Posted on 09.05.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සයිටම් ගැටලුව විසදන්නට නිර්දේශ ලබාදෙනු පිනිස පත් කළ ජනාධිපති කොමිසම සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසයි.
සයිටම් හිතවාදීන්ගෙන් සමන්විත මෙම ජනාධිපති කොමිසමේ නිර්දේශ පිළිබද විශ්වාසයක් තැබිය නොහැකි තත්වයක් තුළ ආණ්ඩුව මෙවැනි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දෙනු ඇති බවද වෛද්‍ය කොළඹගේ අද පැවති ජනමාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
“මෙම කමිටුවේ සාමාජිකයන් වන නීතිපතිවරයා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් යන සියලු දෙනාම මින් පෙර අවස්ථා ගනනාවකදී සයිටම් ආයතනයට පක්ෂපාතව අදහස් පළ කර තිබෙනවා. එවැනි කමිටුවකින් මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් අපක්ෂපාති අදහසක් අපේක්ෂා කළ නොහැකියි. මේ කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කරන තුරු අප නිහඩව බලා ඉන්නෙ. කමිටු සභාපති නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මේ සම්බන්ධව පළ කළ අදහස් පිළිබද තවමත් අපට නිගමනයකට එන්න බෑ. රජයේ වෛද්‍ය නිලධාරි සංගමය හෝ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ කමිටුව නියෝජනය කරන්නෙ නෑ. ඒ නිසා මේ කමිටුවේ මතය සයිටම් ආයතනයට පක්ෂපාති වන්නට ඉඩ වැඩියි“
මෙවැනි තත්වයක් තුළ අපක්ෂපාති විසදුමක් ඉදිරිපත් වේ යැයි අපේක්ෂා කළ නොහැකි බව වෛද්‍ය කොළඹගේ පෙන්වා දෙයි. මේ අතර මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබද වගකියන එකම ආයතනය ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුර මාස දෙකක් හිස්ව තිබියදී ඊට නිසි පුද්ගලයකු පත් කරන්නට පවා සෞඛ්‍ය ඇමතිවරයා අසමත්ව තිබෙන බව පෙන්වා දෙන වෛද්‍ය කොළඹගේ සයිටම් ප්‍රශ්නය නිසා ආණ්ඩුව අධ්‍යාපනය හා සෞඛ්‍ය ඇතුළු සියලු ක්ෂේත්‍රවල ව්‍යාකූලතා නිර්මාණය කරගනිමින් සිටින බව පැවසීය.