ජාතික ඩෙංගු මර්දන මාසයේ ගතවූ සති දෙක තුළදී සිදු කළ පරීක්‍ෂාවන් මගින් මදුරු කීටයන් සහිත ස්‌ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන්, රාජ්‍ය ආයතන හා සෙසු ආයතනවලට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග මගින් රුපියල් හාරකෝටි තුන් ලක්‌ෂ අනූ හතර දහසක දඩ මුදලක් අයකරගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්‌ඩාර මහතා පවසයි. එම සති දෙක තුළ මදුරු කීටයන් සහිත ස්ථාන 1264ක් හඳුනාගත් බව ඒ මහතා පැවසීය.
ඉකුත් සති දෙක තුළදී දිවයින පුරා පරීක්‍ෂා කිරීම් එක් ලක්‌ෂ පනස් එක් දහස් දෙසිය පනස් හයක් සිදුකර ඇත. මේවායින් මදුරුවන් බෝවන පරිශ්‍ර බවට හඳුනා ගත් 7251කට නිවේදන නිකුත් කරමින් සති දෙකක් තුළදී පරිශ්‍ර පවිත්‍ර කිරීමට උපදෙස් දී ඇත.
ඉකුත් ජුනි මස 30න් අවසන් වූ මාස 06තුළදී දිවයින පුරා මදුරුවන් බෝවන ස්‌ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන් රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ සෙසු ආයතන හිමියන් 4456ට නීතිමය පියවර ගෙන රුපියල් පහළොස් කෝටි එක්‌ලක්‌ෂ හතළිස්‌දහසක් දඩ වශයෙන් අයකර ඇත.
කෙසේවෙතත් ඩෙංගු මර්දනය කිරීමේ අරමුණින් රජය ඉතා විශාල මුදලක් වැයකර බී.ටී.අයි. බැක්ටීරියාව ගෙන්වීමට සහ එය මෙරට නිෂ්පාදනය කිරීමට කටයුතු කළ නමුත් එම බැක්ටීරියාවට සිදුවූයේ කුමක්ද යන්න පවා අද වන විටත් ගැටළුවක් බවට පත්ව තිබේ. එමෙන්ම වාර්තාවන ආකාරයට බී.ටී.අයි. බැක්ටීරියාව මෙරටට ගෙන්වීමේ කටයුත්තද මේවන විට පෞද්ගලික අංශයට පවරා තිබේ. ඒ අනුව පැහැදිලිවන්නේ ආණ්ඩුව ජනතා ජීවිත බිල්ලට තබමින් ඩෙංගු හරහාද මුදල් උපයන “බල්ලෝ මරා හෝ සල්ලි සොයන“ තත්ත්වයට පත්ව ඇති බව නොවේද?








