தமிழ்
English
Contact
Sunday 12th November 2017    
අර්බුදයකට මැදි වූ මීතොටමුල්ල ජනතාව බොරු පොරොන්දු ගොන්නකටත් යට වෙලා « Lanka Views | Views of the truth

අර්බුදයකට මැදි වූ මීතොටමුල්ල ජනතාව බොරු පොරොන්දු ගොන්නකටත් යට වෙලා



මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමත් සමඟ පොරොන්දු හා බලාපොරොත්තු කන්දක් බවට පත් වූ මීතොටමුල්ල කුණු අර්බුදය මේ වන විට කප්පරක් බොරු අගාධයක ගිලෙමින් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

පසුගිය අප්‍රේල් මාසයේ මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් විශාල පිරිසකට ජීවිත අහිමි වූ අතර තවත් පිරිසකට සිය දේපළද අහිමි විය. කුණුකන්ද හේතුවෙන් පීඩාවට පත්ව සිටින එම ප්‍රදේශයේ ජනතාවට කඩිනම් විසඳුම් ලබා දෙන බවට ආණ්ඩුව පොරොන්දු වී තිබුණද මාස ගණනක් ගෙවී ගොස් ඇති මොහෙතේ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය සිදු කළ කේෂ්ත්‍ර චාරිකාවකින් හෙළි ව තිබුනේ මේ දක්වා කුණු කන්ද ඉවත් කිරීමට අවම මට්ටමේ හෝ මැදිහත් වීමක් සිදු කර නැති බවය.

ජපන් විශේෂඥයින් විසින් මෙම කුණු කන්ද ගුරුත්වාකර්ෂණයට සමාන්තර ලෙස යළි නාය නොයන ලෙස අතුරා දමන ලෙස නිර්දේශ කර තිබුණද අවම වශයෙන් එම නිර්දේශය හෝ මේ දක්වා ඉටු කිරීමට ආණ්ඩුවට හැකිවී නොමැති බවත් බස්නාහිර පළාත් සභාව මෙන්ම එහි ප්‍ර‍ධාන අමාත්‍යාවරයා විසින් ලබා දුන් පොරොන්දු ද මේ දක්වා ඉටු නොවී ඇතැයිද මෙම නිවේදනය පෙන්වා දෙයි.

කුණු කන්ද නාය යාමෙන් පසු එහි කුණු දැමීම පමණක් නවතා දමා ඇති අතර මේ වන තෙක් එම ප්‍රදේශයේ ඇතිව තිබෙන කිසිඳු පාරිසරික ප්‍රශ්නයකට හෝ ස්ථිරසාර විසඳුමක් ලබා දීමට නොහැකි වීමෙන් එම ප්‍රදේශයේ ජනතාව දිගින් දිගටම පීඩාවට පත්වෙමින් සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.