Posted on 08.26.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
කොළඹ ජාතික රෝහල ඇතුළු රජයේ සියළු රෝහල්වල ඖෂධ සහ වෛද්‍ය උපකරණවල විශාල හිඟයක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ ගැටළුව හේතුවෙන් වෛද්‍යවරුන් පිටතින් ඖෂධ සහ සේවාවන් ලබා ගැනීම සඳහා තුන්ඩු ලබා දෙන හෙයින් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා විශාල රෝගීන් පිරිසක් මහත් පීඩාවකට පත්ව ඇති බවත්, ජාතික රෝහලක් අසල පිහිටි පෞද්ගලික වෛද්‍ය පරීක්ෂණ ආයතනයක් මද වෙලාවක් රැදී සිටීමෙන් මේ තත්වය වඩාත් හොදින් තේරුම්ගත හැකි බවත් එම ව්‍යාපාරය පවසයි.
මෙම හිඟය ප්‍රයෝජනයට ගනිමින් ඖෂධ සහ අනෙකුත් සේවා සපයන පෞද්ගලික වෙළඳසැල් විසින් රෝගීන්ව ගසා කමින් සිටින බවත් වැඩි දුරටත් එම නිවේදනයේ සඳහන් වේ.
පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් සඳහා මහා භාණ්ඩාගාරය වෙන්කරන ලද රුපියල් මිලියන 500ක මුදලක් නෙවිල් ප්‍රනාන්දු රෝහලට පදනම් විරහිතව ලබා දීමක් සම්බන්ධයෙන් කරුණු හෙළිදරවු වී තිබු අතර පසුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද නෙවිල් ප්‍රනාන්දු රෝහලට මුදල් ලබා දීම හේතුවෙන් රජයේ රෝහල්වල සෞඛ්‍ය සේවා අඩාල වීමේ අවදානමක් ඇති බවට සෞඛ්‍ය ආමාත්‍යවරයාට චෝදනා කරන ලදි.