හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින දුමින්ද සිල්වා මහතාගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිවැරදි වාර්තාවක් සිංගප්පූරුවට ගොස් ලබා ගෙන එන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධියට අදාළ නඩුව කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ අද විභාගයට ගැණිනි.
එහිදී, දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විවිධ පාර්ශව නොයෙකුත් මත ඉදිරිපත් කළ ද ඔහුගේ නිවැරදි සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මෙතෙක් අධිකරණය හමුවට වාර්තාවක් වී නොමැති බව මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණයට දන්වා සිටියේය.
අද පැවැති නඩු විභාගය සඳහා සිද්ධියට අදාලව දැනට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින සැකකරුවන් 18දෙනෙකු ද බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාව යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
එම සැකකරුවන් 18දෙනා මේ මස 24වන දින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අධීකරණයට දන්වා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර අදාළ නඩුව කැඳවීම මේ මස 24වන දින දක්වා කල්තබනු ලැබීය.







