Posted on 09.01.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, වදහිංසා පැමිණවීම සම්බන්ධව රා මැදීමේ නිරත පුද්ගලයෙක් කිතුල්ගල පොලීසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
නීත්‍යානුකූල ලෙස රා මැදීමේ යෙදී සිටින තමන්ට සිදුකළ අනර්තය නිසා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ඒ නිසා තමන්ට සිදු වූ හානියට රුපියල් ලක්ෂ 50ක වන්දි මුදලක් අයකර දෙන ලෙසත් පෙත්සම මගින් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටී. වෘත්තීයෙන් රා මදින්නෙකු ලෙස රජයේ බලපත‍්‍රයක්ද ඇති තමන් ජූලි 28 වැනිදා පස්වරුවේ අත්අඩංගුවට ගෙන කිතුල්ගල පොලිස් ස්ථානයට රැගෙන ගොස් වද හිංසා පැමිණවූ බව ඔහු කිතුල්ගල පොලිසියේ නිලධාරින් පිරිසකට චෝදනා කරයි.
සුරාබදු දෙපාර්තමේන්තුවෙන් හිමිවූ නීත්‍යානුකූල බලපත‍්‍රයක් ඇති නිසා එය පොලිස් නිලධාරීන්ට පෙන්වූ පසුව පවා තමන් අත්අඩංගුවට ගැනීමට තැත් කළ අවස්ථාවේ තමන් දිගටම කරුණු දැක්වුවද තමන්ට පහරදී පොලිස් නිලධාරීන් විසින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩකළ බව ඔහු සිය පෙත්සමෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත. එසේම පොලිසිය විසින් සිදුකළ එම අමානුෂික පහරදීම් ජංගම දුරකථනයක් මඟින් ඡායරූප ගත කර ඇතිබවද පෙත්සම්කරු පවසයි. මෙම පුද්ගලයා නීතිවිරෝධී මත්පැන් ලඟ තබා ගැනීමේ චෝදනා යටතේ ජූලි 29 වැනිදා රුවන්වැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පසුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූවෙකි.
කිතුල්ගල පොලීසිය හැමවිටම කිතුල්ගල ප‍්‍රදේශයේ නීත්‍යානුකූල ලෙස රා මැදීමේ කටයුතුවල නිරත පුද්ගලයන් වෙත ගොස් අල්ලස් ලබා ගැනීම සිදුකරන බවත්, එයට එකග නොවන පුද්ගලයන් නීතිවිරෝධි ලෙස මත්පැන් ළග තබාගැනීමේ චෝදනා යටතේ අත්අංඩංගුවට ගෙන හිරිහැර පමුනුවන බව ප්‍රදේශවාසීහු පවසති.