Posted on 08.24.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
තවමත් ඒක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයකුව කටයුතු කරන බවත් ඉදිරියේ ගන්නා තීරණ හා තමන්ට පැවසිය හැකි සියල්ල ඉදිරි දිනකදී ජනමාධ්‍යවේදින්ට දැනගන්නට සලස්වන බව හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්‌ෂ කියයි. ඔහු ඊයේ (23 දා) අධිකරණ අමාත්‍යාංශය අසලදී ජනමාධ්‍යවේදීන් අමතමින් මේ බව පැවසීය.
තමා අධිකරණ ඇමැති ධුරයෙන් ඉවත් කළේ බැදුම්කර පරික්ෂණ කටයුතු ඉක්මන් කිරීමට අවධානය දීම සහ අධිකරණයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයන්ට අයුතු ලෙස බලපෑම් නොකොට ඒවාට ස්‌වාධීනව කටයුතු කිරීමට ඉඩහැරීම නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒහිදී තවදුරටත් පැවසීය. අැමතිධුරයෙන් පහ කිරීමෙන් පසුව ඊයේ දහවල් අධිකරණ අමාත්‍යාංශයට පැමිණ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්‌ඩලයට සිය ස්‌තුතිය පුදකොට පිටත්ව යද්දී ඒහි සිටි ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු අැමතිවරයා එලෙස පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කළ ප්‍රකාශය මෙසේය.
“මම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්‌වුණේ නෑ. මාව ඉවත් කළා. සමහරු මට චෝදනා කළත් මාව ඉවත් කිරීමට මූලික වී ඇත්තේ මම එම ආයතනවල කටයුතු වලට අයුතු බලපෑම් නොකිරීමයි. එහෙම බලපෑම් නොකළ හේතුව නිසා ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිකරණ අමාත්‍ය ධුරයකින් ඉවත් කළ එකම අමාත්‍යවරයා මමයි.
මම මාස හයයි මහින්ද රාජපක්‌ෂ මහත්තයාගේ කැබිනට් මණ්‌ඩලයේ හිටියේ. මම එදා එතනින් එළියට බැස්‌සේ මගේ හෘද සාක්‌ෂියට එකඟව මට පැවරූ රාජකාරිය ඉටුකරන්න නොලැබුණ නිසයි. මට විරුද්ධව දැන් ඔය කෑගහන අය එදා හිටියේ මහින්ද රාජපක්‌ෂ මහත්තයාගේ ඔඩොක්‌කුවේ කුක්‌කෝ වගේ.”
එහි ද මාධ්‍යවේදියකු රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියේ ඇවන්ගාඩ් සමාගමට එරෙහිව නීතිමය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධවයි. ඊට පිළිතුරු දුන් හිටපු ඇමැතිවරයා මෙසේ කීය.
“ඒ ගැන චෝදනා කරන්න ඕනෑ හිටපු නීතිපතිටයි. එතුමා තමයි තීරණය කළේ ඇවන්ගාඩ් සමාගමට නඩු පවරන්න බෑ කියලා. මම ඒ චෝදනාවේ වරදකරුවෙක් නම් වර්තමාන ආරක්‌ෂක ලේකම්වරයා ඇතුළු බහුතරයකුත් ඒ චෝදනාවට වරදකරුවන් විය යුතුයි. කැබිනට් මණ්‌ඩලයේ සාමූහික වගකීම් ඉටු නොකළ බවටත් හම්බන්තොට වරාය බදු දීම ගැන විවේචනය කළ බවත් මට චෝදනා කරනවා. මම අදටත් කියනවා වරාය බදු දීමේ ගිවිසුම පාර්ලිමේන්තුවේ 2/3 බහුතර ඡන්දයකින් සම්මත කර ගත යුතු දෙයක් කියලා. ඒ ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් කියලා මම අදත් කියනවා. මෙවැනි කැබිනට් මණ්‌ඩලයක සිටීම නින්දාසහගතයි කියලා මට හිතෙනවා.
මා අමාත්‍ය ධුරයෙන් ඉවත් කළත් තවමත් මම එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රීවරයෙක්. මම ස්‌වාධීනව කටයුතු කරනවා. මම දේශපාලන වශයෙන් ගන්න තීරණ ඔබතුමාලාට ළඟදීම දැනගන්න ලැබේවි.”