Posted on 09.18.2017 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත් පෙළ with 0 Comments
සයිටම් ගැටලුව සම්බන්ධයෙන් විසදුම් සෙවීමට යැයි කියමින් ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව පක්ෂග්‍රාහී එකක් බව එම කමිටු වාර්තාව විසින්ද සනාථ කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව ප්‍රකාශ කළේ අද (18) කොළඹ පැවැති ජනමාධ්‍ය සාකච්ඡාවකදීය.
පෙ.ස.ප. අධ්‍යාපන ලේකම්වරයා විසින් දැක්වූ අදහස් සාරාංශයක් පහත පළ වේ.
“සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදයට විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව පසුගිය 11 වැනිදා වාර්තාවක් ජනාධිපතිවරයාට ලබාදී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්න අප පක්ෂය තීරණය කළා.
දැන් මේ කමිටුවේ සාමාජිකයන් ගත්තම හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයා ඇරෙන්න අනෙක් සියලූම දෙනා අභියාචනා අධිකරණයේ නඩුවෙදි සයිටම් ආයතනයට පක්ෂපාල අදහස් පළ කළ අයයි. එවැනි අය අරගෙන මේ ගැටලූවට ස්වාධීන විසඳුමක් ලබාගන්නවා කියන්නෙම විහිලුවක්. කමිටුවකට පස් දෙනෙක් නම්කරලා එයින් 4 දෙනෙක්ම පාර්ශ්වකරුවන්, මේ වගේ කාරණා ගැන නීතියෙදි කියනවා conflict of interest කියලා. මේ කමිටුවෙදි නීතිපතිවරයා වෙනුවෙන් සම්බන්ධ වෙන්න නම් කර තිබෙන්නෙ සංජය රාජරත්නම් කියන නීතිඥයා. පසුගිය කාලයේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් වූ නීතිමය කටයුතුවලදි නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ නිලධාරියා ඔහු. සයිටම් ආයතනයට පක්ෂපාත ලෙස ක‍්‍රියා කළ බවට ඔහුට චෝදනා තිබෙනවා. රටේ පවතින නීතියේ අර්ථකථන පවා සයිටම් ආයතනයට වාසිදායක ලෙස ගෙන ආ බවට ඔහු චෝදනාවට ලක් වුණා. ඉතින් එවැනි පුද්ගලයෙක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් පත් කළා. දැන් මේ කමිටුවේ නම් ටික බැලුවම පෙනෙනවා මේකට ස්වාධින විසඳුමක් නම් දෙන්න බෑ කියලා.
ඒ නිසා කමිටුව පත් කළ වහාම අපි කිව්වා මේ කමිටුවෙ සාමාජිකයන් ලෙස ඉන්න අය අය පක්ෂපාතියි, ඒ නිසා මේ කමිටුව ස්වාධීනයි කියලා කියන්න බෑ කියන කාරණාව. දැන් මේ කමිටුව විසින් වාර්තාවක් නිකුත් කර තිබෙනවා. ඒ වාර්තාවෙන් පෙනෙනවා මේ කමිටුව මොන වගේ ස්වාධීන එකක්ද කියලා. වාර්තාවෙ තියෙන්නෙ මීට කලින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයො, විශ්ව විද්‍යාල පීඨ ආචාර්යවරු ඉදිරිපත් කළ යෝජනා කිසිවකට එකඟ වෙන්න බෑ කියලා. වෛද්‍ය පීඨ ආචාර්යවරු කිව්වෙ මේ සයිටම් ආයතනයට ශිෂ්‍යයන් බඳවාගැනීම වහා නවත්වන්න කියලා. නමුත් මේ කමිටු වාර්තාවෙ කියන්නෙ එහෙම කරන්න බෑ කියලා. වෛද්‍ය පීඨ ආචාර්යවරු කිව්වා මේ සයිටම් ආයතනයට පැමිණි ශිෂ්‍යයන් අතුරින් අවම සුදුසුකම් තියෙන අය කවුද එහෙම නැතිව මුදල් බලයෙන්ම ආව අය කවුද කියලා බලලා ඒ දෙපාර්ශ්වයට වෙනම විසඳුම් සොයන්න කියලා. කමිටු වාර්තාවෙන් කියන්නෙ එහෙම වර්ග කරන්න බෑ කියලා. අනෙක් කාරණාව ලෙස මේ හර්ෂ ද සිල්වා කමිටුව කියන්නෙ අවම සුදුසුකම් තීරනය කරන්න වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ට හෝ ශිෂ්‍යයන්ට අයිතියක් නෑ, ඒක කරන්නෙ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමයි කියලා. එහෙමනම් අපි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් අහනවා විශ්ව විද්‍යාලවලට බඳවාගන්න අවම සුදුසුකම් මොනවද කියලා. පෞද්ගලික ආයතනවලට එක් අවම සුදුසුකමකුයි රජයේ විශ්ව විද්‍යාලවලට වෙන අවම සුදුසුකමකුයි තියෙන්න බෑ. පෞද්ගලික ආයතනවලට අවම සුදුසුකම් තීරණය කළ නිලධාරියා කවුද? සයිටම් ආයතනය වෙනුවෙන් තමන්ගෙ බලය අයුතු ලෙස භාවිත කළ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති මොහාන්ද සිල්වා සම්බන්ධව ගෙන ඇති පියවර මොනවද කියලා අපි අහනවා. ගෙන ඇති නීති පියවර මොනවද? මොකද දැන් මේක නීතියේ ආධිපත්‍ය පිළිගන්නා බව කියන ආණ්ඩුවක්.
දැන් රාජ්‍ය විශ්ව විද්‍යාල වෛද්‍ය ශිෂ්‍යයන්ට දෙන්නෙ අවුරුද්දක පුහුණුවක්. මේ සයිටම් ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවුරුදු එක හමාරක සීමාවාසික පුහුනුවක් දෙනවලූ. ඉතින් රාජ්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට වඩා මාස 6ක් සීමාවාසික පුහුනුව දුන්නම ඒ අය වෛද්‍ය වෘත්තියට එන්න පුලූවන් කියන සහතිකය දුන්නෙ කවුද? ඒ නිසා අපි කියනවා ඒ වගේ නිර්දේශ දෙන්න තරම් මේ කමිටුවෙ ඉන්න වෛද්‍ය විද්‍යාව හෝ වෛද්‍ය අධයාපනය පිලිබද විශේෂඥ දැනුම තියෙන අය කවුද? එවැනි විශේෂඥයන් කවුරුත් නෑ. එක්කෙනකේ තමන් ආර්ථික විශේෂඥයෙක් කියන පුද්ගලයෙක්. අනෙක් කෙනා නීතිපති දෙපාර්තමේන්තුවෙ කෙනෙක්. අනෙක් හැමදෙනාම රාජ්‍ය නිලධාරින්. ඒ කාටවත් බෑ මේ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ විශේෂ තීරණ ගන්න. ඒ නිසා මේ කමිටුව විහිලූවක්. මේක මහා බොරුවක්. ජනාධිපතිවරයාට ඕන වුණා අධ්‍යාපන පෞද්ගලිකකරණය කිරීමේ තීරණයට සහතිකයක් ගන්න. දැන් ජනාධිපතිවරයා මේ කමිටු වාර්තාව පෙන්වයි මෙන්න අපේ ස්ථාවරරය කියලා. පිටු 14ක වාර්තාවකින් කරන්න යන්නෙ එකයි. සම්පූර්ණ බොරුවක් කරන්නෙ.
ඒ වගේම පහුගිය දවස්වල දෙසැම්බර් 31ට පෙර සයිටම් ආයතනයට ශිෂයයන් බදවාගන්න එපා කියලා ආණ්ඩුව නිවේදනයක් කළා කියලා පසුගිය දවස්වල වාර්තා පළ වුණා. මේ ආයතනයට අවුරුද්දකට අවශ්‍ය ශිෂ්‍යයන් බඳවාගෙන ඉවරයි. හැම මාසෙම ශිෂ්‍යයො ගන්නෙ නෑ. ඒ නිසා මේවා මහ බොරු වැඩ. අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහනවා වගේ මේ අවුරුද්දෙ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් බඳවාගෙන අවසන් වුණාම ආණ්ඩුව නැවත බඳවාගැනීම් තහනම් කරනවා. ශිෂ්‍යයෝ බඳවාගත්තට පස්සෙ නැවත බඳවාගන්න එපා කියන ජනාධිපති කෙනෙකුගෙ ජනාධිපතිකම මොකක්ද? මේ තත්වය නිසා අපි මින් පෙර කිව්වා වගේම මේ කමිටු වාර්තාව ප‍්‍රතික්ෂේප කරනවා.“