தமிழ்
English
Contact
Monday 23rd October 2017    
පැහැරගැනීම් පිළිබඳ කාර්යාලයද අතුරුදන් වූ විට « Lanka Views | Views of the truth

පැහැරගැනීම් පිළිබඳ කාර්යාලයද අතුරුදන් වූ විට



සෑම වසරකම අගෝස්තුවේ 30 වැනිදා අප පසුකර යන්නේ ලෝකය පුරා අතුරුදන් කෙරුණු මිනිස් සමූහයා පිළිබඳ මතකයන් අලූත් කරමිනි. එමෙන්ම පැහැරගැනීමට හා අතුරුදන් කිරීමට එරෙහි විරෝධය, ජනමතයක් ලෙස ගොඩනැගීමද එහි ලා ප‍්‍රධාන වැඩකොටසක් ව ඇත.
යුද්ධය පිළිබඳ අමිහිරි මතකයන් අතර ලංකාවේ ජනසමාජය ඉදිරියේ තවදුරටත් දිගහැරෙන උද්ඝෝෂණයන් අතර ප‍්‍රධාන තැනක්, අතුරුදන්කිරීම් මෙන්ම පැහැර ගැනීම් පිළිබඳ ප‍්‍රශ්ණයට ඇත. එය හඳුනාගන්නා අයෙකුට හෝ වෙනත් සමාජ ව්‍යාපාරයකට මිස බොහෝ දෙනෙකුට අසංවේදී කරුණකි. අධ්‍යාපනය විකිණීමට එරෙහි අරගලයේ සටන් සගයෙකු වන රයන් ජයලත් සහෝදරයා ආරක්‍ෂක අංශ සාමාජිකයන් විසින් පැහැරගැනීමට තැත් කිරීම පිළිබඳව සමාජ විරෝධයක් පළවූ අතර ඉන් කිසියම් ප‍්‍රමාණයකට පැහැරගැනීම්, සුදු වෑන් පිළිබඳ යළි සාකච්ඡුාවක් ගොඩනැගුණි.
එහෙත් උතුරේද නැගෙනහිරද දින 200කටත් වඩා දිගු කාලයක් පුරා ඇදී යන අතුරුදන් වූවන්ගේ පවුලේ ළඟම ඥාතීන්ගේ අරගලය ගැන පොදුවේ දකුණේ සමාජයට ඇත්තේ නිහැඩියාවකි. මුලතිවු, කිලිනොච්චි වලින් නොනැවතී කොළඹ නගරයට ගෙන ආ විරෝධතාද ක‍්‍රමයෙන් මැකී ගොස්ය. එහෙත් සිය කේඩෑරි වූ සිරුරු දරාගෙන අම්මවරුන් තව දුරටත් සිය පුත‍්‍රයා, ස්වාමියා, දුව, ළඟම ඥාතියා වෙනුවෙන් අත් නොහැර සටන් වදිමින් සිටි.
ඔවුන් ගෙන එන ප‍්‍රධාන සාකච්ඡුාව අප සමාජයට තවදුරටත් දුරය. ඔවුන් ගෙන් වැඩි දෙනෙකු සඳහන් කරනුයේ යුද්ධය අවසානයේ ආරක්‍ෂක අංශ ඉල්ලිිම පිට තමන් විසින් බාර දුන් තම දුව, පුතා පිළිබඳවය. ඇතැමුන් පූජකතුමන්ද කැටුව ගොස් තමන් විසින් මිලිටරියේ ඉල්ලීම පිට බාරදුන් බවට සාක්‍ෂි සහිතව කියා සිටී. එහෙත් එසේ බාරදුන් සිය ගණන් තරුණ තරුණියන් හට මේ දක්වා සිදු වූයේ කුමක්ද යන්න අපැහැදිිලිය. මන්ද ඔවුන් කිසියම් තැනක ආණ්ඩුවේ ආරක්‍ෂක අංශ භාරයේ රඳවා සිටීය යන්න සඳහන් වනුයේද නැත. එනිසාම ඔවුන් සියළු දෙනාද වැටෙනුයේ අතුරුදන් වූ ලැයිස්තුවටය.
මේ සාක්‍ෂි දෙස විපරමින් බලන ඕනෑම අයෙකුට ඔවුන් බාර දී ඇත්තේ ලංකාවේ මිලිටරියට බව ඉතා පැහැදිලිය. ඔවුන්ව නිල වශයෙන් භාරගෙන ඇත්තේ ඒ ඒ ස්ථානවල අවි දරා සිටි ආරක්ෂක අංශ සාමාජිකයන්ය. යුද්ධයේ පරාජය විසින් එක්වරම මැකී ගිය එල්.ටී.ටී.ඊ. යේ කි‍්‍රයාකාරීත්වයෙන් අනතුරුව අදටද මුළු මහත් උතුරුකරයේ ආධිපත්‍යය දරා සිටිනුයේ මිලිටරියයි. එවිට ප‍්‍රත්‍යක්‍ෂ කරුණ වනුයේ රාජ්‍ය මිලිටරිය මෙන්ම එකී දේශපාලන අධිකාරියටද නිශ්චිතව පැටවෙන වගකීමක් අදාල අතුරුදන්වීම්වලට ඇති බවය.
ප‍්‍රශ්ණය ඒ නිසා කිහිප ආකාරයකින් අප කරා එයි. ලලිත් කුමාර් මෙන්ම කූගන් මුරුගානන්දන්ද මෙකී පැහැරගැනීම් ලැයිස්තුවට යුද්ධය අවසන්ව වසර දෙකකට පසුව එක් වූ නම් දෙකකි. ඔවුන් පැහැරගනු ලැබුවේ අතුරුදන්කිරීම්වලට එරෙහිව හඩ නඟන ඥාතින් සංවිධානය කිරීමේ වරදටය. එනිසා පැහැර ගැනීම් අතුරුදන් කිරීම් තුළ එක් නිශ්චිත කරුණක් පැහැදිලි කර දේ. එය රාජ්‍ය ත‍්‍රස්තවාදය විසින් සිදු කරනු ලබන කි‍්‍රයාවන් බවය. දැන් දැන් උතුරේ බොහෝ දෙනාටද එය අදාළ නැති ප‍්‍රශ්ණයක් සේ පෙනේ.
එනිසා දිගින් දිගට පාලකයන්ට මේ බව කිමෙන් පලක් ඇති වේද යන ප‍්‍රශ්ණය ඒ සමඟම නැගේ. එකී ප‍්‍රශ්ණ කිරීම පාලකයන්ට දිගු වන තරමට ඔවුන් ප‍්‍රශ්න කරන ප‍්‍රමාණයට ප‍්‍රශ්න කරන්නන් කරාද එවැනිම ඉරණමක් අත්වේය යන්න කියා දුන් එක් ප‍්‍රධාන අවස්ථාවකි, ලලිත් හා කූගන් පැහැරගැනීම හා අතුරුදන් කිරීම. එහෙත් ඒ සමඟම කියා දෙන තවත් බරපතල පණිවිඩයක් අපට ඇත. ලංකාවේ අතුරුදන්කිරීම් පිළිබඳව ඇත්තේ ඉතා පටු සමාජ අවධානයක් බවය. එය සුළු පටු ප‍්‍රශ්ණයක් නොවේ. මන්ද ලංකාවේ අපට මේ පිළිබඳව බරපතල පණිවිඩයක් ගෙන එන්නේ අද ඊයේ නොවේ. විශේෂයෙන් එය 80 දශකයේ අගභාගය වන විට උතුරටත් වඩා දකුණේදී බරපතල සමාජ ප‍්‍රශ්ණයක් විය. පැහැර ගැනීම් අතුරුදන් කිරීම් විවිධ ප‍්‍රදේශ වලින් වාර්තා විය. ඒ බොහෝ දෙනෙකු මිලිටරිය විසින් පවත්වා ගෙන ගිය වධකඳවුරු තුළ ටයර් සෑ තුළ යලි සොයා ගැනීමට නොහැකි වන ලෙස යටකර දැමිනි. එය වසර 30ක යුධ කාල පරිච්චේදය තුළ උතුරේද නැගෙනහිරද සුලභ සිදුවීමක් විය. එහෙත් පොදුවේ අප සිදු කළේ කවුරුන්ද? පැහැර ගෙන යන්නන් කඩාකප්පල්කාරීන්, ත‍්‍රස්තවාදීන් ලෙස ආණ්ඩුව ගැසූ ලේබලයට මුවාවී නිහඬව සිටීමය. නව ලිබරල් දේශපාලන සංස්කෘතිය තුළ එක් පැත්තකින් පාරිභෝජනවාදයටද යට වී සියල්ල මිල කෙරෙමින් තමන්ද මිළ කිරීමට වැටුණු අප තිරණාත්මක සමාජ ප‍්‍රශ්ණයක් ඉදිරියේ නිහඬව සිටීමට හුරු වූහ. එහි තර්කානුකූල ප‍්‍රතිඵලය වූයේ සමාජයක් ලෙසම දහස් ගණනින් සිදු වන අතුරුදන් කිරීම් ඉදිරියේ නිහඬව බලා සිටීමය. සැබැවින්ම එය නිහඬව අනුමත කිරිමය. එහෙත් උතුරේ අම්මාවරුන්ට සමීපතම ඥාතින්ට එසේ නිහඬව සිටීමට නොහැක. ඔවුන්ට අඩුම තරමේ නන්දිකඩාල් වලින්ද දිවි ගලවා ගෙන යලි පැමිණ ආරක්‍ෂක අංශ වෙත බාර දුන් සිය දරුවා පිළිබඳ මතකය වළලා දැමිය නොහැක. දැනුත් එසේ බාර දුන්, නැත්නම් තමන් ළඟ නිදා සිටියදී කට උත්තරයක් ගැනීමට කියා රැුගෙන ගිය දරුවා පිළිබඳ මතකය, තවදුරටත් විඳවන දකුනේ අම්මලා පිළිබඳ කතාවද තවමත් අවසන්ව නැත. එවිිට උතුරේ දස දහස් ගනනින් වු අතුරුදන්කිරීම් පිළිබඳ සමීප ඥාතීන්ට ඇත්තේ කවර නම් වු ප‍්‍රශ්ණාර්ථයක්ද යන්න සිතාගත හැකිය.
එනිසාම ඔවුන් වත්මන් පාලනයට ඉතා ඉක්මණින් ළං වූහ. ඔවුන් යහපාලනය දෙසට හැරී සිය ඡුන්දය ප‍්‍රකාශ කළහ. එහෙත් ආණ්ඩුව කිියා සිටියේ කිසිදු කඳවුරක එසේ පැහැරගෙන ගිය අයවළුන් රඳවා නැති බවය. එමෙන්ම දේශපාලන සිරකරුවන් අත්අඩංගුවේ නැති බවය. පළමු වටයේදීම පාලකයන් සිදුකළේ ප‍්‍රශ්ණයෙන් බැහැර යාමය. ආණ්ඩුවට ඒ සඳහා වඩාත් උපකාරී වූයේ යහපාලන වේදිකාවේ කිසිදු තැනක අතුරුදන්වූවන්, දේශපාලන සිරකරුවන් පිළිබඳ සටන් පාඨය ඇතුලත් නොවීමය. යහපාලන වේදිකාව තැනූ දේශපාලන පක්‍ෂ වලට හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කඬේ ගිය කිසිවෙකුට එකී සටන් පාඨ අදාල නොවීය. ඒවා එදාද අදද අදාල වූයේ වාමාංශිකයන්ටය.
කෙසේ නමුත් අතුරුදන්වීම්වලට එරෙහිව මතුවූ විරෝධය ඉදිරියේ පාලකයන්ට වරින් වර අතුරුදන්වීම් පිළිබඳ යම් මැදිහත් වීමක් සඳහා යාමට බලකෙරිණි. පැවති රාජපක්‍ෂ පාලනය උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසම (LLRC) පිහිටවූයේ ඒ සඳහාය. අවසානයේ රාජපක්‍ෂ පාලනයට අදාල වාර්තා පාර්ලිමේන්තුව දක්වා ගෙන ඒමටද බල කෙරිණි. එහිදීද එක්රැස් වූ තොරතුරු වලට අනුව 40,000ට අධික පැහැරගෙන යාම් හා අතුරුදන්වීම් ප‍්‍රමාණයක් සාක්‍ෂි සහිතව වාර්තා ගත විණි.
එහෙත් යහපාලන ආණ්ඩුව එකිි කොමිසම අනුව හෝ කි‍්‍රයා නොකළ අතර හිටිහැටියේ අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමට විශේෂ කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන ලදී. හඳුනාගත් පරීක්‍ෂණ වාර්තාද හමස් පෙට්ටියට ඇද දමමින් පිහිටුවීමට යන කාර්යාලය තවත් විගඩමක් බව නිශ්චිතව පැහැදිලි වූ අතර අතුරුදහන් වූවන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරනු වෙනුවට තවදුරටත් ඔවුන් රැවටීමේ මාවත ආණ්ඩුව තෝරාගන්නා ලදී. එහෙත් ජාතිවාදීන් කියා සිටියේ ‘රණවිරුවන්’ දඩයමකට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවය.
කෙසේ වෙතත් පාලකයන් ඇටවූ කාර්යාලයක් හෝ සොයාගත නොහැකිය. අවසානයේ ජනාධිපති මෛති‍්‍රපාල අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය සඳහා තවත් සංශෝධනයකට අත්සන් කෙරුණු බව ප‍්‍රකාශයට පත් විය. මේ සියළු සිදුවීම් දෙස ඕනෑ කමින් බලන විට පෙනී යනුයේ අතුරුදන්වීම් පිළිබඳව ඍජුව වගකිවයුතු පාර්ශ්වය වන පාලකයන් හා එහි මිලිටරි ය කිසිදුවිටෙක එයට සාධාරණය ඉටුනොකරන බවය.
එහිලා සාධාරණයක් ඉටුකර ගත හැක්කේ අන් කිසිවකට නොව ඊට එරෙහිව නැගෙන පුළුල් ජනතා ව්‍යාපාරයකටය. ඉන් ගොඩ නැගෙන ජනමතයකටය. දශක ගණනාවක් පුරා ලංකාවේ අතුරුදන්වීම් එක පෙළට සිදු වුවද ඊට එරෙහි ජනමතයක්ද ගොඩ නැගී නැත. ඇත්තේ නිහැඩියාවකි. පාලකයන් ඓකී නිහැ`ඩියාව මතින් ප‍්‍රශ්ණය තොරොම්බල් කරමින් සිටී. ඒ අතර උතුරේ අම්මලා සිය ශක්තිය සිඳී යන තුරු අට්ටාල ඉදිරියේ වාඩි ලා සිටිති.

 

Save