தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
‘ලංකා ඊ නිව්ස්‘ වාරණය වහා ඉවත් කළ යුතුයි –  මාධ්‍ය සංවිධාන විරෝධය « Lanka Views | Views of the truth

‘ලංකා ඊ නිව්ස්‘ වාරණය වහා ඉවත් කළ යුතුයි – මාධ්‍ය සංවිධාන විරෝධය



‘ලංකා ඊ නිව්ස්‘ වෙබ් අඩවියට ප‍්‍රවේශවීම විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අවහිර කර ඇතැයි නිරීක්ෂණය වන බැවින් එම නිල නොවන වාරණය වහාම අහෝසි කළ යුතු බව ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යෙව්දින්ගේ සංගමය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. අද (9) දින එම සංවිධාන විසින් ප්‍රවෘත්ති නිවේදන නිකුත් කරමින් මේ බව අවධාරණය කර ඇත.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු සී.දොඩාවත්ත සහ ලේකම් දිලීෂෘ අබේසුන්දර අත්සන් කරමින්වි අද දින(9) නිකුත් කළ නිවේදනය මෙසේය.
“ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට ප‍්‍රවේශ වීමේ හැකියාව තාක්ෂණිකව අවහිර කිරීම මඟින් එම වෙබ් අඩවියට එරෙහිව නිල නොවන වාරණයක් මේ වන විට ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මකව ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණය කරයි.

මෙම ක‍්‍රියාවෙහි වගකීම් පැවරෙන ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් අමතා තොරතුරු විමසීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය උත්සාහ කළ නමුත් ප‍්‍රතිචාරයක් නොලැබුණි.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය කියා සිටින්නේ විදුලි සංදේශ නියාමන කොමිසමේ මැදිහත්වීමෙන් 2017-11-08 දින සිට මෙම වාරණය පවත්වාගෙන යන බවයි. කොමිසම එම චෝදනාවට ද කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැත. එම නිහඬතාව මගින්ද කොමිසම මෙම චෝදනාවට පිළිගැනීමක් ලබා දී තිබේ. වගකිව යුතු රාජ්‍ය ආයතනයක් වශයෙන් මේ අවස්ථාවේ විදුලි සංදේශ නියාමන කොමිසම වහා මේ පිළිබඳව කරුණු පැහැදිළි කරමින් ප‍්‍රකාශයක් නිකුත් කළ යුතු බව අපගේ අදහසයි.

චෝදනාව සත්‍ය නම් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට එරෙහිව පියවර ගෙන ඇති ආකාරයෙන් රජය පෙන්නුම් කර ඇත්තේ ඉදිරියේ දී වෙනත් ඕනෑම වෙබ් අඩවියකට හෝ මාධ්‍යයකට හෝ එරෙහිවද අත්තනෝමතිකව ක‍්‍රියා කිරීමට තමන් තුළ ඇති සූදානමයි. එබැවින් මේ පියවර ඔස්සේ වත්මන් රජය මෙරට ජනමාධ්‍ය නිදහසේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනාගතයට දරුණු අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව අවධාරණය කරයි.

එසේම, තෙවසරකට පෙර බලයට පත් වූ වත්මන් ආණ්ඩුව පසුගිය කාලය තිස්සේ ජනමාධ්‍යයට හා ජනමාධ්‍යවේදීන්ට එරෙහිව විවිධ වාග් ප‍්‍රහාර ඔස්සේ ගෙන ගිය තර්ජනාත්මක මැදිහත්වීම් ක්රිධයාකාරීභාවයට පරිවර්තනය කිරීමක් ලෙස ද මෙම ක‍්‍රියාමාර්ගය සැළකිය හැකිය.

රජයේ මෙම අත්තනෝමතික මර්දනකාරී නැඹුරුව වහා නිවැරදි කර ගනිමින් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට එරෙහිව පනවා තිබෙන වාරණය අහෝසි කරන ලෙසද ජනමාධ්‍ය නිදහසෙහි හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙහි පැවැත්ම සහතික කරන ලෙස ද දැඩිව ඉල්ලා සිටිමු.“

මේ සම්බන්ධව ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යෙව්දින්ගේ සංගමය වෙනුවෙන් සභාපති ලසන්ත රුහුණගේ සහ ලේකම් දුමින්ද සම්පත් අත්සන් කළ නිවේදනයේ මෙසේ සටහන් වේ.

“ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට ශ්‍රී ලංකා ටෙලිකොම්හි අන්තර් ජාල පහසුකම භාවිතා කරමින් 2017-11-08 දින සිට පිවිසීමට නොහැකි වන සේ වාරණය කර තිබීම අප සංගමය දැඩි ලෙස හෙළා දකිමු. මෙම පියවර යහපාලන ආණ්ඩුව මාධ්‍ය මර්දනය වෙනුවෙන් ගනු ලැබූ පළමු පියවර නොවන අතර මීට පෙර රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සහ දේශපාලනඥයින් මාධ්‍ය නිදහසට කළ බලපෑමට අප විටින් විට විරෝධය පළ කෙළෙමු. මාධ්‍ය නිදහස ශපථ කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ මෙවැනි පියවර ජනතාව සහ මාධ්‍ය සමාජය කිසිසේත් බලාපොරොත්තු නොවන්නකි. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාරණයට ලක් කර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසමේ උපදෙස් පරිදි බව අපට විශ්වාසවන්ත ආරංචි මාර්ග හෙළිකර සිටියි.

මෙම වාරණ නියෝගය නිකුත් කළ විදුලි සංදේශ නියාමන කොමිසම පවතින්නේ ජනාධිපතිවරයා යටතේ වීමත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පවතින්නේ ජනාධිපතිවරයාගේ සහෝදරයාගේ යටතේ වීමත් මෙම හදිසි වාරණයේ සුවිශේෂී කාරණයකි. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාරණයට ලක් කිරීම පිළිබඳ ආණ්ඩුව වහා ප්‍රකාශයක් සිදුකළ යුතු බව අප අවධාරණය කරමු. පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ ද ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාරණයට ලක් වූ අතර එකී ආයතනයට ගිනි තැබීම ද එහි මාධ්‍යවේදියෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ද සිදුවිය.

ආණ්ඩුවක් විවේචනයට බිය විය යුත්තේ තමන් අත වැරදි ඇතිනම් පමණි. එසේ නොවන්නේ නම් එකී විවේචන වලට පිළිතුරු දීමට ඕනෑම මාධ්‍ය ආයතනයක් සහතික කර තිබේ. විවේචන වලට පිළිතුරු දීම වෙනුවට මර්දනයකට කැස කැවීම යහපාලන රජයකට නොවටිනා දෙයකි.

ලංකා ඊ නිව්ස් වෙත සිදුකර ඇති වාරණය වහා ඉවත් කරන ලෙසත් මේ සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන්, ජනමාධ්‍ය ඇමැතිවරයාගෙන් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බාර ඇමැතිවරයාගෙන් අපි වැඩි දුරටත් ඉල්ලා සිටිමු.“