නාවික හමුදාපති යැව්වෙ මම – රනිල් වික්‍රමසිංහ පිලිගනී!
Posted on 12.15.2016 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මාගම්පුර වරායේ ජාත්‍යන්තර නැව් දෙකක් බලහත්කාරයෙන් රඳවා ගැනීමෙන් රටට අහිතකර තත්වයක් මතුවූ නිසා ආරක්ෂක ලේකම් සමඟ අදහස් හුවමාරු කරගෙන එම නැව් නිදහස්කර දෙන ලෙස නාවික හමුදාපතිවරයාට උපදෙස් දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ අද ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
අගමැතිවරයා මේ බව සඳහන් කළේ අද (15) පස්වරුවේ අරලියගහ මන්දිරයේදීය. පළමුවෙන්ම නාවික හමුදාපතිවරයා සිය සම්පූරණ නිලඇදුමින් පැමිණ කිසියම් වාර්තාවක් අගමැතිවරයා අතට පත් කළේය. එය පිටු පෙරලා බැලූ අගමැතිවරයා ජනමාධ්‍යකරුවන් අමතා අදහස් ප්‍රකාශ කලේය.
“නාවික හමුදාපතිවරයාගෙන් එසේ කළ ඉල්ලීමට අනුව තමයි එතුමා මැදිහත්වුණේ. නාවික හමුදාව එම නැව් ඉවත්කිරීමේදී ප්‍රශ්න තිබුණත් කෙසේ හෝ එම නැව් ඉවත් කළා.“
එසේම හම්බන්තොට වරායට නැව් පැමිණීම සහ වරාය සේවක වැඩ වර්ජනය අතර සම්බන්ධයක් පෙන්වීමටද අගමැතිවරයා උත්සාහ කලේය.
“පසුගිය කාලයේ හම්බන්තොට වරායට පැමිණියේ නැති තරම්. නැව් තුන හතරක් ගෙන්වා ගත්තෙත් බොහොම ආයාසයෙන්. අනාගතයේ වරායේ දියුණුවත් සමඟ තවදුරටත් නැව් ගෙන්වා ගැනීමට හැකිවෙනවා. වරාය සේවකයන් වැඩවර්ජනය කළේ රැකියාව මුල් කරගනිමින්. චයිනා මර්චන්ට් සමාගම පැවසුවා වර්තමානයේ පවතින කොන්දේසි මත මේ සියලු දෙනාම අලුත් සමාගමට බඳවා ගන්නා බව.“
එහිදී වැඩ වර්ජනය හා සත්‍යග්‍රහය නිසා සිදුව ඇති අලාභය පිළිබදවද අගමැති රනිල් වික්‍රමසිංහ වරාය සේවකයන්ට චෝදනා කළේය.
“මේ වෙද්දී K-Line නැව් සමාගමෙන් ඒ අයට සිදුව ඇති අලාභය සඳහන් කර ඩොලර් ලක්ෂ හතරක බිලක් එවලා තිබෙනවා. දැන් මෙය ගෙවන්නේ කවුද? අනෙකුත් නැව්ද මේ විදිහට අලාභය ඉල්ලන්න පුළුවන්. හම්බන්තොට වරාය ප්‍රශ්න තිබෙන වරායක් බවත් මෙම වරායට පැමිණීමෙන් වැළකී සිටියයුතු බවට ඇතැම් නැව් සමාගම් අතර කතාබහක් ඇතිවෙලා තිබෙනවා. එහෙම වුනොත් හම්බන්තොට වරාය ජාත්‍යන්තර වරායක් බවට පත්කිරීමට ආසන්නව තිබියදී අපට විශාල හානියක් වෙන්නේ.“
වෘත්තිය ක්‍රියාමාර්ගය මැඩ පැවැත්වීමට නාවික හමුදාව පැමිණෙද්දී මාධ්‍යවේදින් වරායට ඇතුලු වූ ආකාරය පිළිබදවද ප්‍රශ්නයක් ඇති බව අගමැතිවරයා මෙහිදී පැවසීය.
“අදාළ මාධ්‍යවේදියා අවසර නොගෙන වරායට පැමිණ ඇති බවටත් පැමිණිල්ලක් ලැබී තිබෙනවා.ඒ ගැනත් පරීක්ෂණයක් කෙරෙනවා. චීන සමාගමේ මේ ඉල්ලීමක් මත මින් ඉදිරිය වරාය ආසන්නයේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදා කඳවුරක් ඇතිකිරීමටත් නාවික හමුදාපතිවරයාට උපදෙස් දී තිබෙනවා.”