හෙණ හඬක් සේ පුපුරා යා යුතු මුත් එසේ නොවීය. ශුද්ධ වූ අයිතියක් පැහැර ගනු ලැබීමකට ලක්‌වූවකුගේ ශෝකී අඬහැරය අසන්නට ද කිසිවෙක් නැති සෙයකි. මුග්ධ නිහඬ බව විසින් යටපත් කරන ලද ඇයගේ අහිංසක ආයාචනය අභිමුව සියල්ලෝ නිද්‍රෝපගතව ය. එලෙස නිද්‍රෝපගතව හිඳීමේ කෛරාටික බව හෙළි වෙමින් පවතින අතිශය තීරණාත්මක මොහොතක මේ සටහන තබමු. සැබවින්ම මේ මොහොත තීරණාත්මකය. මන්ද ජීවිතයක දිශානතිය මේ මොහොත සමඟ දෝලනය වෙමින් පවතින බැවිනි.
සචින්තනී කෞෂල්‍යා සේනානායක. පසුගිය වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී කලා අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්‌ථානය ලැබීමේ භාග්‍යය ලද්දී ඇයයි. පොල්ගහවෙල බර්නාදෙත් මහා විදුහලෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සචින්තනී විශිෂ්ට ලෙස සමත් වීමේ ප්‍රතිඵලය වූයේ උසස් පෙළ හැදැරීම සඳහා කෑගල්ල ශාන්ත ජෝශප් විදුහලට ඇතුළත් වීමට ඉඩහසර ලැබීමය. ඉන් උපරිම ඵල නෙළා ගත් ඕ උසස් පෙළ ඉතිහාස කතාවට සිය නාමයද සනිටුහන් කළාය. කලා අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්‌ථානය හිමිකර ගැනීමේ සතුටින් උද්දාමයට පත් සචින්තනී අනාගත ඉලක්‌කය දෙස අධිෂ්ඨානශීලී වූවාය. ගෘහ නිර්මාණ ශිල්පිනියක වීම ඇයගේ ඉලක්‌කය විය. ඒ සඳහා ඇතුළත් විය යුතු වන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්‌තු විද්‍යාව/ මෝස්‌තර නිර්මාණ ශිල්පය (වාස්‌තු විද්‍යාව) උපාධි පාඨමාලාවට ය. සචින්තනී දැස් දල්වාගෙන සිටියේ එම උපාධි පාඨමාලාව හදාරා ගෘහ නිර්මාණ ශිල්පිනියක වීමටය. එහෙත් ඇයගේ අපේක්‍ෂාවේ කැණිමඬලට ගිනි ඇවිලී තිබේ. ඒ ඇයිද යන්න පිළිබඳ පසුගිය දින කිහිපයේදී පුවත්පත් මගින් ද අනාවරණය කෙරිණි. ලංකාවෙන්ම පළමුවැනියා වීමේ වරම් ලද සචින්තනීට වාස්‌තු විද්‍යා පාඨමාලාව හැදැරීමේ වරම් අහිමි වීම ගැන විවිධ අදහස් ප්‍රකාශ වුවද ඇයගේ ඒ වරම උදුරා ගැනීමට හේතු සාධක පිළිබඳ කිසිවෙක් කතා කළේ නැත. සචින්තනී වෙනුවෙන් යම් පමණකින් හෝ හඬ අවදි කළේ උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක ය. දිසානායක මහතාගේ අවබෝධය වූයේ ද විශ්වවිද්‍යාලයේ පවතින කොන්දේසි ඊට හරස් වී ඇති බවය. විශ්වවිද්‍යාලවලට උපදෙස් දුන්නද ඒවා ලිහිල් කිරීමට ඔවුන් සූදානම් නොමැති බවද උසස් අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේය.
උසස් පෙළ ඉතිහාසයට සිය නාමය එක්‌කළ සචින්තනීට තමන් කැමති උපාධි පාඨමාලාවට ඇතුළත් වීමේ අයිතිය උදුරා ගැනීමේ සැබෑ තත්ත්වය උසස් අධ්‍යාපන ඇමැතිවරයාගේ මෙන්ම ඒ පිළිබඳ අවදියෙන් සිටි පිරිසගේ අවබෝධයෙන් ඔබ්බෙහි වූවකි. එහෙත් ඉඳුරා කියමි. සචින්තනීගේ මග අහුරාලූවෝ වැරැද්දේ බරපතල බව තේරුම් ගෙන නිහඬව හිඳිති.
මේ වගකීමකින් කරන හෙළිදරව්වකි.
කිසියම් දරුවකු උසස් පෙළ විෂයයන් තෝරා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙළක් වෙයි. එම ක්‍රියා පිළිවෙළ සඳහන් වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2009/16 චක්‍රලේඛයේ ය. එම චක්‍රලේඛයේ 9 වැනි පිටුවේ (අංක 46) නිර්මිත පරිසරය /වාස්‌තු විද්‍යාව (ගොඩනැඟිලි ආර්ථික විද්‍යාව) / මෝස්‌තර නිර්මාණ ශිල්පය (වාස්‌තු විද්‍යාව) උපාධි පාඨමාලාව හැදැරීමට බලාපොරොත්තු වන සිසුවෙක් තෝරා ගත යුතු විෂයය සංයෝජනය දක්‌වා ඇත. එම විෂයය සංයෝජනයට අනුව සචින්තනී විභාගයට පෙනී සිටි චිත්‍ර කලාව හා භූගෝල විද්‍යාව යන විෂයයන් වාස්‌තු විද්‍යා පාඨමාලාවට අදාළය.
එම විෂයයන් දෙකට අමතරව තෝරා ගත යුතු විෂයයන් වන්නේ ගිණුම්කරණය, හින්දු ශිෂ්aටාචාරය, ඉස්‌ලාම් ශිෂ්ටාචාරය. ව්‍යාපාර සංඛ්‍යානය, ක්‍රිස්‌තියානි ශිෂ්ටාචාරය, දේශපාලන විද්‍යාව, ඉංග්‍රීසි, සිංහල, ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරය, හින්දි, බෞද්ධ ශිෂ්ටාචාරය, ගෘහ ආර්ථික විද්‍යාව, චීන, තර්ක ශාස්‌ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය, ගණිතය, සංස්‌කෘත, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය, අරාබි, ඉතිහාසය, ව්‍යාපාර අධ්‍යයනය, ජපන්, ආර්ථික විද්‍යාව, පාලි, ප්‍රංශ, ජර්මන් යන මෙම විෂයයන්ගෙන් එකක් හෝ දෙකක් තෝරා ගත හැකිය. සචින්තනීට උද්ගතව ඇති ගැටලුව නම් සිවිල් තාක්‍ෂණවේදය විෂයය මෙම විෂය සංයෝජනයට අන්තර්ගත නොවීමය.
කෑගල්ල ශාන්ත ජෝශප් විදුහලේ සිසුවියන්ට උසස් පෙළ විෂයයන් තෝරා ගැනීමට අවශ්‍ය උපදෙස් නිසි ලෙස ලබා නොදීමෙන් පාසල් ප්‍රධානීන්ද බරපතල වරදක් කර තිබෙන බව පැහැදිලිය. සචින්තනීට සිය විෂයයන් තෝරා ගැනීමේදී නිසි මාර්ගෝපදේශනයක් තිබිණි නම් ඇය අද මේ ගැටලු සහගත තත්ත්වයට මුහුණ පාන්නේ නැත. අවශ්‍ය නිසි මාර්ගෝපදේශනය තිබිණි නම් ඇය නිවැරදි විෂය සංයෝජනයක් තෝරා ගන්නා බවද නිසැකය.
ඒ.... පාසලේ වගකීම් පැහැර හැරීමය.
මීට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යභාරය කුමක් විය හැකිද? අමාත්‍යාංශයේ විෂය සමගාමී උපදේශන හා මාර්ගෝපදේශ අංශය යටතේ විශාල වශයෙන් මුදල් වැය කරමින් උපදේශන හා මාර්ගෝපදේශන සඳහා ගුරුවරුන්, කලාප අධ්‍යාපන කාර්යාල මෙන්ම ගුරු මධ්‍යස්‌ථාන නිලධාරීන් ද පුහුණු කර ඇත. සචින්තනී වර්තමානයේ මුහුණ දී සිටින ගැටලුව අපට කියා පාන්නේ අමාත්‍යාංශයේ ඒ ක්‍රියාවලිය පිළිබඳ විපරීතයක් පවතින බව නොවේද? ඇයට අත්විඳින්නට සිදු වී ඇති ෙ€දනීය තත්ත්වය හමුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් වෘත්තීය මාර්ගෝපදේශනය භාර නිලධාරීහු මුනිවත රකිති. සචින්තනී මුහුණ දී සිටින ගැටලුව ඒ මහත්වරුන්ට අදාළ නොමැති දැයි විමසිය යුතුය.
ඊළඟට අප යොමු වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙසටය. 2011/2012 නව අධ්‍යයන වර්ෂය සඳහා වන ශිෂ්‍ය ප්‍රවේශ අත්පොත ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේ වන විට නිකුත් කරනු ලැබ ඇත. එම අත්පොතේ 33 වැනි පිටුවේ අංක 8(7(1 වාස්‌තු විද්‍යාව මෝස්‌තර නිර්මාණ ශිල්පය (වාස්‌තු විද්‍යාව) උපාධි පාඨමාලාවට ඇතුළත් වීම සඳහා උසස් පෙළ දී හැදෑරිය යුතු විෂය සංයෝජනයට ද සිවිල් තාක්‍ෂණවේදය විෂය ඇතුළත් නොවේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ 2009/16 චක්‍රලේඛයේද එම විෂයය ඇතුළත් නොවන විට ප්‍රතිපාදන කොමිසමේ ප්‍රවේශ අත්පොතට එය ඇතුළත් නොවීම අරුමයක් දැයි යමෙකුට විමසිය හැකිය. බොහෝ දෙනා සිතා සිටින්නේ ශිෂ්‍ය අත්පොතේ සඳහන් වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛයේ සඳහන් විෂයයන්ම පමණක් බවය. එම සිතිවිල්ල සම්පූර්ණයෙන්ම වැරදි සහගත බව අපි කියමු.
අමාත්‍යාංශයේ 2009/16 චක්‍රලේඛයට අනුව දෙමළ භාෂාව මෙන්ම සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය යන විෂයයන් වාස්‌තු විද්‍යා පාඨමාලාවට අයත් විෂය සංයෝජනයට ඇතුළත් නැත. එහෙත් ප්‍රතිපාදන කොමිසමේ ශිෂ්‍ය අත්පොතේ වාස්‌තු විද්‍යා පාඨමාලාවට එම විෂයයන් ද්විත්වය අලුතින් අන්තර්ගත කර ඇත.
මෙමගින් පැන නගින ප්‍රශ්න දෙකකි. එනම් අධ්‍යාපන අමාත්‍යාංශ 2009/16 චක්‍රලේඛයේ ඇතුළත් නැති විෂයයන් දෙකක් විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොතට ඇතුළත් වුයේ කෙසේද යන්න පළමු ප්‍රශ්නයය. දෙවැන්න නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ 2009/16 චක්‍රලේඛය නිකුත් කරන විට වාස්‌තු විද්‍යාව සඳහා අනුමත නොවූ දෙමළ සහ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය යන විෂයයන් දෙක අනුමත විෂයයන් ලෙස ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගනිද්දී සචින්තනීට මග අහුරාලු සිවිල් තාක්‍ෂණවේදය විෂයය එසේ පිළිනොගන්නේ ඇයිද යන්නය. සිවිල් තාක්‍ෂණවේදය යනු සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය පාසල්වලට හඳුන්වා දීමටත් පෙර හඳුන්වා දුන් විෂයයන් බවද සඳහන් කළ යුතුය.
මෙම ගැටලු සහගත තත්ත්වය විමර්ශනය කළ හැකි වන්නේ උසස් පෙළ විෂයයන් හඳුන්වා දීමේදී අනුගමනය කෙරෙන ක්‍රියා පිළිබඳ පැහැදිලි කර ගැනීමෙනි.
පාසල් විෂයයන් හඳුන්වා දීමේ වගකීම දරන්නේ ජාතික අධ්‍යාපන ආයතනයය. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික අධ්‍යාපන ආයතනයේ සභාපතිවරයා වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාය. නව විෂයයන් හඳුන්වා දීමේ අවසන් අනුමැතිය දිය යුත්තේ සභාපතිවරයාය. ඉන් පසුව එම නව විෂයයන් පාසල්වල ඉගැන්වීම සම්බන්ධයෙන් අදාළ චක්‍රලේඛය පාසල් ප්‍රධානීන්ට නිකුත් කරනු ලබන්නේ ද සභාපතිවරයා හෙවත් අමාත්‍යාංශ ලේකම්වරයා විසිනි. යම් විෂයයන් පාසලේ ඉගැන්වීම ආරම්භ කරන්නේ එම චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසුවය. ඒ සමගම එම විෂයයට අදාළ වෙනත් කරුණු පිළිබඳ නියමිත පැහැදිලි කිsරීමක් අධ්‍යාපන අමාත්‍යාංශය කළ යුතුය. උසස් පෙළ විෂයයක් නම් එය විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ වන්නේ කෙසේද යන්න චක්‍රලේඛයකින් පාසල්වලට දැන්විය යුතුය.
නව විෂයයක් හඳුන්වා දීමේදී එය විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා නියමිත විෂය සංයෝජනවලට ඇතුළත් කරවීමේ වගකීම පළමුව ජාතික අධ්‍යාපන ආයතනයටත් දෙවැනිව අධ්‍යාපන අමාත්‍යාංශයටත් පැවරේ. 2009/16 චක්‍රලේඛයේ සිවිල් තාක්‍ෂණවේදය විෂයය ඇතුළත් කර ඇත්තේ 6.1.6 කලා විෂය ධාරාව සඳහා විෂය කාණ්‌ඩ (අ) සමාජයීය විද්‍යා/ ව්‍යවහාරික සමාජ අධ්‍යයන කාණ්‌ඩයන් යටතටය. ඒ අනුව සියලු කලා උපාධි සඳහා සිවිල් තාක්‍ෂණ වේදය අදාළය. සිවිල් තාක්‍ෂණවේදය ඇතුළු සෙසු තාක්‍ෂණික විෂයයන්, තාක්‍ෂණික විෂයය කාණ්‌ඩයකට වෙනම ඇතුළත් නොකර සමාජයීය විද්‍යා සහ ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයන් කාණ්‌ඩයට ඇතුළත් කළේ ඇයිද යන්න වෙනම විමසා බැලිය යුතු කරුණකි.
2009/16 චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ප්‍රවේශය සඳහා පිළිගනු ලැබ ඇති නව විෂයන් ඇතුළත් සංශෝධිත චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් නිකුත් කර නැත. අදටත් පාසල් අනුගමනය කළ යුත්තේ 2009/16 චක්‍රලේඛය පමණි. එලෙස සංශෝධිත චක්‍රලේඛයක් නිකුත් නොකිරීම ද බරපතළ වරදකි. එම වරදේ ආදීනව විඳවන්නට සිදුවන්නේ දරුවන්ටය. නිදසුනක් වශයෙන් සඳහන් කරන්නේ නම් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය වාස්‌තු විද්‍යා උපාධි පාඨමාලාවට පමණක් නොව නීති උපාධිය හැදෑරීම සඳහා ද අනුමත විෂයක් වශයෙන් ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රවේශ අත්පොතේ සඳහන් වේ. එහෙත් එය 2009/16 චක්‍රලේඛයේ සඳහන් නැත. චක්‍රලේඛය ආශ්‍රයෙන් විෂයයන් තෝරා ගන්නා සිසුවකු අතරමං වන්නේ මෙලෙසිනි. චක්‍රලේඛය ආශ්‍රයෙන් විෂයයන් තෝරා ගෙන විභාගයට පෙනී සිටින සිසුවා විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත බලන විට අන්දමන්ද වීම පුදුමයක් නොවේ. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය හදාරා නීති උපාධිය හැදැරීමට අපේක්‍ෂා කරන සිසුවකුට 2009/16 චක්‍රලේඛය අනුව කළ නොහැකිය.
නගර හා ග්‍රාම නිර්මාණ උපාධි පාඨමාලාවට ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගෙන ඇති ලතින්, පර්සියන්, උර්දු හා ග්‍රීක් යන විෂයයන්ද අමාත්‍යාංශ චක්‍රලේඛයේ අදාළ උපාධි පාඨමාලාව යටතේ වන විෂය සංයෝජනයට ඇතුළත් කර නැත. තවද නීති උපාධිය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ප්‍රතිපාදන කොමිසම පිළිගෙන ඇති නමුදු 2009/16 චක්‍රලේඛය එම පාඨමාලාව ඇතුළත් කර නැත.
සචින්තනීට සුසුම්ලමින් හිඳින්නට සිදුවීමේ ගැටලුව දිග හැර ගත යුත්තේ අධ්‍යාපන බලධාරීන්ගේ මෙවැනි වගකීම් විරහිත ක්‍රියාකලාපයන් මත හිඳිමින් විනා ඇගේ දෛවය මත හිඳිමින් නොවේ. පාලි, ජපන්, අරාබි වැනි විෂයන්ද වාස්‌තු විද්‍යා උපාධි පාඨමාලාවට අදාළ නම් සිවිල් තාක්‍ෂණවේදය විෂයය එම පාඨමාලාවට අයත් විෂය සංයෝජනයට ඇතුළත් කිරීමට රට පෙරළන පෙරළියක් කළ යුතු නැත. සිවිල් තාක්‍ෂණවේදය විෂයය වාස්‌තු විද්‍යා උපාධි පාඨමාලාවට අදාළ කිරීම සචින්තනීගේ සිහිනය සැබෑ කිරීමක් වන්නා හාම අධ්‍යාපන බලධාරීන්ගේ නොසැලකිල්ල හා වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා සිදු වන අපරාධයක් වළක්‌වාලීමක්‌ද වන්නේය. කළ යුතුව ඇත්තේ සිවිල් තාක්‍ෂණවේදය විෂයය වාස්‌තු විද්‍යා උපාධි පාඨමාලාවට අයත් විෂය සංයෝජනයට ඇතුළත් කිරීම අනුමත කර එය පෙර වර්ෂයට අදාළ වන සේ කැබිනට් අනුමැතියත් ලබා ගැනීම පමණය. සිදු වන්නට යන අපරාධයක් වළක්‌වා ගත හැකි වන්නේ එවිටය. එවැනි වුවමනාවක් උසස් අධ්‍යාපන ඇමැතිවරයාට පහළ වුවත් මෙම අපරාධයට ඝෘජුව වගකිව යුතු අධ්‍යාපන බලධාරීන්ට ඇතැයි නොසිතමු. මන්ද ඇයට මුහුණ පෑමට සිදුව ඇති ෙ€දනීය තත්ත්වය පිළිබඳව ඡායා මාත්‍රයක හැඟීමක් රටේ අධ්‍යාපනය භාර ඇමැතිවරයා ලෙස බන්දුල ගුණවර්ධන මහතාට තිබුණේ නම් මේ අපරාධය වැළැක්‌වීමට අප කරන යෝජනාව කළ යුත්තේ ඔහුය. සුදුස්‌සන් සිටියදී නුසුදුස්‌සන්ට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ තනතුරු ලබා දීමට කැබිනට් සන්දේශ ඉදිරිපත් කරන අධ්‍යාපන ඇමැතිවරයෙක් සිසුවියකගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි අපේක්‍ෂා කිරීමද විහිළුවකි. එනමුදු අපේක්‍ෂා භංගත්වයේ දොරකඩ අබියස සුසුම්ලන සචින්තනීට සාධාරණය ඉටු කර අධ්‍යාපනය වෙනුවෙන් ඇයට ඇති අනුල්ලංඝනීය අයිතිය රැකදිය යුතුමය.
නිලන්ත මදුරාවල
- දිවයින ඇසුරිනි








Comments