තුවේ නිල හෝ නොනිල විපක්ෂය නොවෙයි ජනතාවගේ අයිතීන් ආරක්ෂා කලේ, මෙරට සටන්කාමී ජනතාව ශිෂ්‍යයින්,ගොවීන්,කම්කරුවන් ධීවරයින්, කාන්තාවන්ගේ සටනින් තමයි එම අරගල ජය ගත්තේ,  පාර්ලිමෙන්තුවෙන් සම්මත වුන පනත් පවා නැවත අකුල ගන්න තැනට ගෙනාවේ මෙරට සටන් කරන ජනතාව.ඒක තමයි ඇත්ත. ඒ නිසා ජනතාවගේ විපක්ෂයක් එහෙමත් නැත්නම් මහපොලොවේ විපක්ෂයක් හැදිය යුතුයි. පාලකයන්ගේ සම්මුතිවාදී දේශපාලන ප්‍රහාරයට මුහුණ දෙන්න පීඩිත ජනතා බලවේග අතර සම්මුතියක්, ඒකාබද්ධතාවයක් අවශ්‍යයි.පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය උපරිම කැපවීමෙන් එම කටයුත්තට දායකත්වය ලබා දෙන්න සූදානම් කියලා අපි ජනතාවට කියනවා.“

Leave a Reply