தமிழ்
English
Contact
Monday 23rd October 2017    
රෝහින්යා ප්‍රශ්නය සහ ජාතිවාදී උමතුව « Lanka Views | Views of the truth

රෝහින්යා ප්‍රශ්නය සහ ජාතිවාදී උමතුව



(මෙම ලිපිය මේ සති අන්තයේ පළ කෙරෙන  ‘අැත්ත’ පුවත්පතට ලේඛකයා විසින් ලියනු ලැබූවකි.)

රෝහින්යා සරණාගතයන් සම්බන්ධයෙන් පසුගිය අඟහරුවාදා භික්ෂු සංවිධානයක් කළ ප්‍රචණ්ඩ මැදිහත්වීමත්, ජයන්ත සමරවීර සහ විමල් වීරවංශ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකෝපකාරී ජාතිවාදී ඝෝෂාවත් වහාම පරාජය කළ යුතු දේශපාලන ප්‍රවණතාවයකි. අප එසේ කියන්නේ මේ ජාතිවාදී ක්‍රියාවන් නිසා තමන් භාරයේ සිටින සරණාගතයන් හට හිරිහැර කළ ම්ලෙච්ඡ ජාතියක් ලෙස ලංකාව අපකීර්තියට පත්වන නිසා පමණක් නොවේ. මෙම පහත් දේශපාලනය නිසා ලංකාව තුළ ජාතිවාදය ඇවිලී, රට යළිත් විනාශකාරී ගැටුමකට සහ දිගු කාලීන යුද්ධයකට ඇද වැටීමේ අවදානම ඇති හෙයිනි.
විවාදයට ලක්ව ඇති මියන්මාරයෙන් පැමිණි රෝහින්යා මුස්ලිම් සරණාගතයන් 2017 අප්‍රේල් මාසයේදී මුහුදේ අතරමංව, ජීවිත තර්ජනයට ලක්ව සිටියදී නාවුක හමුදාව විසින් රට තුළට ගෙනෙන ලද 31දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකි. (මේ ඊනියා බෞද්ධයන් කියන ආකාරයට ඔවුන්ට මුහුදේ ගිලී මියයාමට ඉඩ දිය යුතුව තිබිනි) ඔවුන් ලංකාවට පැමිණීම ඉලක්ක කරගත් කණ්ඩායමක්ද නොවේ. තමන් ඕස්ට්‍රේලියාව බලා යමින් සිටියදී මුහුදු රළට හසුව ලංකාවේ මුහුදු සීමාවට පැමිණි අතර එහිදී අත්අඩංගුවට පත්වූ බව ඔවුන් විසින්ම පවසා තිබේ.
ජාතිවාදීන් නගන එක් තර්කයක් වනුයේ මේ සරණාගතයන් හට ලංකාවේ පුරවැසිභාවය ලබාදී ඇති බවය. සාමාන්‍යයෙන් ලංකාව සරණාගතයන් භාර ගන්නේ නැති අතර වෙනත් රටක් ඔවුන් භාර ගැනිමට කැමැත්ත පල කරන තුරු ලංකාව තුළ රඳවා ගැනීම පමණක් සිදු කරයි. ඔවුන් භාරදෙන රට පිළිබඳව එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා තුරු අධිකරණ නියෝගයක් මත ඔවුන් ගල්කිස්සේ නිවසක රඳවා තැබිනි. ප්‍රචණ්ඩකාරී පිරිස් එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂාව සඳහා අධිකරණ නියෝගයක් මතම ඔවුන් බූස්ස රැඳවුම් පිටත් කර යවා තිබේ.
රෝහින්යා සරණාගතයන් මෙලෙස මෙරට රැඳී සිටි ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මීට පෙර 2008දී 55ක මියන්මාර් සරණාගතයන් කණ්ඩායමක්ද, 2013දී 110ක සරණාගත කණ්ඩායමක්ද ලංකාවේ රඳවාගත් අතර ඔවුන් පිළිවෙලින් 2012දී සහ 2015දී වෙනත් රටවල් විසින් භාරගනු ලැබීය. (දැනට ලංකාවේ රැඳී සිටින 31දෙනෙකුගෙන් යුත් සරණාගත කණ්ඩායමද දෙසැම්බර් මස වෙනත් රටවලින් භාර ගැනීමට නියමිත බව වාර්තා වී තිබේ.) එලෙස රෝහින්යා සරණාගතයන් ගෙන්වාගත් එවකට පැවති සන්ධාන ආණ්ඩුවේ කොටස්කරුවන් වූ විමල් වීරවංශලා අද මේ සිද්ධිය මූලධර්මවාදී කුමන්ත්‍රණයක් ලෙස හුවා දැක්වීම දේශපාලන ප්‍රශ්නයක් ලෙස සමාජ අවධානයට ලක්කළ යුතුය.
වෙනත් රටක ගැටුම්කාරී සිදුවීමක් නිසා අවතැන්වූ ජනතාවට යම් සහනයක් සැලසීම සඳහා තම රට විවෘත කිරීම එම රටේ ශිෂ්ටත්වය පිළිබඳ මිනුමකි. ඒ බව 1987- 89 සමයේදී සහ පසුගිය යුද සමයේදී සරණාගතයන් ලෙස ඉන්දියාවට සහ යුරෝපයට පැනගිය ලක්ෂ ගණනාවක ජනතාවක් සිටින ලංකාවේ සමාජයට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. යුරෝපා රටවලද ජාතිවාදී නව ෆැසිස්ට් කල්ලි සංක්‍රමණික විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා වල නිරත වන අතර ඒවායෙන් ලාංකිකයන්ද ඇතුළු විදේශීය සංක්‍රමණිකයන් ආරක්ෂා කර ගන්නේ එම රටවල වාමාංශිකයන්, ප්‍රජාතන්ත්‍රවාදීන් සහ ප්‍රගතිශීලීන් බව එම රටවල ජීවත් වන ලාංකිකයෝ හොඳින් දනිති. අද විදේශිකයන්ට එරෙහි වෛරයක් සහ බියක් නියෝජනය කරන මේ ජාතිවාදීන්ගේ අශිෂ්ටත්වය ඒ රටවල ජයග්‍රහණය කර තිබිනිනම් ලක්ෂ ගණනක් ලාංකිකයන්ගේ ඉරණම කුමක් වනු ඇත්ද? මොවුන් වගා කරන්නට යන්නේ අවතැන්ව ජීවිතය අයැදින සරණාගතයන්ට පවා පහර දෙන, මිනිස් ජීවිත බේරා ගැනීමට ඇති පොදු මානුෂීය වගකීමට පවා පිටුපස හරවන අශිෂ්ට සංස්කෘතියකි. ලාංකීය සමාජය ම්ලේච්ඡත්වය දෙසට දක්කන්නට සැරසෙන්නේ ඉපැරැණි සභ්‍යත්වයක් සහ වසර 2500ක ශිෂ්ටාචාරයක් ගැන පුරසාරම් දොඩන්නන්ම වීම ඉතිහාසයේ සරදමකි.
විමල් වීරවංශලා නියෝජනය කරන්නේ ජාතිවාදය හෝ අන් කවර සමාජ අගතියක් හෝ භාවිතා කර තමන්ට දේශපාලන මාවතක් විවර කර ගැනීමේ අවස්ථාවාදී ප්‍රවණතාවයි. එය ඔවුන්ට දේශපාලන වශයෙන් වාසි සහගත විය හැකි වුවත් සමාජයට හානිකරය. එය බෞද්ධ සහ මුස්ලිම් ජන කොටස් අතර ආතතියක් සහ ගැටුමක් ඇති කරන ආකාරයේ විනාශකාරී දේශපාලනයකි. මේ තක්කඩි දේශපාලනය ලංකාවේ සමාජයේ අවම සභ්‍යත්ව ලක්ෂණ පවා විනාශ කරන දේශපාලනයක් වන අතරම රට විනාශකාරී ජාතිවාදී ගැටුමකට ඇද දමන දේශපාලනයකි. අද රෝහින්යා සරණාගතයන් හට එරෙහිව එල්ල කරන ප්‍රධාන තර්කයක් වනුයේ ඔවුන්ගේ පැමිණීම මගින් මූලධර්මවාදී ත්‍රස්තවාදය ලංකාවට පැමිණෙනු ඇති බවය. එහෙත් ප්‍රශ්නය පැන නගින්නේ එවැන්නක් විදේශයෙන් ආනයනය කිරීම සම්බන්ධයෙන් නොවේ. මේ ආකාරයට ජාතිවාදය පෝෂණය වීම හරහා විවිධ අන්තවාදයන්ට සහ මූලධර්මවාදයන්ට රට තුළ සරු පසක් නිර්මාණය වී, එම අනතුර ලංකාව අභ්‍යන්තරයෙන්ම මතුවීමේ අවදානම ඇත. සැබවින්ම ඒ අවදානමට ලාංකීය සමාජය ඇද දමන්නේ සරණාගතයන්ගේ වාසස්ථාන වලට පවා පහරදෙන ජාතිවාදී උන්මත්තකභාවයයි.
මේ ජාතිවාදීන්ට වර්තමානයේ පවතින නව ලිබරල් ම්ලේච්ඡත්වයට ආකෘතිගත වී ඇති ධනවාදයට කිසිදු ප්‍රතිපත්තිමය විකල්පයක් නැත. විකල්පයක් නැතිව නන්නත්තාර වී සිටින දේශපාලන වශයෙන් බංකොලොත් ජාතිවාදී දේශපාලඥයන්ට මිනිසා තුළ සිටින තිරිසනා අවදි කිරීමේ අභිලාෂයක් තිබෙනවා විය හැක. නමුත් වාමාංශිකයන්ට ඇත්තේ මිනිසා තුළ මනුෂ්‍යත්වය සහ ශිෂ්ටත්වය අවදි කිරීමේ අභිලාෂයකි. තෝරා ගැනීමට ඇත්තේ එක්කෝ සමාජවාදය හෝ නැතිනම් ම්ලේච්ඡත්වය යන දෙකින් එකක් බව 19වන සියවස අගභාගයේදී එංගල්ස් පැවසීය. අද අප හමුවේද තෝරා ගැනීමට ඇත්තේ එක්කෝ ජාතිවාදීන්ගේ ම්ලේච්ඡත්වයේ මාවත හෝ නැතිනම් ඊට ප්‍රතිපක්ෂව වාමාංශිකයන් පෙන්වා දෙන සමාජවාදයේ මාවතයි. ලංකාවේ සමාජය එම මාවත් දෙකෙන් එකක් තෝරාගත යුතු මංසන්ධියක සිටී. අද අපගේ තෝරාගැනීම අනුව හෙට දවසේ අනාගත පරම්පරාවන්ගේ ඉරණම තීරණය වනු ඇත.

පුබුදු ජයගොඩ
පෙරටුගාමී සමාජවාදී පක්ෂය