தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
රැකියාව අයිතියක් – රැකියා විරහිත උපාධිධාරීන් උද්ඝෝෂණයක « Lanka Views | Views of the truth

රැකියාව අයිතියක් – රැකියා විරහිත උපාධිධාරීන් උද්ඝෝෂණයක



රැකියාව අයිතියක් උපාධිධාරීන්ට වහා රැකියා ලබා දෙනු යන සටන් පාඨ මූලික කරගනිමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අද(25) දින උද්ගෝෂණයක් සහ විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණි.

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නියැළුණු පිරිස පසුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට පාගමනින් පැමිණ විරෝධතාවය දක්වන ලදි. එම අවස්තාවේ සුපුරුදු පරිදි විශාල පොලිස් බට කණ්ඩායම් සහ කැරලි මර්ධන එකක සීරුවෙන් තැබීමට ආණ්ඩුව කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් දිගින් දිගටම විරෝධතාවයේ නියැළුණු අතර අමාත්‍යංශ ප්‍රධානී රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවකට සම්බන්ධ කරන ලෙස බල කරන ලදි. ඒ සඳහා අවම වශයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ සම්බන්ධ කරගැනීමට නොහැකිව තිබුනේ මහජන දිනයේදී පවා අමාත්‍යංශ ප්‍රධානීන් කිසිවකු නොපැමිණීම හේතුවෙනි.

කෙසේ හෝ අවසානයේ  ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ නියෝජිතයින් 6දෙනෙකුට ආමාත්‍යංශ ලේකම් ශාන්ත බණ්ඩාර සමඟ සාකච්ඡාවක් ලබා දී තිබුණි.

එහිදී නියෝජිතයින් විසින් 2012 මාර්තු 31වන දිනෙන් පසුව රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබා දෙන වැඩපිළිවෙලක් සකස් නොකීරීම සම්බන්ධව ප්‍රශ්න කල අතර මීට මාස 3ට පෙර  වත්මන් ආණ්ඩුව විසින් පුවත්පත් හරහා උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බවට නිවේදනයක් නිකුත් කර තිබු අතර ඒ සඳහා අයදුම්පත් 56,380ක් ලැබී ඇති බවත් ඉන් මාස තුනකට පසුව හෝ එම නිවේදනයේ පරිදි රැකියා ලබා දීමක් පිළිබඳව ආණ්ඩුව විසින් කිසිඳු වැඩපිළිවෙලක් සකස් කර නොමැති බවත් ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණි.

අදාළ ගැටළු සඳහා මසක කාලයක් තුළ විසඳුම් ලබා දී පොරොන්දු වූ පරිදි උපාධිධාරීන් සඳහා රැකියා ලබා දීමට නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කල යුතු බවත් එසේ නොවන්නේනම් සියළු රැකියා විරහිත උපාධිධාරීන් සමඟ අඛණ්ඩ විරෝධතා සංවිධානය කරන බවත් එම සංගමය ලේකම්වරයා ඉදිරියේ අවධාරණය කරන ලදි.

ආණ්ඩුව බලයට පත්වීමට පෙර පැවසු පරිදි උපාධිධාරීන්ට රැකියා ලබා දීම සඳහා අවම වැඩපිළිවෙලක් හෝ මේ වනතෙක් සකස් කර නොමැති බවත් බඳවාගැනීම් කරන්නේනම් එය මැතිවරණ ඉලක්ක කරගනිමින් සිදු කිරීමට ආණ්ඩුව සුදානම්ව සිටි බවත් මේ අනුව පැහැදිළිව දක්නට ඇත.