Posted on 07.22.2017 by Chandana Sirimalwatte in විශේෂාංග with 0 Comments
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට පැමිණි පුද්ගලයෝ පසුව තමන් පොලිසියේ බව හැදුනුම්පත් පෙන්වමින් කියා සිටියහ. මේ අනුව ‘සුදු වෑන් කල්ලි‘ පොලිසියේම අංශයක්දැයි පොලිස්පතිවරයා පිළිතුරු දිය යුතුව ඇත. පොලිසිය එවැනි පැහැරගැනීම්වලට මුදල් අමාත්‍යංශයේ හෝ වෙනත් රජයේ වාහන පාවිච්චි කර තිබෙන බවද එම සිදුවීමෙන් තහවුරු වේ. දැන් මේ සියල්ල විසින් පවසන්නේ මෙරට ආරක්ෂක අංශවලට නිතියක් හෝ පිළිවෙතක් නැති බවය. අවශ්‍ය නම් වරෙන්තු නැතිව පුද්ගලයන් පැහැරගෙන යා හැකිය. ඔවුන් නිලඇදුම් නැතිව පුද්ගලයන් පැහැරගෙන යාම හෝ වෙනත් ඕනෑම මට්ටමේ අපරාධයක් කරන බවට දැන් සිතිය හැකිය. අත්අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය නැති බවත් ඇතැම් රාජකාරිවලදී නිල ඇදුම බාධාවක් වන බවත් පොලිස් පරික්ෂකවරයා කිසිදු බිය සැක නැති ස්වභාවයකින් පවසා තිබිණි.
මර්දනකාරී පාලනයක තොරතුරු හෙළිකරන්නට තවත් සාධක අවශ්‍ය නැත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2016 අග භාගයේදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ගෙන් 80% ක්ම තමන් වධ බන්ධනවලට ලක් කළ බවට පැමිණිලි කර ඇති බව හෙළිව තිබේ. 2015 ජනාධිපතිවරණයේදී සටන් පාඨයක්ව තිබුනේද මර්දන පනත් අහෝසි කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමය. මෙම කරුණ පිළිබඳව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කාර්යාලයේ බරපතළ අවධානය පළ වී තිබෙන බව ද පසුගිය දිනවල ලංකාවේ සංචාරය කර පිටව ගිය එක්සත් ජාතින්ගමොනව හිමිකම් පිළිබද විශේෂ නියෝජිත බෙන් එමර්සන් පවසා තිබිණි.
ඔහු සිය සංචාරයට පෙර කළ ජනමාධ්‍ය සාකච්ඡාවකදී ‘එක් ප්‍රජාවක් පමණක් මුලුමනින්ම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙන් පීඩාවට පත්ව තිබීම සැලකිල්ලට ගතයුතු කරුණක්‘ ලෙස සදහන් කළේය. එහිදී හදිසියේ එක්වරම අත්අඩංගුවට ගැනීම්, කාලසීමාවක් නෙමැතිව රඳවා ගැනීම් සහ රැදවුම් කාලය තුළ කායික හා මානසික හිරිහැර කිරීම්වලට ලක් වූ රැදවියන් විසින් පැමිණිලි කිරීම තමන්ගේ විශේෂ අවධානයට ලක් කළ බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, එවකට උතුරේ පැනනැගුණු සන්නද්ධ කණ්ඩායම් මර්දනය කිරීමේ අරමුණ දක්වමින් 1979 දී මුලින්ම හඳුන්වා දී 1982 දී පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලදී. මෙම නීතිය යටතේ සැකකරුවන්ගේ පාපොච්ඡාරණ අධිකරණයේදී සාක්ෂි වශයෙන් යොදා ගැනීමට හැකියාව ලැබේ. මෙම තත්වය නිසා පොලිසියට රැඳවියන් ලවා බලහත්කාරයෙන් ප්‍රකාශ අත්සන් කරවාගෙන ඒවා සාක්ෂි ලෙස ගනිමින් ඔවුන් අධිකරණයට පැමිණවිය හැකි විය.
දැන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනත් මුහුණුවරකින් ගෙන එන්නට ආණ්ඩුව සූදානම් වෙමින් සිටී. එහිදී අද පවතින තත්වය වෙනස් වේ යැයි සිතිය නොහැකිය. පොලිසිය නීතිය අතට ගෙන කටයුතු කරන බව ‘අනුර සේනානායක‘ ‘වාස් ගුණවර්ධන‘ යන පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයෙන් පමනක් නොව රයන් ජයලත් පැහැරගැනීමේ සිදුවීමෙන්ද සනාථ කරයි. ඒ නිසා තවදුරටත් මර්දන නීති දෙස ‘නීතිය හා සාමය‘ දෘෂ්ටි කොණයෙන් බලන ලිබරලුන්, 2015 සිට අද දක්වා වත්මන් හවුල් පාලනය වෙනුවෙන් පෙනී සිටියදී ලිහී ගිය සිය ඇදිවත පිළිබද දැන්වත් කල්පනා කළ යුතුව ඇත. ප්‍රගතිශීලී බලවේග විසින් ‘මර්දන නීති වහා අහෝසි කරනු!‘ යැයි කාලයක් තිස්සේ හඩ නැගූ සටන් පාඨය යළි යළිත් ඔසවා වඩා සවිමත්ව සටන් වැදිය යුතුව ඇත.