தமிழ்
English
Contact
Monday 4th September 2017    
දරුවන් 15,000ක් පාසල් නොයන්නේ ආර්ථික දුෂ්කරතා නිසා! « Lanka Views | Views of the truth

දරුවන් 15,000ක් පාසල් නොයන්නේ ආර්ථික දුෂ්කරතා නිසා!



පාසල් යා යුතු වයසේ පසුවන දරුවන් 14,922ක් ආර්ථික ගැටලු හේතුවෙන්පාසල් නොයන බව ජන‍ලේඛන හා සංඛ්‍යා ‍ලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයක දී හෙළි වී තිබේ.

ඊට අමතරව ආබාධිතභාවය නිසා තවත් දරුවන් 19,213 දෙනෙක් පාසල් නොයන අතර විවිධ නිත්‍ය අසනීප තත්ත්වයන් මත පාසල් නොයන සංඛ්‍යාව 4709 ක් බව ද එම සමීක්ෂණය මඟින් හෙළි වී තිබේ.

“ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණය 2016” නමැති මෙම සමීක්ෂණයේ තොරතුරු මත ඔවුන් නැවත පාසල් යැවීම සඳහා කඩිනමින් වැඩපිළිවෙලක් සැකසීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ අනුව මෙම දරුවන් වෙනුවෙන් යම් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඔවුන්ව නැවත පාසල් යැවීම සඳහා මෙවර අයවැය යෝජනාවලට මාපිය කැපකරු ක්‍රමයක් හඳුන්වා දීමට  සූදානමක් ඇත.

අධ්‍යාපන කටයුතු සදහා විශාල වියදමක් මව්පියන්ට දරන්නට සිදුවීම නිසා නිදහස් අධ්‍යාපනය යන නමින් වුවද සිදුවන ඇතැම් ක්‍රියාකාරකම් නිසා අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පාසල් යාම දුෂ්කර වී ඇත. ඇතැම් පාසල්වල විදුලි බිල ගෙවීම, මුරකරුවන් හෝ සුලු සේවකයන්ට වැටුප් ගෙවීම දක්වා මව්පියන්ගෙන් මුදල් එකතු කරයි. මෙම තත්වය අහෝසි කරන ලෙස ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ආණ්ඩුවට බලපෑම් කරන නමුත් ආණ්ඩුව විසින් පාසල්වල රිසිට්පත් නිකුත්කර මුදල් එකතුකිරීම නීතිගතකරමින් චක්‍රලේඛ නිකුත් කළ අතර ශිෂ්‍ය උද්ඝෝෂණවලට පොලිසිය යොදවා පහරදීම සිදුවිය. අධ්‍යාපනයට දළ ජාතික ආදායමෙන් 6%ක් වෙන්කරන ලෙස දිගු කාලයක සිට විශ්ව විද්‍යාල මට්ටමෙන් ඉල්ලීම් තිබියදී එවැනි ප්‍රතිපාදන වැඩිකිරීමක් සිදු නොකර පැලැස්තර විසදුම් දෙන බවට චෝදනා එල්ල වී ඇත.