தமிழ்
English
Contact
Monday 21st August 2017    
සුසන්තිකාගේ පදක්කම පිළිබද ප්‍රශ්නයට දයාසිරිගේ නීතිඥයෝ විරෝධය පළ කරති! « Lanka Views | Views of the truth

සුසන්තිකාගේ පදක්කම පිළිබද ප්‍රශ්නයට දයාසිරිගේ නීතිඥයෝ විරෝධය පළ කරති!



සුසන්තිකා ජයසිංහ පදක්කම වෙන්දේසි කිරීමට උත්සාහ කිරීමේදී ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර ඒ පිළිබද දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධව ප්‍රශ්නයක් ඇසීම ගැන අද (15) නුගේගොඩ දිසා අධිකරණයේදී විරෝධය පළ විය.

නුගේගොඩ, ගංගොඩවිල පිහිටි දිසා අධිකරණයේ දී දයාසිරි ජයසේකර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ විරෝධය මෙසේ ප්‍රකාශ වූයේ 2013 ජූලි 28 වැනිදා ‘ජනරළ‘ පුවත්පතේ පළ වූ ලිපියකින් තමන්ට අපහාසයක් සිදුවූ බවට ඇමතිවරයා විසින් පැවරූ M 1881/13 දරණ නඩුවේදී ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීමේ අවස්ථාවේදීය.

පසුගිය ජනවාරි 20 වැනිදා මෙම නඩුව විභාගයට ගත් විට දයාසිරි ජයසේකරගේ මූලික සාක්ෂි ප්‍රකාශය අවසන් කර විත්තියේ නීතිඥයන්ට හරස් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව හිමි විය.

අද දින සාක්ෂිකරුගෙන් තවදුරටත් හරස් ප්‍රශ්න විමසන අවස්ථාවේදී විත්තියේ නීතිඥවරයා විසින් සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාව පදක්කම් වෙන්දේසි කිරීම සම්බන්ධ ප්‍රශ්නයක් මතු කළේය. එහිදී නැගී සිට විරෝධය පළ කරමින් දයාසිරි ජයසේකරගේ නීතිඥවරයා පැවසුවේ සාක්ෂි විමසිය යුත්තේ ප්‍රශ්නගත පුවත්පත් ලිපිය පළ කිරීමට අදාළ කාලය සම්බන්ධව බැවින් 2017 වසරේ මැයි මස සිදුවීම් ගැන ප්‍රශ්නයක් මෙම නඩුවට අදාළ නැති බවය. එහිදී විත්තියේ නීතිඥවරයා පැවසුවේ පැමිනිලිකරුගේ පාර්ශ්වයේ කරුනු නිෂ්ප්‍රභ කිරීමේ අරමුණින් තම පාර්ශ්වය අධිකරණයට ඉදිරිපත් කරන්නට යන කරුණු සම්බන්ධ අදාළ සිදුවීමක් නිසා සාක්ෂි ආඥාපනතේ 8වැනි වගන්තිය යටතේ එම ප්‍රශ්නය විමසීමට අවසර ඉල්ලා සිටින බවයි. එහෙත් සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න නැගිය යුත්තේ නඩුවට අදාළ ලිපිය පළ කළ කාලය සහ ඊට පෙර කාලය සම්බන්ධයෙන් බවත් සාක්ෂි ආඥා පනතේ වගන්ති ඒ ඒ නඩුවට උචිත ලෙස යොදා ගතයුතු බවත් පවසමින් පැමිනිල්ලේ නීතිඥවරයා අවධාරණය කළේ එසේ ප්‍රශ්න ඇසීම සම්බන්ධව පැමිණිලි පාර්ශ්වය විරුද්ධ බවයි. මෙහිදී දිසා විනිසුරුවරයා එම විරෝධය සටහන්කර වෙනත් හරස් ප්‍රශ්න ඇත්නම් විමසන ලෙස දන්වන ලදී.

තවදුරටත් හරස් ප්‍රශ්න ඇසීමෙන් පසුව, නඩුවේ වැඩිදුර විභාගය නොවැම්බර් 06 වැනිදා තෙක් කල් තබන්නට දිසා අධිකරණය තීරණය කළේය.




Related News