தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය අහිමි කිරීම ගැන කණගාටු වුණාම ඇතිද? – Youth for CHEnge « Lanka Views | Views of the truth

පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය අහිමි කිරීම ගැන කණගාටු වුණාම ඇතිද? – Youth for CHEnge



තරුණයන්ට රැකියා දසලක්ෂයක් දෙන බව කියමින් පොරොන්දු දී බලයට පත් වූ ආණ්ඩුව තරුණ ප්‍රජාවගේ අයිතිවාසිකම් නොතකා කටයුතු කරමින් සිටින බවත් මෙවර පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කිරීමේදී තරුණ නියෝජනයත් අහෝසිකර ඇති බවත් ‘වෙනසක තාරුණ්‍යය‘ සංවිධානය චෝදනා කරයි.

‘වෙනසක තාරුණ්‍යය‘ සංවිධානයේ සුජිත් කුරුවිට විසින් එහිදී පළකළ අදහස්වල සංක්ෂිප්තයක් පහත පළ වේ.

“පළාත්පාලන මැතිවරණ සංශෝධන පනත පසුගිය අගෝස්තු 25 වැනිදා පාර්ලිමේන්තුවෙදි සම්මත කළා. මේ දක්වා පළාත්පාලන ඡන්ද විමසීම්වලදි අපේක්ෂක ලැයිස්තුවල තරුණ නියෝජනය 40%ක් වියයුතුයි කියන කොන්දේසිය තිබුණා. මෙවර සම්මත කළ සංශෝධනයෙන් එම අවශ්‍යතාව අහෝසි කරමින් තරුණ නියෝජනය ඉවත්කර තිබෙනවා.

1992 මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලකගේ මූලිකත්වයෙන් කැදවපු තරුණ අසහන කොමිසම තමයි මේ පළාත්පාලන මැතිවරණවලදි අපේක්ෂකයන් 40%ක් සිටියයුතුයි කියන නිර්දේශය යෝජනා කළේ. අපි දන්නවා 1988-89 කාලයේ මේ රටේ තරුණ තරුණියන් හැට දහසක් ඝාතනය කළ පසුව තමයි මේ තරුණ අසහන කොමිසමක් නම් කළේ. එදා මහාචාර්ය ජී.එල්.පීරිස් පවා මේ කොමිසම නියෝජනය කළා. එම කමිටුව විසින් ආණ්ඩුවට නිර්දේශ කළ ආකාරයට අවුරුදු 35ට අඩු තරුණ තරුණියන්ට අපේක්ෂක ලැයිස්තුවෙන් 40% ක් වෙන්කිරීම සිදු වුණා. නමුත් පදුගියදා ආණ්ඩුව විසින් සම්මත කළ පළාත්පාලන මැතිවරණ සංශෝධන පනතින් එම තරුණ නියෝජනය අහෝසි කර තිබෙනවා. මින් පස්සෙ දේශපාලන පක්ෂවල අපේක්ෂක ලැයිස්තු සකස් කරද්දි තරුණ නියෝජනයක් ගැන සලකා බලන්න අවශ්‍යතාවක් එන්නෙ නෑ. ඉතින් මේ පනත 35 වැනිදා සම්මත කරද්දි ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය මේ පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය මේ පනතට ඡන්දය දීමෙන් වැලකිලා තිබුණා.

අපි කවුරුත් දන්නවා පාර්ලිමේන්තුවේ,  පළාත් සභාවෙ හෝ පළාත්පාලන ආයතනවල හෝ තරුණ නියෝජනය 40% කළාම එහෙම නැත්නම් අපේක්ෂක ලැයිස්තුවට තරුණයන් 40%ක් දැම්මට මේ රටේ තරුණ පරම්පරාවෙ ප්‍රශ්න අවසන් වෙන්නෙ නෑ. තරුන අසහනය අවසන් වෙන්නෙත් නෑ, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙන්නෙත් නෑ. නමුත් ලිබරල් අර්ථයකින්ගෙනාව මේ යෝජනාව නිසා තරුණයන්ගෙ දේශපාලන නියෝජනය වැඩි වෙනවා කියලා මේ රටේ ආණ්ඩු කරපු අයමයි පිළිගත්තෙ. ඔවුන්ම ගෙනා යෝජනාව අද දවසෙ අකුලා ගනිද්දි එක්සත් ජාතික පක්ෂයෙන්,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණෙන් අපි අහනවා දැන් මේ රටේ තරුණ අසහනය අවසන් වෙලාද කියලා. දැන් තරුණයන්ගෙ ප්‍රශ්න අවසන් වෙලා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙලාද කියලා අපි අහනවා. නාමික මට්ටමෙන් හරි තහවුරු වෙලා තිබුණු යම් කිසි මට්ටමක තරුණ නියෝජනය වැඩි කරණ එවැනි තීරණයක් මේ ආකාරයට අවලංගු කරන්න ඇති තර්කය හෝ හේතුව මොකක්ද? කවුරුවත් මේකට පිළිතුරක් දීල නෑ. ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයක් පාර්ලිමේන්තුවෙදි මේ පනතට පක්ෂව චන්දය පාවිච්චි කරනවා විතරක් නෙවෙයි, මේ නියෝජනය අයින් කරන්න ඕන කියලා පාර්ලිමේන්තුවෙදි කරුනු දැක්වීමකුත් කර තිබෙනවා.  පනත සම්මත වුණාට පස්සෙ අනුර දිසානායක  මහත්මයා කිව්වෙ තරුන නියෝජනයක් තිබුණම ඒකෙන් ප්‍රයෝජනය ගන්නෙ දේශපාලකයන්ගෙ දරුවො, මන්ත්‍රිවරුන්ගෙ දරුවො නිසා ඒක අහෝසි වුණාට කමක්නෑ කියලා. දැන් තරුණ නියෝජනය තිබුණත් නැතත් මන්ත්‍රිවරුන්ගෙ දරුවො දේශපාලනය කරනවා කියන එක අනුර දිසානායක මහත්මයට තේරෙන්නෙ නැද්ද කියලා අපි අහන්න කැමතියි. පනත්වලින් නීතිවලින් අවම වශයෙන් නාමිකව හෝ  තිබුණ යම් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් ලෙස තරුණ නියෝජනය අහෝසි කරන්න කොහොමද වාමාංශික පක්ෂයක් අත උස්සන්නෙ කියලා අපි ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රශ්ණ කරනවා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියනවා මේ විදියට තරුණ නියෝජනයට අවස්ථාව අහිමිවීම ගැන කණගාටු වෙනවා කියලා.  නමුත් ඒ විදියට කණගාටු වුණාම ඇතිද? මැතිවරණ කොමිසම වැනි දෙයක් 18 වැනි සංහෝධනයෙන් ගෙනාවෙ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙනවා කියලයි. නමුත් මේ විදියට ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂන මේ විදියට ඉවත් වෙනකොට කණගාටු වුණාම ප්‍රමාණවත්ද කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් අපි අහනවා.

අනෙක් පැත්තෙන් මේ ආණ්ඩුව බලයට පත් වුණේ තරුණ තරුණියන්ට රැකියා දසලක්ෂයක් දෙනවා කියලා. බයික් එකේ දෙන තරුණයන්ට කාර් දෙනවා වගේ පොරොන්දු දුන්නා. දැන් රැකියා දසලක්ෂය වගේ පොරොන්දු ගැන රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් ආණ්ඩුවේ කවුරුවත් කතා කරන්නෙ නෑ. දැන් තරුණ විරැකියාව විසදිලාද? අපි දක්න යෙක් තමයි සීමිත මට්ටමින් හෝ පුරප්පාඩු පුරවද්දි සම්පූර්ණයෙන්ම දේශපාලන පත්කිරීම් තමයි සිදුවෙන්නෙ. කබීර් හෂීම් මහත්මයාගෙ නිල මැදිහත්වීම් වශයෙන් තමයි සිදුවෙන්නෙ. මේ නිසා තරුණ ප්‍රශ්න සම්බන්ධයෙන් කිසිදු විසදුමක් නැතිව මේ ආණ්ඩුව යම් ආකාරයකට තරුණයන් නියෝජනය කරන්න තරුණයන් සදහා යෝජනා කර තිබුණ  අවස්ථාත් අහිමි කිරීම සම්බන්ධයෙන් අපි අපේ විරෝධය පළ කරනවා. අපි දන්නවා මේ වගේ තරුණ නියෝජනයක් පැවතීමෙන් පමණක් තරුණ තරුණියන්ගෙ ප්‍රශ්න විසදලා අවසන් වෙන්නෙ නෑ. නමුත් තිබෙන තරුණ නියෝජනයත් ඉවත් කිරීම සම්බන්ධව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරුණ සංවිධානය විධියට ‘වෙනසක තාරුණ්‍යය‘ වශයෙන් අපි  අපගේ බලවත් විරෝධය ප්‍රකාශ කරනවා.“

Save