தமிழ்
English
Contact
Wednesday 26th July 2017    
සයිටම් අරගලයට වැඩකරන ජනතාව සූදානම් කරන්න! – වෘත්තිය සමිතිවලට ඉල්ලීමක් « Lanka Views | Views of the truth

සයිටම් අරගලයට වැඩකරන ජනතාව සූදානම් කරන්න! – වෘත්තිය සමිතිවලට ඉල්ලීමක්




අධ්‍යාපන අයිතින් ආරක්ෂා කරගැනීම පිනිස ශිෂ්‍ය ව්‍යාපාරය විසින් අඛණ්ඩ අරගලයක යෙදී සිටියදී එය ජයග්‍රහණය කරා ගෙන යා හැකි වැඩකරන ජනතා බලයක් වහාම සහායට එක් වියයුතු බව විද්වතකු, වාමාංශික මත දක්වන්නකු හා දේශපාලන ක්‍රියාකාරිකයකු වන ආචාර්ය සුමනසිරි ලියනගේ පවසයි.

ජනතාව සතු අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීමට සයිටම් වැනි උපාධි විකුණන ආයතනවලට එරෙහි අරගලයක අවශ්‍යතාව නිවැරදිව වටහාගෙන මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය විසින් එම අරගලය ආරම්භ කළද එහි ජයග්‍රහණය රැදී ඇත්තේ වැඩකරන ජනයාගේ සංවිධානාත්මක බලය හසුරුවන වෘත්තිය සමිති ව්‍යාපාරය මත බව ඔහු අවධාරණය කරයි. ‘වෘත්තිය සමිති නායකයන්ට විවෘත ආයාචනයක්‘ යන සිරස්තලයෙන් සිය ෆේස්බුක් පිටුවේ ඔහු තබා ඇති සටහන සම්පූර්ණයෙන් පහත පළ වේ.


වෘත්තිය සමිති නායකයන්ට විවෘත ආයාචනයක්

මේ වන විට නිදහස් අධ්‍යාපනය ප්‍රබල තර්ජනයකට මුහුණ දෙමින් ඇත්තේ ය. නිදහස් අධ්‍යාපනය යනු පළවෙනි ශ්‍රේණියේ සිට විශ්ව විද්‍යාලය දක්වා නොමිලේ ඉගෙන ගැනීමට ඇති අයිතිය පමණක්ම නොවේ. එහෙත් එය එහි මූලික සහ වෙන් නොකළ හැකි අංගයකි. අධ්‍යාපන ආයතන අතර විභේදනයන් හැකිතාක් අවම කිරීම ද එහි වැදගත් අංගයකි. මෙම සියලු අංග 1977 සිට ක්‍රමානුකූලව දුර්වල කරමින් සිටින අතර පහුගිය වසර 40 තුළ පාලනය ගෙනගිය හැම රජයක්ම ඊට වගකිව යුතු ය. මෙම ප්‍රහාරයට වේගවත් කෙරුනේ එස් බී දිසානායක උසස් අධ්‍යාපන ඇමති ලෙස ක්‍රියා කළ සමයේ ය. ඔහු කන්නන්ගර මහතාගේ ප්‍රති-වීරයාගේ භුමිකාව රග දැක්විය. කිරිඇල්ල ඇමතිවරයා පේරාදෙණි සහ කොළඹ විශ්ව විද්‍යාල පෙෳද්ගලිකකරණය කිරීමට පිඹුරුපත් සකසමින් සිටින බව නොරහසකි.

මෙම කරුණ නිසිලෙස තේරුම් ගත්තේ මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය පමණක්ම බව සදහන් කළ යුතු ය. මෙම සෙමින් සිදුවන -බඩගා යන- ක්‍රියාවලිය ඔවුන් ආසන්නවම සිට අත් දැක්කේ ය. මව්පියන් සහ වැඩිහිටියන් වන අප සංවේදි වූයේ එම ක්‍රියාවලියට එරහිව පිහිනමින් තම තමන්ගේ දුවා දරුවන් ගොඩ දා ගැන්මට ය. අතිකාල, වෙනත් අතිරේක ආදායම් මාර්ග සහ ණය ගැනීම් හරහා ගොස් අපි එයට මුහුණ දුන්නෙමු. මේ නිසා අපි කිසිවිටෙක එය ජාතික ව්‍යසනයක් ලෙස නොදුටුවෙමු.

සයිටම් අර්බුදය අද මෙම ප්‍රශ්නය එලිපත්තට ගෙනවිත් ඇත්තේ ය. එය සමහරුනගේ නිවෙස් ඇතුලටමත් කඩා වැදී ඇත්තේ ය. අධ්‍යාපනය සහ සෙෳඛ්‍යය ලාභ ගරන්නට ඇති හොදම අංශ දෙක බව පුද්ගලික ධන වැද්දෝ දනිති. එම ලාභයෙන් කොටසක් තමන්ට ද ලැබෙන බව දේශපාලනඥයෝ දනිති. ඔබ ඔබෙන්ම ප්‍රශ්න කර ගන්න. ඔබ ඔබේ ආදායමෙන් කොපමණ ප්‍රතිශතයක් ඔබේ දුවා දරුවනගේ අධ්‍යාපනයට යොදවන්නේ ද? එම මුදල පහුගිය වසර 10 තුළ කෙතරම් නම් ඉහල ගියේ ද?

වෘත්තිය සමිති සාමාජිකයන් සහ මෙරට වැඩකරන ජනතාව, වැඩකරන ජනතාව පමණක් නොවේ. ඔව්හු මව්පියන් ද වෙති. එමනිසා මෙම ප්‍රශ්නයට ඔබ ප්‍රමාදව හෝ අත ගැසිය යුතු ය. කොපමණ වීරෝදාර ලෙස තම ජීවිත පරදුවට තබා සටන් කළ ද ශිෂ්‍ය ව්‍යාපාරයට මෙය තනිව විසදාගත නොහැක. එසේ බලාපොරොත්තු වීම ද වැරදි ය.

අපි අවධාරණය කරමු. සමිති නායකයෙනි, මෙම ප්‍රශ්නය සාමාජිකත්වය සහ අනෙක් වැඩකරන ජනතාව අතරට ගෙන යන්න. දිනක වෘත්තිය සමිති සම්මේලනයක් කැදවා සටන සදහා වැඩකරන ජනතාව සූදානම් කරන්න. ඒ සදහා දින නියම කරන්න.