Latest news
A+ R A-

තවත් යුද්ධයක බීජ වැපිරීම නොහොත් නිමලරූබන් ඝාතනය

E-mail Print PDF

 

"කොටි සැකකරුවන්ගේ ප්‍රාණ ඇපයේ සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනා මුදා ගනියි - STF විනාඩි 10ක් ඇතුළත මෙහෙයුම අවසන් කරයි‍" මේ පසුගිය ජුනි 30 වැනිදා දිනමිණ පුවත්පතේ පළවු ප්‍රවෘත්තියකි. මීට වසර තුනකට පමණ පෙර පැවැති යුද්ධයේ මෙහෙයුමක් විස්තර කරන ආකාරයෙන් අදාළ පුවත දිනමිණ පුවත්පත වාර්තා කර තිබේ. දිවයින, ලංකාසීනිවුස්, ආදී ආණ්ඩුවේ සරණ යන මාධ්‍ය හොරණෑද මෙම සිදුවීම වාර්තාකර තිබුණේ ඊට නොදෙවෙනි ආකාරයටය. කෙසේවෙතත් මේවන විට එක් දෙමළ දේශපාලන සිරකරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් දේශපාලන සිරකරුවන් රාශියක් බරපතළ ලෙස ප්‍රහාරයන්ට ලක්ව ඇති බවද වාර්තාවේ. එබැවින් මෙය තවත් සිදුවීමකට ලඝු නොකොට ඒ සම්බන්ධයෙන් පුළුල් කතිකාවක් මතු විය යුතුව ඇත.  ඒ සඳහා ප්‍රවිශ්ඨවීමේදී වවුනියාව බන්ධනාගාරය තුළ සැබෑවටම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව සැකෙවින් විමසා බැලීම වැදගත්ය.

 

යුද්ධයෙන් පසු දේශපාලන සිරකරුවන් ලෙස (නැතහොත් ආණ්ඩුව කියන ආකාරයට එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ලෙස) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ බන්ධනාගාරගත කොට සිටින දෙමළ රැදවියන් 30 දෙනෙකු පමණ වවුනියාව බන්ධනාගාරය තුළද රඳවා තිබිණි. යුද්ධය නිමාවී වසර 3ක‍ට වඩා ගතවී ඇති තත්වයක් තුළ තමන්ට එරෙහිව කිසිදු චෝදනා විභාගයකින් තොරව රඳවා තබා ගැනීමට එරෙහිව ඔවුන් පසුගිය මැයි 17 වැනිදා මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලදි. එම උපවාසයට දිවයින පුරා බන්ධනාගාරවල දේශපාලන සිරකරුවන් 234ක් පමණ පසුව සම්බන්ධ විය. දෙමළ ජාතික සන්ධානයේ සහ ආණ්ඩුවේ මැදිහත්වීමෙන් මසක් තුළ දෙමළ දේශපාලන සිරකරුවන්ට එරෙහි චෝදනා විභාග කිරීම සදහා අධිකරණ පිහිටුවන බවට පොරොන්දුවීමෙන් අනතුරුව එම දේශපාලන සිරකරුවන් මැයි 24 වන දින සිය උපවාසය අත්හරිනු ලැබීය.

රැඳවියන් උපවාසහ අත්හැරීමෙන් පසු ඔවුන්ගේ ඉල්ලීම් ලබා දෙනු වෙනුවට ආණ්ඩුව සිදුකළේ උපවාසය ආරම්භ කළ වවුනියාව රැදවියන්ගෙන් පළි ගැනීමයි. උපවාසයට මැදිහත්වූ සරවනභවන් නැමැති රැදවියාට පසුගිය 25 වැනිදා ඔහු අධිකරණ කටයුත්තක් සඳහා අනුරාධපුර අධිකරණය වෙත රැගෙන යමින් සිටි අතරතුර අනුරාධපුර බන්ධනාගාරය තුළදී ඉතා අමානුෂික ලෙස පහරදී ඇත.  අනතුරුව ඔහුට වවුනියාව බන්ධනාගාරය තුළදී මල මුත්‍රා ආදියෙන්ද පහරදී ඇති අතර පහරදීම් හේතුවෙන් ඔහු දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් සිට තිබේ. පසුව 26 වැනිදා එම සිරකරුවා වවුනියාව බන්ධනාගාරයෙන් පිටතට රැගෙනගොස් තිබේ. ඉන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් කිසිවක් වාර්තාවී නොමැත. ඊට සමගාමීව තවත් රැදවියන් දෙදෙනෙකු ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග මත බූස්ස කඳවුර වෙත රැගෙන ගොස් තිබේ. එම තත්ත්වය යටතේ බන්ධනාගාරය තුළ ඉතිරිව සිටි දේශපාලන සිරකරුවන් 27 දෙනා විසින් සරවනභවන්ට සිදුවූයේ කුමක්දැයි හෙළිකරන ලෙසද, වහාම ඔහු නැවතත් වවුනියාව බන්ධනාගාරය තුළට රැගෙන එන ලෙසද බලකරමින් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු රදවා තබා ගනිමින් උද්ඝෝෂණයක නිරතවිය. ආණ්ඩුවට තවත් පුංචි යුද්ධයකට අවස්ථාවක් සලසා දෙමින් පසුගිය ජුනි 29 වැනිදා විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් පැමිණ බන්ධනාගාර නිලධාරීන් මුදා ගැනීමෙන් නිමා වන්නේ එම උද්ඝෝෂණයයි.

එම මෙහෙයුමෙන් අනතුරුව රැඳවියන් සියලු දෙනා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළත් කොට ඇත. අනතුරුව ඔවුන්ට පහරදීම සඳහා කොළඹින් විශේෂ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් තිබේ. එලෙස පහරදීමට ‍කොළඹින් ගිය නිලධාරීන් බමණ මතින් තම සඟයන්ට පවසා ඇත්තේ "සූර පප්පා එකේ රෝමන් කාරයන්ට ගහනවා වගේ උන් ටිකට නෙළුවා" යනුවෙනි. එබැවින් අනුරාධපුර බන්ධනාගාරයේදී දැඩි පහරකෑමකට ලක්ව ඇති බව පැහැදිළිය. අනතුරුව ඔවුන් මහර සහ බෝගම්බර බන්ධනාගාරවලට ඇතුළත් කොට තිබේ. එම බන්ධනාගාරවලදීද ඔවුන් අමානුෂික වධබන්ධනවලට ලක්කර ඇත. මෙලෙස පහරකෑමට ලක්වූ නිමලරූබන් නැමැති රැදවියා මහර බන්ධනාගාරය තුළදී පසුගිය ජුලි 04 වැනිදා අලුයම මියයන්නේ මෙම තත්ත්වය ය‍ටතේය.

එම පුවත ජුලි 05 වැනිදා තිනකුරල් පුවත්පත වාර්තා කළේ මේ ආකාරයටය:

නිමලරූබන් නැමැති පුද්ගලයා මහර සිරකඳවුරු රෝහලේ දීම මිය ගිය බවත් රාගම රෝහලට මාරු කර ඇත්තේ ඔහුගේ මළ සිරුර බවත්, මහර සිරකඳවුරු රෝහලේ සිටි දේශපාලන සිරකරුවන් තමා සමග පැවසූ බව මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් ප්‍රකාශ කර සිටියේය. මේ පිළිබඳව වැඩි දුර අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ,“වව්නියාව සිට අනුරාධපුර බන්ධනාගාරයට රැගෙන ගිය සිරකරුවන්ට එදින රාත්‍රියේ 11 සිට පාන්දර 02 දක්වා පොලු, වයර්, චේන් භාවිතා කරමින් බන්ධනාගාර නිළධාරීන් විසින් දරුණු ලෙස පහර දීලා තියෙනවා. මෙහිදී බරපතල තුවාල ලැබූ නිමල්රූබන් මහර සිරකඳවුර රෝහලට ඇතුළත් කරලා තියෙනවා. පසුගිය අඟහරුවාදා (03) රාත්‍රියේ තමන්ට වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය බවත්, තමන්ව මෙම ස්ථානයේ සිට වෙනත් ස්ථානයකට මාරු කරන ලෙසත් ඉල්ලමින් නිමල්රූබන් වේදනාවෙන් කෑගහලා තියෙනවා. නමුත් පසු දින (04) පාන්දර 5.20 ට පමණ ඔහු මිය ගියා. ඔහුගේ මළසිරුර රාගම රෝහලට මාරු කරලා තියෙන්නේ ඊට පස්සෙ බව සිරකරුවන් කියනවා.”

"රාගම රෝහලේ ප්‍රතිකාර ලබන දේශපාලන සිරකරුවන් හතරදෙනෙකුගෙන් එක් අයෙකු ‛කෝමා’ තත්ත්වයේ ඉන්නවා. තවත් එක් අයෙකුගේ කකුල් දෙකම බිඳීලා. තවත් අයෙකුගේ එක් කකුලක් බිඳිලා. තමන්ට ඉදිරියේදී කොයි ආකාරයේ තර්ජනයක් එල්ල වේ දැයි බයෙන් දේශපාලන සිරකරුවන් කල් ගෙවනවා.”

මෙම දේශපාලන සිරකරුවාගේ මරණය හෙලා දකිමින් මේ පිළිබඳව නිසි පරීක්ෂණයක් පවත්වන ලෙස මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කර තිබේ. (උපුටා ගැනීම තිනක්කුරල් – 2012 ජූලි 05)

එමෙන්ම මහර බන්ධනාගාර රෝහලේදී නිමලරූබන් පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහුගේ ඇද ඉහපත් වාර්තාවේ ඔහු වහාම රාගම රෝහල වෙත යොමුකරන ලෙසත් සටහන්කර තිබී ඇත. නමුත් බන්ධනාගාර නිලධාරීන් අත්තනෝමතික ලෙස එය නොසලකා හැර තිබේ.

ඒ අනුව තත්ත්වය පැහැදිලිය, පුනුරුත්ථාපනයවූ දෙමළ තරුණියක සහ හමුදා සෙබළකු විවාහ කර දීමේ මාධ්‍ය සංදර්ශනවලින් ජාතික සමගිය ගොඩනැගීමේ පුරසාරම් දොඩන ආණ්ඩුවේ සැබෑ අරමුණ තවත් වටයකින් ජාතිවාදය වැපිරීම මිස අන්යමක් නොවේ.

ආණ්ඩුව සිය න්‍යාය පත්‍රයට අවනතවූ කේ.පී. , කරුණා, පිල්ලෙයාන් වැනි එල්.ටී.ටී.ඊ. නායකයින්ට සුර සැප ලබාදී සුරතල් කරමින් සිටින අතර එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ලෙස අත්අඩංගුවට පත්‍ දෙමළ දේශපාලන සිරකරුවන් කිසිදු චෝදනාවක් නොමැතිව වසර ගණනාවක් තිස්සේ සිරකඳවුරු තුළ රඳවාගෙන සිටී. ඊට නොදෙවෙනිව ඔවුන් තමන්ට චෝදනා තිබේ නම් ඒවා විභාග කරන ලෙස කළ ඉල්ලීම කුඩුපට්ටම් කිරීමටද ආණ්ඩුව උත්සාහ දරමින් සිටී. අවසානයේදී දෙමළ රැදවියන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන, දේශපාලන පක්ෂ සියල්ලට "ත්‍රස්තවාදී" ලේබල් ඇලවීමටද ආණ්ඩුව සැදී පැහැදී සිටී.

යුද්ධය නිමාවී වසර තුනක් ගතව ඇති නමුදු උතුර තවමත් සාමාන්‍ය තත්වයට පත්ව නැත. මිලිටරි කඳවුරු සහ පොලිස් මුරපොල පෙනෙන මානයේ මිනිස් ඝාතන, පැහැර ගැනීම් සහ කායික පහරදීම් දෛනිකව සිදු වෙමින් පවතී. එමෙන්ම ආර්ථික පීඩනය හමුවේ ජනිත කෙරෙන දරුණු ජීවන කොන්දේසිවලට හා ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවරයන්ට එරෙහිව මතුවන කවර හෝ සමාජ-දේශපාලනික නොසන්සුන්තාවක් ලෙයින් මැඩීම වත්මන් ආණ්ඩුවේ අරමුණ බවට පත්ව තිබේ. නිමලරූබන්ගේ ඝාතනය, කටුනායක කම්කරු ඝාතනය හා හලාවත ධීවර ඝාතනය හරහා ඔප්පුකර පෙන්වූයේ එම සත්‍යයයි. මෙය වත්මන් නවලිබරල් ධනවාදයේ කඩා වැටීමේ ලාංකීය ප්‍රකාශනය මිස අන් යමක් නොවේ. ධනවාදය සිය ගමන් මගේ මරණාසන්නයට පත්ව තිබෙන මොහොතක ඊට ජාතික සමගිය ගොඩනැගීම තබා පාසල් දරුවාට නිසි අධ්‍යාපනයක් ලබාදිය නොහැකි තත්ත්වයට අද පත්ව තිබේ.

කෙසේ වුවද දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් සහ උතුරේ ජනතාව සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරමින් සිටින ක්‍රියාකලාපය හරහා සිදුවන්නේ දශක තුනක් පුරාවට පැවැති යුද්ධයට මූල ධාතු සැපයූ බීජයන් යළිත් වටයකින් දළුලා වැඩීම පමණකි.  

-          දිළුම් තේජන

Comments

 
0 # ukkukn 2012-07-10 09:37
දෙමළ සිරකරුවොද දැන් උන්? අපරාධකාරයො නෙමෙයිද? එවුන්ට මරණ දඬුවම දුන්නත් මැරුවත් කමක් නැහැ. එවුන් අවුරුදු 30 ක් තිස්සේ සින්හල මිනිස්සුන්ගේ නිදහස අහිමි කෙරුව දැන් මේ නිව්ස් දාපු මනුස්සයට අමතකද?
Reply | Reply with quote | Quote
 
 
+1 # Gamay1 2012-07-17 17:32
සිංහල මිනිසුන්ගේ නිදහස අහිමි කෙරෙවේ රුබෙන්ද එහෙම නැතිනම් උක්කුන්ලා චන්දෙ දීපු ආණ්ඩුද. කන්ඩ නැතිව මලත් දෙමෙලෙකුව මරනවනම් උක්කුන් වගේ ජාතිවාදීන්ට සැපද?
Reply | Reply with quote | Quote
 
 
-1 # katakaraya 2012-07-18 10:12
un karapuwa thopi weige puthalata mathaka naha. thopi thama me rata kanne. jvp, jana aragala karayo banga wewa
Reply | Reply with quote | Quote
 
 
0 # Karu 2012-07-23 22:28
මීට වඩා ප‍්‍රශ්න දිහා සංවේදිව හා විමර්ශනශීළිව බලන්න අපි පුරුදු විය යුතුයි. නිමල රූබන් කවුද කියල මම දන්නෙ නැහැ. හැබැයි මම දන්නව ඔහු මිනිහෙක් බව. අපි මේ විදිහට කටයුතු කළොත් ආයෙමත් දෙමළ තරුණයින් අවි අතට ගනීවි. අපේ අයට ඕනැ එහෙම දෙයක් වෙනව දකින්නද? මේ ආංඩු සිහල තරුණයින්ට සැළකුවෙ කෙහොමද කියල මුළු රටම දන්නව.ඉතිං ආණ්ඩුවට සිංහළ දෙමළ වෙනසක් නැහැ. එවුන්ට ඕනැ ඔවුන්ගෙ ක‍්‍රමය පවත්ව ගෙන යන්න
Reply | Reply with quote | Quote
 
 
0 # රංග 2012-07-27 01:34
jvp karayo 2005 Mahinda balayata genall me rata kewa.
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 60 guests online

Advertisment

advertisment