தமிழ்
English
Contact
Tuesday 22nd August 2017    
රථ වාහන දඩය රු: 25,000 දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය « Lanka Views | Views of the truth

රථ වාහන දඩය රු: 25,000 දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය



මෝටර් වාහන පනත යටතේ සිදුකරන රථවාහන වැරදි සඳහා අය කරනු ලබන අවම දඬ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

අද(10) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මෙලෙස අදහස් දැක්වීය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම අනුමැතිය හිමිවී ඇත.

මේ අනුව වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, වලංගු බලපත්‍රයක් නොමැති පුද්ගලයකු රියදුරු සේවයේ නියුක්තකරවීම, මත්ද්‍රව්‍ය භාවිත කොට රිය පැදවීම, දුම්රිය මාර්ගයක් හරහා අපරික්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළු කිරීම සහ වලංගු රක්ෂණාවරණයක් නොමැති ව රිය ධාවනය කිරීම යන වැරදි සම්බන්ධයෙන් පනවනු ලබන දඩ මුදල මෙලෙස ඉහළ නන්වා ඇත. තවද අධික වේගයෙන් රිය පැදවීම, වමෙන් ඉස්සර කිරීම, නොසැලකිලිමත් අයුරින් රිය ධාවනය කිරීම, බාලවයස්කරුවන් විසින් රිය ධාවනය සඳහා අවම දඩ මුදල රුපියල් 2,500 දක්වා ඉහළ දමා ඇති බවද මෙහිදී පැවසීය.

කෙසේ වෙතත් මීට පෙරද මෙම යෝජනාව ඉදිරිපත් කර තිබු අතර ජනතා විරෝධය හමුවේ එම තීරණය හකුලා ගැනීමට ආණ්ඩුවට සිදු විය.

යෝජිත දඩ ක්‍රමය අනුව, පහත සඳහන් රථ වාහන වැරදි සඳහා අය කරනු ලබන අවම දඩ මුදල රුපියල් 25,000/- ක් දක්වා වැඩි කෙරේ.

– වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම.
– රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තන් සේවයේ නියුක්ත කිරීම.
– මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය.
– දුම්රිය මාර්ගයක් තුළට අපරික්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළු කිරීම.
-වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය.

එසේම තවත් රථ වාහන වැරදි සඳහා දැනට අය කරනු ලබන අවම දඩ මුදල් සංශෝධනය කිරීමට යෝජනා විය.

– අධික වේගයෙන් රිය පැදවීම (නියමිත උපරිම වේගය ඉක්මවා 20% දක්වා අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 3,000ක්ද; නියමිත උපරිම වේගය ඉක්මවා 20% ට වැඩි හා 30%ට අඩු අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 5,000ක්ද; නියමිත උපරිම වේගය ඉක්මවා 30% ට වැඩි හා 50%ට අඩු අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 10,000ක්ද; නියමිත උපරිම වේගය ඉක්මවා 50% ට වැඩි අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 15,000ක්ද වශයෙන් ස්ථානීය දඩ නියම කිරීම)

– වමෙන් ඉස්සර කිරීම (මෙම වරද සඳහා වන අවම ස්ථානීය දඩය රුපියල් 2,000/- ක් දක්වා වැඩි කෙරේ)

– වෙනත් තැනැත්තන් කෙරෙහි නොසැලකිලිමත්ව හෝ යුක්ති සහගත සැලකිල්ලක් නොමැතිව රිය ධාවනය කිරීම (මෙම වරද සඳහා රුපියල් 10,000/- ක අවම දඩයක් නියම කෙරේ)

-අපරික්ෂාකාරීව හෝ අනතුරුදායක ආකාරයකින් හෝ අන්තරාදායක වේගයකින් මෝටර් වාහනයක් ධාවනය කිරීම (මෙම වරද සඳහා රුපියල් 10,000/- ක අවම දඩයක් නියම කෙරේ)

– නියමිත වයසට අඩු වයසේ තැනැත්තන් විසින් රිය පැදවීම (මෙම වරද සඳහා දැනට පවතින අවම දඩය රුපියල් 5,000/- ක සිට 30,000/- දක්වා වැඩි කෙරේ)

– මෝටර් වාහන පනතේ ප්‍රකාශිතව දඬුවම දක්වා නොමැති යම් වරදක් සඳහා අදාළ කර ගනු ලබන පොදු දණ්ඩනය යටතේ අය කෙරෙන අවම දඩ මුදල රුපියල් 2,500/- ක් දක්වා වැඩි කිරීම.
ජංගම දුරකථනය භාවිත කරමින් රිය පැදවීම සම්බන්ධයෙන් රුපියල් 2,000/- ක ස්ථානීය දඩයක් නියම කිරීම.
මීට අමතරව ඇමති මණ්ඩලය විසින් පහත තීරණ ගෙන තිබේ.

රියදුරු ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම.
රිය අනතුරු බහුලව සිදුවන ස්ථාන ආශ්‍රිතව CCTV කැමරා ස්ථාපනය කර එම තොරතුරු මත පදනම්ව වරදකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.
රථ වාහන වැරදි සඳහා වන ස්ථානීය දඩ මුදල් අය කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම් යොදා ගැනීමේ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීම.
අධීවේගී මාර්ගවල හා මහාමාර්ගවල වේග සීමා පුවරු විධිමත්ව ප්‍රදර්ශනය කිරීම.
ශ්‍රීලංගම හා පෞද්ගලික බස්රථ ධාවනයට අදාළව ඒකාබද්ධ කාලසටහන් හෝ සුදුසු වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම.
ත්‍රි රෝද රථ සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ හා වෑන් රථ නියාමනය පිණිස නියාමන ආයතන පිහිටුවීම.
මගී ආරක්ෂාව සුරක්ෂිත කෙරෙන කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් ස්ථාපිත කිරීම.
රථවාහන නීතිය ක්‍රියාත්මක කරනු ලබන ඇතැම් නිලධාරින් විසින් සිදු කරනු ලැබිය හැකි විවිධ අක්‍රමිකතා අවම කිරීම සඳහා සහ නීතිය ක්‍රියාත්මක වීමේ විනිවිදභාවය ඇතිකරලීම සඳහා නවීන තාක්ෂණික මෙවලම් භාවිත කිරීම.