Posted on 09.10.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
පෞද්ගලික අධ්‍යපානයට අදාළ නියාමන කාර්යන් සඳහා නව කොමිසමක් පත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වේ.
සයිටම් අර්බුදය පිළිබඳ සෙවීමට ආණ්ඩුව පත් කර ඇති ව්‍යාජ කමිටුව සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී මෙම කොමිසම පිළිබඳව කරුණු අනාවරණය වී ඇත.
මෙම කොමිසම පෞද්ගලික විශ්වවිද්‍යාල තත්ව පාලන හා නියාමන කොමිසමක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ඒ සඳහා අවශ්‍ය කෙටුම්පත මේ වන විටත් සකස් කර ඇති බවත් වාර්තා වේ.
මෙතෙක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සතුව තිබු වෛද්‍ය ආධ්‍යාපනය නියාමනයට අදාළ කාර්යන් මෙලෙස කොමිසමකට ලබා දීමට තීරණය කිරීම පිටුපස පැහැදිලිවම ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය සහ SAITM රැක ගැනීමේ වුවමනාව සැඟවී තිබෙන බව නොරහසකි.
මෙම කොමිසම මඟින් වෛද්‍ය සිසුන්ගේ ඇතැම් අත්‍යවශ්‍ය පුහුණු කාලසීමාවන් සහ ශික්ෂණ රෝහලකට අවශ්‍ය ඇදන් සහ රෝගීන් සංඛ්‍යාව වැනි කරුණු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා වාසි සහගත වන පරිදි සංශෝධනය කර ඇති බව වාර්තා වේ.
අදාළ සංශෝධනයන්ට අනුව ශික්‍ෂණ රෝහලක 700ක්ව පැවතිය යුතු අවම ඇඳන් සංඛ්‍යාව 470 දක්වාත්, රෝගීන් සඳහා ඇඳන් භාවිතය සියයට 80 සිට 70 දක්වාත් අඩු කර ඇත.
මේ සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ සාමාජිකයන් දැඩි විරෝධයක් එල්ල කර ඇති අතර පවතින ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් වෛද්‍ය සභාවේ අවම ප්‍රමිතිය පිළිබඳ කමිටුව හෙට දිනයේ රැස්වීමට ද නියමිත බව පැවසේ.
එමෙන්ම වෛද්‍ය සභාවේ ද හදිසි රැස්වීමක් එළඹෙන 12වන දා කැඳවීමට නියමිතව ඇත.
මාස ගණනාවක් පුරාවට වෛද්‍ය සභා සභාපති ධූරය සඳහා පත් කිරීමක් සිදු නොකර මෙලෙස එහි කාර්යන් ආණ්ඩුවේ සෘජු මැදිහත් වීමක් සහිත කොමිසමක් වෙත ලබා දීමට කටයුතු කිරීම ආණ්ඩුවේ අත්තනෝමතිකත්වය මැනවින් පිළිබිඹු කරන අවස්ථාවක් ලෙසද පෙන්වා දිය හැක.