தமிழ்
English
Contact
Sunday 8th October 2017    
කැලෑ පත්තර ගහන්නෙ, ගහපල්ලකො පෙස්සමක්! « Lanka Views | Views of the truth

කැලෑ පත්තර ගහන්නෙ, ගහපල්ලකො පෙස්සමක්!



අද උදෙන්ම කාර්යාලයට යද්දි වෙනදට ලස්සන කෙල්ලොන්ගෙ ෆොටෝ එල්ලිලා තියෙන බෞද්ධාලෝක මාවතේ දැන්වීම් පුවරු කැලෑ පත්තර වගේ පෝස්ටයකින් වැහිල තිබුණා. අමුත්තක් දැනුනු නිසා ටිකක් ළං වෙලා බැලුවා. අම්මට සිරි වගේ නෙමෙයි ඇත්තටම කැලෑ පත්තරයක්. නිකංම නිකං කැලෑ පත්තරයක් නෙමෙයි, ඒක සයිටොම් එකට කඩේ යන කැළැ පත්තරයක්. වැඩේ කියන්නෙ ඒක දැක්කෙත් අපූරුම තැනකදි. ඒ තමයි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ ගේට්ටුව ළඟ දැන්වීම් පුවරුවෙ. මේ පෝස්ටරේ වගකීම විදියට දාල තිබුණේ “දූෂණ විරෝධී බලවේගය“ කියලයි. ඒ පෝස්ටරයේ තිබුණෙ අපූරු වැකි කිහිපයක්.

“දූෂිතයන් රකින

රට අස්ථාවර කරන

GMOAට

ආචාර්ය සංගමයට

අන්තරයට

ඩොලර් මිලියන 3ක කප්පමක්”

කොහොම වුණත් මේක ආණ්ඩුවට විතරක් නෙමෙයි සෞඛ්‍ය ඇමැති රාජිත ගොයියට කඩේ යන්න ගහපු පෝස්ටරයක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. සීග්‍රගාමී කියල ගහපු මුල්ම පෝස්ටරේ නිකං අන්දුන් කුන්දුන් වුණාට දෙවෙනි තුන්වෙනි පෝස්ටරේ එනකොට අපි දැන ගත්ත ඒක බිස්කට් දැන්වීමක් තමයි කියල. ඒ වගේ තමයි මේකත්. “නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයේ ශික්ෂණ රෝහලක් බවට පත් වෙයි“ කියල රතු පාටින් පෝස්ටරයක් දකින කොට නිකං අන්දුන් කුන්දුන් වගේ වුණාට, දොස්තර රාජිත ගොයියගෙ නම ලොකු අකුරින් දාල “ජනතා ප්‍රණාමය“ කියල පෝස්ටරේ දකින කොටම අපි දැනගත්ත මේක මොකාගෙ වැඩක් ද කියල. එහෙවු එකේ මේ කළු අකුරික් අලවපු පෝස්ටරේ ගැන අපිට අමුතු අටුවා ටීකා ඕනෙ නෑනේ.

මේ ලියවිල්ල ලියන්න අදහස් කළේ පෝස්ටරේ හිතපු එකා, ගහපු එකා, සල්ලි වියදම් කරපු එකා මොකාද කියලයි, උන්ගෙ පැටිකිරිය ගැන හෙළි කරන්නයි නෙමෙයි. ලංකාවේ සමාජ වගකීම් හා සමාජ කාර්ය භාරයන් කොයි තරම් නම් සිල්ලරට ද අළෙවි වෙන්නෙ කියන එක ගැන කතා කරන්නයි.

මේ වෙන කොට සයිටම් හොර උපාධි කඩේට සංවිධානයක් විදියට කරළියේ පෙනී හිටින පිරිස් අතරින් කැපී පෙනෙන සංවිධාන තුනක් තමයි මේ පෝස්ටරේට දාල තියෙන්නේ. එකක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙවත් GMOA එක. අනෙක ආචාර්ය සංගමය. අනෙක් ප්‍රධාන වගේම ප්‍රමුඛතම බලවේගය තමයි අන්තරේ. මේ සංවිධාන තුනේම නම් මේ පෝස්ටරේ මහ ලොකු අකුරින් දාල තියෙනව.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමස්ථ වැඩපිළිවෙල ගැන අපිට නං මහ ලොකු පැහැදීමක් නැතත්, මේ වෙලාවේ මේ හොර උපාධි කඩේට විරුද්ධව නැගී සිටිම, පෙනී සිටීම ගැන අපිට තියෙන්නේ යම් පැහැදීමක්. ඒ විතරක් නෙමෙයි ආචාර්ය සංගමය කියන්නේ ප්‍රබල විදියට සයිටම් එකට විරුද්ධව නැගී සිටින සංගමයක්.

ඊයේ (03) ජාතික පුවත්පත් බොහොමයක මේ ආචාර්ය සංගමයේ ස්ථාවරය දක්වල තිබුණා. ඒකෙදි කිසිම භේදයක් නැතුව සයිටම් වෛද්‍ය උපාධියට විරුද්ධව නැගී සිටිනව. ලංකාවේ විශ්වවිදයාල අටේම වෛද්‍ය පීඨවල සේවය කරන මහාචාර්යවරු විතරක් නෙමෙයි ආචාර්යවරු, වෛද්‍යවරු බොහොමයක් මේ හොර උපාධි කඩයට විරුද්ධව කරුණු ඉදිරිපත් කරල තිබුණා. මේ සයිටම් සම්බන්ධයෙන් අන්තරේ ක්‍රියාවලිය අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නෑ. මේ සටන ආරම්භ කරපු, අඛණ්ඩව ඇදගෙන ආපු, තවමත් එකම විදියට සිය මතය දක්වගෙන ඉන්න අන්තරේ කියන්නේ සයිටම් අහෝසි කිරීමකින් තොරව ඔවුන් පසුබහින්නේ නෑ කියලයි.

මේ විදියට සයිටම්වලට එරෙහිව නැගී සිටින ප්‍රබල සාධක තුනක් ඉලක්ක කරගෙන අද කොළඹ නගරය පුරා (මම හිතන විදියට) ඇලවිලා තියෙන මේ පෝස්ටරය සරලව ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකෙන් එල්ල කරල තියෙන්නේ බරපතල චෝදනාවක්. ඒ තමයි රට අස්ථාවර කරන්න, දූෂිතයින් රකින්න සයිටම් එකට විරුද්ධව ක්‍රියාත්මක වන සංවිධාන තුනක් ඩොලර් මිලියන 3ක් කප්පම් අරන් කියන එක.

දැන් මේකෙදි මතුවෙන කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි “මාර වැඩේ…“ කියන එක. ඒ මාර වැඩේ තමයි මේ රට අස්ථාවර කරන්නයි, දුෂිතයො රකින්නයි විදේශවලින් සල්ලි අරන් තියෙන්නේ සයිටම් විරෝධීන් වීම. මාරයි අප්පා ඒක.  බැඳුම්කර කොමිසමේ දී පැහැදිලිවම චෝදනා එල්ල වෙන හොරු, දූෂිතයො ගැන වගේ වගක් නැතුව, මීක් නැතුව ඉන්න මේ හාදයො සයිටම් විරෝධීන්ට එල්ල කරන්නේ දූෂිතයො රකින්න කප්පම් අරන් කියන එක. ඒ කියන්නේ දැන් අර කොමිසමෙන්, මේ කොමිසමෙන්, අධිකරණයෙන්, උසාවියෙන්, පොලෝසියෙන් වැරදිකාරයො, දූෂිතයො වෙන සියල්ලොම ආරක්ෂා කරන්නේ සයිටම් විරෝධීන්.

අනෙක් කාරණාව තමයි මේ වගේ බරපතල චෝදනාවක් එල්ල කරන්න ආවට ගියාට බෑ. ඒව හෙළි වෙන්න ඕනෙ. මේ වගේ සිද්ධියකදි “මට මතක නෑ…“ වගේ ගොන් පාට් දාන්න බෑ. එහෙම නං මේ වගේ බරපතල කාරණාවක් හෙළි වෙලා තියෙද්දි මොකාද මේක ගැන පෝස්ටර් ගහ ගහ ඉන්නේ. දාපියවු කො පැමිණිල්ලක් නැත්තං ඒ ගැන නඩුවක්..  ඔය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම ඉස්සරහ පෝස්ටර් ගහනවට වැඩිය හොඳයි නේ එතනට ගිහින් මේ ගැන පැමිණිල්ලක් දැම්මනං.

අනික් කාරණාව තමයි පහුගිය කාලයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ගැන විවිධ කතා පැතිරිලා ගියා. මේ කොමිසම ගැන කරන කතා බහ වැඩි වෙන කාලදි කොමිසමෙන් හෙළි කරපු කාරණාවක් තමයි ඔවුන්ට යම් විමර්ශනයක් කරන්න පැමිණිල්ලක් ලැබෙන්න අවශ්‍ය නෑ. කාරණාව දැන ගත්තහම ඇති කියල. එහෙනං ඕන් උන්නැහෙ, ඔහේලගෙ ගේට්ටුව අයිනෙම තියෙන දැන්වීම් පුවරුවෙයි, ගේට්ටුව ඉස්සරහ පාරෙන් අනික් පැත්තෙ තියෙන දැන්වීම් පුවරුවෙයි මහ කප්පමක් ගැන තඩි අකුරින් පෝස්ටරයක් තියෙනව. ඉතින් පරීක්ෂණයක් කොරනවකො. මොකෝ රටේ මහ එවුන් කියන විදියට මේ චෝදනාව එල්ල වෙලා තියෙන්නේ ගමේ සිමියොං අයියට, නැන්සි අක්කට නෙමෙයි නේ. රටේ නම ගිය, ප්‍රසිද්ධ සංවිධාන තුනකට නේ… පරීක්ෂණයක් නේ… අල්ලන්න පුළුවන්නේ… නීතිය නේ… මහ ඇයො නේ… ලේසියි නේ…

අනික් කාරණාව… මේ විදියට බැළුවහම කාරණා ගණනාවක් මේ ගැන කියන්න පුළුවන්. හැබැයි බොරු වැඩක් කියල දැන් නං හිතෙනව. අම්මප, මේ කොටපු අකුරු ටිකත් අපරාදෙ.

මොකද කියනව නං රටේ වගකිව යුතු පුද්ගලයො, රටේ වගකිවයුතු තැන්වලට ඇවිල්ල තමුන් කරපු කියපු හොර මගෝඩි ගොඩ ඇස් පනාපිට හෙළි වෙද්දි “මට මතක නෑ…“ තියරිය දාල අජූව විතරක් නෙමෙයි ඒ අජූත වැඩේ රහ කර කර තලු මරන මහ ජනතාවක් ඉන්න රටක මේ කොළ කෑල්ලක් ගැන වද වෙන්නෙ මක්කටෙයි.

අවන්ත ඉඩමේගම

Save

Save