தமிழ்
English
Contact
Thursday 21st September 2017    
ආදායම් පහත වැටුනත් අයවැය හිඟය අඩු කරනවා – මුදල් අමාත්‍යංශය « Lanka Views | Views of the truth

ආදායම් පහත වැටුනත් අයවැය හිඟය අඩු කරනවා – මුදල් අමාත්‍යංශය



රාජ්‍ය ආදායම් මට්ටම පහත වැටී තිබුනත් ඉලක්කගත පරිදි අයවැය හිඟය පහත දමන බව මුදල් අමාත්‍යංශය පවසා සිටී.

ඒ අනුව 2016 වසරේ 5.4%ක් වූ අයවැය හිඟය 2017 වසරේ දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 4.6%ක අගයක් දක්වා පහත දැමීමට කටයුතු කරන බව පැවසේ.

මේ අනුව අපේක්ෂිත ආදායම් මට්ටම ලඟා කර ගත නොහැකි බව මුදල් අමාත්‍යංශය පවසා ඇති අතර ගිය වසරේ මෙන්ම මේ වසරේද අයවැය හිඟය අපේක්ෂිත මට්ටම දක්වා පහල හෙලීමට කටයුතු කරන බව පැවසේ.

මහ බැංකු වාර්තා අනුව 2015 වසරේ අයවැය හිඟය 7.6%ක් ලෙස සඳහන්ව ඇති අතර එය වසරින් වසර ක්‍රමානුකුලව පහත වැටී ඇති බව පවසන ආණ්ඩුව එය තම පාලන ක්‍රමවේදයන්ගේ සාර්ථකත්වය ලෙසට පෙන්වා දීමට උත්සාහ කරමින් සිටී.

මේ වසරේ පසුගිය කාර්තුවේ ආදායම මුල් කාර්තුවේ ආදායමට සාපේක්ෂව රුපියල් කොටි 1424 කින් පහල ගොස් ඇති බව 2017 අර්ධ වාර්ෂික මූල්‍ය කාර්ය සාධක වාර්තාවද පෙන්වා දී තිබු අතර මෙවන් තත්වයක් තුල අයවැය හිඟය පහල දැමීම පිලිබඳ මෙවැනි ස්ථිර ප්‍රකාශ නිකුත් කිරීමම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පැහැදිලිව විදහා දක්වන්නකි.

අයවැය හිඟය පහත දැමීමට හැකිවී ඇත්තේ රාජ්‍ය අදායම් ඉහළ දැමීමෙන් නොවන බව මෙම ප්‍රකාශය තුලින්ම පෙන්වා දී ඇති අතර ඒ සඳහා කලහැකි සහ මෙතෙක් පැවති ආණ්ඩු විසින් සිදු කල එකම ක්‍රියාව රාජ්‍ය වියදම් අඩු කිරීම පමණි.

මෙලෙස අඩු කෙරෙන වියදම් යනු අන් යමක් නොව දිවයිනේ බහුතර ජනතාවකගේ සුභ සාධනය සඳහා රාජ්‍ය මැදිහත්වීමෙන් වෙන්කරනු ලබන සොච්චම් මුදල් ප්‍රමාණය බව පැහැදිලිව පෙන්වා දිය හැක.

ප්‍රතිපත්තිමය ලෙස සහ රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමේ නොහැකියාවේ විලි වසා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙන්ම ලෝක බැංකුවේද ආශිර්වාදය මත ඉතා ඕනෑකමින් ආණ්ඩුව මෙලෙස සුභසාධන වියදම් කප්පාදුව සිදු කරන බවත් මේ හරහා අයවැය හිඟය පහත හෙලීමට කටයුතු කරන බවත් සෑම ආණ්ඩුවක්ම ඊනියා සංවර්ධනය පෙන්වාදීම සඳහාද සිදු කරනු ලබන බව කියන ආර්ථික ප්‍රතිසංස්කරණය ලෙසත් මෙම ක්‍රියාවලිය පෙන්වා දිය හැක.