தமிழ்
English
Contact
Saturday 21st October 2017    
සයිටම් සිසුන් බඳවාගැනීම් වහා නවතනු! – වෛද්‍යපීඨ පීඨාධිපතිවරු (exclusive) « Lanka Views | Views of the truth

සයිටම් සිසුන් බඳවාගැනීම් වහා නවතනු! – වෛද්‍යපීඨ පීඨාධිපතිවරු (exclusive)



සයිටම් අර්බුදය තවතවත් හානිදායක තත්වයකට නොයවා විසඳාගැනීමේ අරමුණක් ඇත්නම් සයිටම් ආයතනයට සිසුන් බඳවාගැනීම වහාම නවතා දමන ලෙස රජයේ වෛද්‍යපීඨ 8ක පීඨාධිපතිවරු උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල වෙත බලකර සිටිති.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා මගින් අධ්‍යාපන ඇමති වෙත යොමුකරන ලිපියක් මගින් සයිටම් ආයතනය සම්බන්ධව උද්ගතවී ඇති අර්බුදය පිළිබද අවධානය යොමුකරන පීඨාධිපතිවරු එම ලිපියේ පිටපත් ජනාධිපතිවරය, අගමැති හා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරි වෙතද යොමුකර ඇත.

සයිටම් විරෝධය හා ඒ වෙනුවෙන් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ප්‍රජාව පන්ති වර්ජනයක නිරතවීම පිලිබද පසුගිය ජූලි 16 වැනිදා කිරිඇල්ල ඇමතිවරයා සමග කළ සාකච්ඡාවේදී අවධානයට ගත් කරුනුවල ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ඉල්ලීමක් කරන්නට අවධානය යොමු වූ බව වෛද්‍ය පීඨාධිපතිවරුන් යොමුකළ එම ලිපියේ සඳහන්ය.  ඒ අනුව අර්බුදය විසදාගන්නට ඉටුකළ යුතු කරුනු කිහිපයක් ඇමතිවරයා විසින් අවධානයා ගත යුතු බව ඔවුහු බලකර සිටී. එසේ අවධානයට යොමුකර ඇති කරුනුවල අදහස කෙටියෙන් මෙසේය

1 සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සදහා සිසුන් බඳවා ගැනීම වහාම ක්‍රියාත්මකවන පරිදි සහ ස්ථිර ලෙසම නතර කළ යුතුය

2 සයිටම් ආයතනය 2016 වසරට පෙරාතුව වෛද්‍ය පාඨමාලාවට බදවාගත් සිසුන් අතුරින් වෛද්‍ය සභාව නියමකර ඇති පරිදි වෛද්‍ය ශිෂ්‍යයන්වීමට අවම සුදුසුකම් සපුරා ඇති අය වෛද්‍ය සභාව නියම කරන අමතර පුහුනුවකින් හා බලපත්‍ර ලබාදීමේ විභාගයකින් පසුව වෛද්‍ය වෘත්තියට ඇතුලත් කළ යුතුය

3 එම අවම සුදුසුකම් ඇති සයිටම් සිසුන්ට වෛද්‍ය උපාධිය ලබාගැනීම සදහා සහ උපාධි ප්‍රදානය දක්වා කටයුතු කරන අන්තර්වාර ක්‍රියාදාමයක් වෛද්‍ය සභාවේ නියාමනයෙන් යුතුව ක්‍රියාත්මක කළ යුතුය. මෙම අන්තර්වාර ක්‍රියාවලිය, අවම සුදුසුකම් ඇති සයිටම් සිසුපිරිස උපාධි සමාර්ථය දක්වා මෙහෙයවීමෙන් පසුව අහෝසි තළ යුතුය

4 මෙම 1-3 දක්වා සදහන් විසදුම් යෝජනා ක්‍රමය වෛද්‍ය ආඥා පනත‍ෙ72-4 වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැසට් මගින් ප්‍රසිද්ධ කළ යුතුය.

මෙම නිර්දේශිත ක්‍රමය තුළින්, සයිටම් අර්බුදයට සම්බන්ධ සියලු පාර්ශ්වවලට වඩා පිළිගත හැකි විසදුමක් දෙන බවට විහ්වාසය පළකරන වෛද්‍ය පීඨාධිපතිවරු වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තවදුරටත් පන්ති වර්ජන ක්‍රියාදාමයේ යෙදීම අවසන් කරන්නට එය හේතුවනු ඇතැයි පවසති. කෙසේවෙතත්, අනාගතයේ ‘ශ්‍රී  ලංකාවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සදහා නියාමනයක් සහිතව ඇතිවිය හැකි ක්‍රියාකාරීත්වයකට‘ මෙම නිර්දේශ අදාළ නොවන බවටද පීඨාධිපතිවරු අධ්‍යාපන ඇමතිවරයාට ලියූ ලිපිය අවසානයේ ප්‍රකාශ කරති.

කොළඹ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජෙනිෆර් පෙරේරා, පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර වීරසිංහ, රුහුණ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන් විමලසුන්දර, යාපනය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ පීඨාධිපති ආචාර්ය එස්. රවිරාජ්, කැලණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය නිලන්ති ද සිල්වා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුරංගි යසවර්ධන, නැගෙනහිර විශ්ව විද්‍යාල සෞඛ්‍ය සත්කාර විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය ඇන්ජලා අරුල්ප්‍රගාසම් සහ රජරට විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්දන ජූලි මස 31 දිනැති එම ලිපියට අත්සන් තබා තිබේ.

 

Save

Save