"ද්‍රෝහීන්ට මරණය", බව හම්බන්තොට ජවිපෙ හිටපු දිසාසංවිධායකයෙක්වූ, පිටපළාතක පදිංචි සුදුපාට කොලුපැටියෙක් වලස්මුල්ලේ මළගෙදරක නිදිවරණ අතරේ පවසාඇත
.හම්බන්තොටම ඉපදුන තවත් කීපදෙනෙකුගේ කටින් පිටවී ඇති මේ කතාව නිසාත්, හම්බන්තොට පැරණි ජවිපෙ විසින් අලුත් ජවිපෙ හෙවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයින්ට මරණීය ප්‍රහාර එල්ලකිරීමත් අතර පැහැදිලි සම්බන්ධයක් තිබෙන නිසාත්, මේ කතා සුලුකොට නොතැකිය යුතුය.හෙට අනිද්දාම සුදු කොඩි දාන්න වැඩක් දෙනබවට ද කටමැත දොඩවති.එනිසා චමීර කොස්වත්ත සහෝදරයාට හම්බන්තොට අවමංගල සභාවක වේගවත් කතාවක් පැවැත්වීමේ අවස්ථාව ළඟදීම උදාවීම වැළැක්වීම මේ ලිවීමේ අරමුණය.
"ටිල්විං අයියා"දැන් පදිංචිය හම්බන්තොටය."ටිල්විං අයියා" බත් කන්නේ අපේ ගෙදරින්ය."ටිල්විං අයියා" අඳින්නේ මගේ සරමය.නිදියන්නේ මගේ ඇඳේය."ටිල්විං අයියා" දත් මදින්නෙත් මගේ දත් බුරුසුවෙන්මය.ඇදගෙන නාන්නේ අපේ ළිඳෙන්ය.හම්බන්තොට කට්ටියටම මාර චූං ය!
ටිල්විං අයියා කලුතරින් කුජීතවී හම්බන්තොට ඇවිත් සිදුවූදේ පසුදවසක කියමි.
දැන් ටිල්විං මල්ලිගෙ මූණ දිහා බලන්න බැරිය!මූණකලුවෙලාය.ඇස් ගෙඩි රෞද්‍ර ද මොකක්ද වෙලාය.යකා මාක්ය!වෛරය මූණ පුරා දෝරේ ගලයි!මේ වෛරය පංති වෛරය යැයි වරදවා තේරුම්නොගතයුතුය.
ඒකෙදී මූණ කලුවෙන්නේ නැත!
"ද්‍රෝහීන්ට මරණ දඬුවම" ප්‍රකාශයට පත්කළේ ටිල්විංය.පහුගිය සතියේ මළගෙදරක ගිය අලුත් ජවිපෙ කොලුගැටයකුට කලුවරේ මගරැක සිට පොලු මුගුරුවලින් පහරදුන්නේ ඒ නියෝගය අනුව ය.
ද්‍රෝහීබව තීන්දුකිරීමට පදනම් කරගත් සාධක හෙවත් මිණුම් දඬු කවරේද යන්න හා ද්‍රෝහියා කවුද යන්න තීරණය කරන්නේ ටිල්විං සිල්වලාය.
අනේ සකෝ බළලෝ! ටිල්විංලට ගිය රට!!යැයි කියැවෙන්නේ මෙහිදීය.
මේ මරණ තර්ජනයේ බරපතලකම නොදත් පැරණි ජවිපෙ ගිරවු ටික දෙනෙක් ප්‍රසිද්ධියේ තැන් තැන්වල මේක කියවති.
මිනිස්සු මරන්න තීන්දුකිරීමේ හා මරාදැමීමේ බලය නුඹලාට ලැබුනේ කෙසේද?(මේ ගැන ඉතිරි ප්‍රශ්න කිරීම පාඨකයාට පවරමි.)
මේ ලියන මමත් එදා ජවිපෙට ගෑවුන හැමෝමත් ද්‍රෝහීන්ට මරණය තීන්දුකිරීම හා ඒ නොසිදුවිය යුතුව තිබුන දේශපාලන වැරදිවලට අඩු වැඩි වශයෙනන් දායකවූ බව පිළිගතයුතුය.ඒවා හපන්කම් වූයේ එදාය,අතීතයේය; ඒවා අමනකම් හා තකතිරුකම් ලෙස අද පෙනීයෑම වර්තමානයේ හැටිය.මේ ගැහිලි-මැරිලි,කැපිලි-කෙටිලි අසාර්ථකය;වැරදිය;ඒ වෙනුවෙන් ගෙවූ වන්දිය විශාලය;සිදුවූ පසුබෑම අතිමහත්ය;ඒවා යල්පැනපු බව නිවැරදිව දැනසිටින ටිල්විංලා නැවත යල්පැනපු ඒ ක්‍රමය මෝඩයන් කීපදෙනෙකුගේ ඔලුවට දාල උන් වයින් කරන හේතුව හරිහැටි තේරුම්ගත යුතුය.
ධනේශ්වර රාජ්‍යයේ දණ්ඩනීති සංග්‍රහය අනුව මරණතර්ජනයකිරීමද දඬුවම් පමුණුවන වරදකි.පහරදීමකින් මිනිහෙකුගේ දතක් ගැලවුනොත් අවුරුදු දෙක දක්වා උපරිමයකට හිරදඬුවම් පැමිණවිය හැක.ගැලවුන දත පණුවො කාපු;දිරාගිය දතක්ය,කොහොමටත් නාකිවෙනකොට ඒ දත ඉබේම ගැලවී හැලෙන එකක්ය කියා පැවසුවාට සමාවක් ලැබෙන්නේ නැත.ඒ කියන්නේ මනුස්සයකුගේ මවිල් ගහකටවත් හානිකරන්න කිසිවෙකුට අවසර නැතිබවය.
ඇඟට අතතියන්න තහනම්ය! මිනිහෙක් මැරුවොත් මරපුඑකා ද එල්ලා මරන්නේය.දණ්ඩනීති සංග්‍රහය අනුව පමණක් නොව රේරුකානේ හාමුදුරුවො සකස්කරපු බුද්ධනීති සංග්‍රහය අනුවද ඉහත සියල්ල තහනම්ය.අපාගතවෙන්නේය;ලෝදිය බොමින් කටුඉඹුලේ නගින හැටි පෙරහැරේදී දැකඇතුවාට නිසැකය.
ජාතක කොරපු අප්පොච්චිට පුතකු මරාදමන්නට අයිතියක් නැත.දසමසක් කුසේ දරාගෙන හිටිනිසා අම්මාටද දරුවකු මරන්නට අයිතියක් නැත.බඩේ ඉන්න දරුවා හෙවත් දරුගැබවත් නසන්නට තහනම්ය. ඒවාට අවසරයක් ලැබෙන්නේ ද විවිධ හේතු හා සීමාකම් යටතේය.එහෙව් රටේ ලෝකයේ තමන්ට විරුද්ධ දේශපාලන මත දරණ මිනිස්සු මරන්න ටිල්විංලාට ලයිසන් දුන්නේ කවුද?රාජ්‍ය බලය නැති ටිල්විංලා මෙහෙමනම් නිකමට හරි රාජ්‍ය බලය ලැබුනොත් කොහොමට හිටියි ද?
කාම්බෝජයේ වගේ වේවි යැයි බිය නොවන්න!හේතුව කිසිදා මේ කට්ටියට රාජ්‍යබලය ලැබෙන්නේත් නැත; ලැබුනත් ගන්නේත් නැත.හේතුව රටක් පාලනයකරන්න තරම් දැනුමක් හැකියාවක් තියෙන කිසිවෙක් දැන් පරණ ජවිපෙ නැති නිසාය.
අලි ඇතුන් ආදී තිරිසන් සතුන්ටද අත තියන්න තහනම්ය.ඒ වගේ දුර්ලභ හා විශේෂිත සත්තු ලැයිස්තුගතකර ඇත.මිනී කන කකිඹුලාටද විවිධ සීමාකම් යටතේ නිදහසේ ඉන්නට අයිතිය ඇත.මරන්නගෙනියන හරකාද රැගෙනයායුත්තේ ඌ ටවදහිංසාවක් නොවන පරිදිය.
අලි ඇතුන් නොව ගල් ඉබ්බො කිරි ඉබ්බො මරන්නත් තහනම්ය.ඉබ්බෙක් මැරුවත් අවුරුදු පහකට හිරේට දැමියහැක.උනහපුලුවෙක් මරන්නත් තහනම්ය.අං කටුස්සෙක් මරන්නත් තහනම්ය.ඒ මදිවට මරන්න තියා අත තියන්න තහනම් කරපු සමනලයොත් නීති පොතේ සිටිති.
යකෝ..එහෙව් රටේ-ලෝකයේ මුං කොහොමද මනුස්ස පරාණකාරයො වෙච්ච අපි මරන්නෙ?
ටිල්විංලාගේ මරණ දඬුවම් පැමිණවීමේ දේශපාලනය මට තේරෙන හැටියට මෙහෙමය.
පැරණි ජවිපෙ දේශපාලනගමන හා ඉලක්ක සියල්ල තවමත් යොමුවීතිබෙන්නේ මැතිවරණ හා මන්ත්‍රීධූර දිශාවටය.
ළඟඑන කුමන හෝ මැතිවරණයකදී පැරණි ජවිපෙ ඡන්ද සංඛ්‍යාව අඩුවනබව ඉර හඳ වගේ ස්ථිරය.
මේ ගැටලුවට විවිධ සෙප්පඩවිජ්ජා කරමින් අධිරාජ්ජ පෙරළාදැමීමේ පෙරමුණු අටවමින් විසඳුමක් සෙවීමේ මාරාන්තික උත්සාහයක යෙදෙන පැරණි ජවිපෙ නිළධාරීන් ට අලුත් ජවිපෙ කොරේ පිටට මරේ වගේය.
හම්බන්තොට ජවිපෙ බළකොටුවක් යැයි රටට ලෝකයට පෙන්නගෙන ඉන්න උත්සාහකෙරුවට ඒවා අතීතයේ හපන්කම් පමණක් බව ඔප්පුවුනේ අද ඊයෙක නොව මීට බොහෝකලකට පෙරය.
වීරවංශලා, කුමාර් ගුණරත්නම් ලා කවුරුත් ජවිපෙ ඉන්නකොටත් ජවිපෙ ජන පදනමේ හෝදාපාලුව ඇරඹී තිබුනි.
වීරවංශලා ඉන්න දවස්වලම එවකට බලයතිබූ තිස්ස ප්‍රාදේශීය සභාව සමඟ තවත් ප්‍රාදේශීය සභා දෙකක්;එනම් වීරකැටිය හා අම්බලන්තොට ප්‍රාදේශීය සභා දෙකෙත් බලය ගැනීමට ඉලක්කකරගෙන ජවිපෙ ඡන්ද කෙරුවත් තිස්ස පමණක් දෙවනවතාවටත් ජයගෙන අනිත් සියල්ල පුස්ස බින්දා වැනි විය.එවිට වීරවංශලා-කුමාර් ගුණරත්නම්ලා සියලුදෙනා ජවිපෙ ය.එහෙමවුන හේතු සාධක ගැන ඕනෑවටත් වඩා ලියැවී, කියැවී ඇත.මං මේ මතක්කරන්නේ මහපොළවේ ඇත්තට සිදුවුනදේය.
ජවිපෙ එහෙම දුබලව ඉන්න අතරතුර ජවිපෙ තනිකොට රාජපක්ෂගේ තුරුලට ගිය වීරවංශලාට ජවිපෙ හැමෝම වෛර කළහ.ජවිපෙට අනුව එය දක්ෂිණාංශික පීළිපැනීමකි!
ඒ අතරේ මතවාදී අරගලයක යෙදුන කුමාරලා-ඕපාතලා- කුලරත්නලාටද නිළධාරීන් විසින් එළියට යනතැනට වැඩකටයුතු කරනලදී. ජවිපෙ ඒකට මුලදීකිව්වේ අතිවාමාංශික පීලි පැනීමය.දැන් කියන්නේ බටහිර රහස්ඔත්තු කරුවකුගේ කොන්ත්‍රාත්තුවක් කියලාය.මෙසේ ජවිපෙ කරටියෙන් කැඩී අරටුවෙන් බිඳී ප්‍රථම වතාවට අලුත් ජවිපෙයක් බිහිවිය. දැන් පරණ ජවිපෙ යනු ප්‍රසිද්ධපුද්ගලයන් හා නීත්‍යානුකූල ජවිපෙ ඡන්ද ලකුණ හිමි සුලුතරය බව දන්නෝ දනිති.එහෙත් පහළ සාමාජිකයා මේකෙ ඇතුළාන්තය නොදන්නා නිසා වන්දනාමාන කරන්නේ පැරණි නිල බලය සහිත බෝඩ්එකට බව අප හැමෝම දනිති.
මේ සියලු දේශපාලනික පරස්පරතා හා සංවිධාන බිඳීයෑම් ,හරයෙන් නොව මතුපිටින් දකින ජවිපෙ පහළ සාමාජිකයා හා හිතවතා නිල පක්ෂය අතහැරදමා ඉවතට යන හැම පුද්ගලයාකෙරෙහිම වෛර බැඳීම සාධාරණය.
නිල ජවිපෙ වැටිල ඉන්න වෙලාවෙ එසේ පක්ෂයෙන් ඉවතටගොස් නිල ජවිපෙ විවේචනයකරමින් වෙනත් පක්ෂ හදන එවුන් මරාගෙන කන්න හිතෙන එක සාධාරණය.
නිල ශාස්ත්‍රයට අනුව දැන් ටිල්විංලා සාමාජිකයාගේ අල්ලන නිලය ජවිපෙ කෙරෙහි වූ ඒ අනුකම්පා නිලයයි.
ඒක අල්ලනකොටම සාමාජිකයාගේ කටින් පිටවෙන්නේ "ඕකුං ඔක්කොම මරන්න ඕන ටිල්විං අයියේ" කියලාය.
ජවිපෙ සමාජිකයාට ,හිතවතාට ඒක කියවෙන්නේ ඇත්තටමය;අවංකවමය.
අන්න එතකොට ටිල්විං අයියා රත්වුන බෙරේ තාලෙට ගහන්නේය. ඇහිඳගත් න්‍යාය කෑලි සමග කල්ලිවාදය ගැන පපුවට දැනෙන ප්‍රශ්නෝත්තර පොත් පිංච බෙදාහරින්නේය.මඩපත්‍රිකා හා කටවචනයෙන් මොළ සෝදන්නේය.මැලේසියානු කොමියුනිස්ට් පක්ෂයේ ඔත්තුකාරයෙක් ගැන පට්ටගහපු පරණ පද තාලෙට ගහන්නේය. එතැන්පටන්,මුං අලුත් ජවිපෙ කොල්ලකු දැක්කගමන් පිස්සුබල්ලො වගේ ලුහුබඳිති;හපාකති!
පක්ෂය තුළ සිදුවූ ඇත්ත සිද්ධිය නිවැරදිව පහළට සන්නිවේදනය නොවීමේ වාසිය අත්කරගන්නා ජවිපෙ නිළධාරීහු, අලුත් ජවිපෙට එරෙහිව තම භක්තිමත් සාමාජිකයන් එසේ උසිගන්වති.
මතවාදී අරගල තියා, මතවාදය කියන්නෙ මොකක්ද කියලවත් ජවිපෙ පහළ සාමාජිකයා දන්නේ නැත.
උන්ට ඒව දැනගන්න මහ ලොකු උවමනාවක්ද නැත.
ජවිපෙ නායකයෝ වනාහී සියල්ලදත්ලා ය!
කාට වැරදුනත් ඒ කට්ටියට වරදින්නේ නැත!ඒ කට්ටිය පොත්-පත් කියවන්නෝය;ඒ නිසා පොත්-පත් කියවීමට පුංචි කාලයක් හෝ අප විසින් වැයකළයුතු නැත!නායකයෝ අවංකය;හොඳ ළමයිය;සිගරැට් අරක්කු කටේ තියන්නේ නැත;ඔය වගේ නහුතයක් ජාති ගමේ ජවිපෙ සාමාජිකයෝ හිතේ මවාගෙන සිටිති.ඒක නිසා උං උංගේ වැඩක් බලාගෙන ඉන්න අතරෙ අතිරේක කටයුත්තක් ලෙස ජේවීපී ද කරති.විනෝදාංශයට කරන්නේ "රතු ඉර" ජාතියේ දේශපාලන විකට වැඩසටහන් මහ රෑ තෙක් නරඹා, උදේට තම තමුන්ම ජවිපෙ නියෝජිතයාගේ කතාවේ හපන්කම ගැන වර්ණනා කරමින් ආතල් ගැනීමය.පැලවත්ත මූලස්ථානයෙන් එවන චක්‍රලේඛ අනුව කටයුතු කිරීම.ඡන්ද කාලෙට කැන්වසින් යෑම එක එකාගෙන් ගුටි කෑම ඊට අමතරව කරන කාර්යයන් කීපයකි.
මුංට සමාජවාදය අවශ්‍යය.එහෙත් අත්‍යවශ්‍ය නැත!
සමාජවාදය අත්‍යවශ්‍යම එවුන් සියලුදෙනාමපාහේ ඉන්නේ යූඇන්පියේ හා සන්ධානයේය.
නිර්ධන පංතිය දෙකඩකරේ කුමාර් ගුණරත්නම්ලා ලු!නිර්ධන පංතියක් කොහොම වුනත් ඒකෙන් අදහස්කරන පීඩිතයෝ සීයට අනූනවයයි දශම නවයක් ඉන්නේ ජවිපෙ තුළ නොව එජාපය හා සන්ධානය සමගය.ඒක නිසා ජවිපෙ දෙකට කැඩුනට පංතිය භේදවීම කිසිසේත්ම සිදුවිය නොහැකි බව පැරණි ජවිපෙ පහළ සාමාජිකයාට වැටහෙන්නේ නැත.
මෙවැනි අන්ධ භක්තික, අවිචාරවත්, පපුවෙන් ක්‍රියාකරන බිම්මට්ටමේ සාමාජිකයින් ට හිතවතුන්ට ආයුධ කෑල්ලක් අතට දීල මිනිහෙක් මරවන එක ටිල්විංලාට ඉතා පහසුකටයුත්තකි.!
ජවිපෙ බිම්මට්ටමේ මෙවැනි පිරිසක් පැවතීම ගැන කුමාරලා-ඕපාතලා-කුලරත්නලා යන සහෝදරවරු ද ඇත්තටම වගකිවයුතුය.
අද පැරණි ජවිපෙට හම්බන්තොට හැබෑ බලයක් නැත.ඡන්ද බලයත් නැත;ජනයාගේ අනුග්‍රාහශීලී බවත් නැත.
එකපිට දෙවතාවක් ජවිපෙ ජයගත් තිස්ස ප්‍රාදේශිය සභාව තෙවනවර පැරදුනේ ය.ජයගත්තේ සන්ධානයයි.ජවිපෙ දෙවන තැනට ආවේ නැත. එජාපය දෙවෙනියට ඡන්ද ගත්තේය.ජවිපෙ වැටුනේ තුන්වෙනියාටය.
.
යුධ ජයග්‍රහන හේතු,ආණ්ඩු බලය,රාජපක්ෂ ජනාධිපති බලය ආදිය තිස්ස පරාජයට හේතුවුනානම් අවුරුදු අටක් පමණ සභාව පාලනය කරපු ජවිපෙ එජාපයටත් අඩු ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් හේතුව කුමක්ද?
ආණ්ඩුවේ බලය නිසා සන්ධානය පළමුවැන්නා වනවිට ජවිපෙ දෙවැන්නා වියයුතුනේද?
ජවිපෙ මතය ඍජුවම නියෝජනය කළ ලංකාවේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය ප්‍රගතිශීලී පෙරමුණ නමින් හම්බන්තොටින් පාර්ලිමේන්තුවට යැව්වේ ඡන්ද පහළොස්දාහක් සමගය.ඉන්පසු සන්ධාන, පෙරමුණු නොමැතිව සීනුව ලකුණට ඡන්ද පනස්නවදාහක් දක්වා ඉහළනැගි ඡන්ද සංඛ්‍යාව පල්ලම්බැස හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රීකමද අහිමිවී අවසානයේ පහුගිය පළාත් පාලන ඡන්දයේදී සීනුවට දිස්ත්‍රික්කයෙන්ම ලැබුනේ ඡන්ද දහනවදාහකි.මෙවර මැයි රැළියට හම්බන්තොටින් සෙනඟ දාහක් සහභාගිකිරීමේ ඉලක්කය නැවතුනේ හාරසිය පනහක් සහභාගිවීමෙනි.මැයි පෙළපාලියේ හම්බන්තොට බැනරය යටතේ ගියේ හාරසියපනස්දෙනෙකි.හැබෑ තත්වය එයයි.
මෙහි හොඳම උත්ප්‍රාසය, වීරවංශගේ නියෝජිතයින් සන්ධාන ලැයිස්තුවල ඉහළ මනාප ගත්තෙත් හම්බන්තොටදී වීමය.ඉන් එක් අයෙක් ප්‍රාදේශීය සභා, සභාපති පුටුවේද වාඩිවිය.තිස්ස සභාවේද වීරවංශගේ නියෝජිතයා ජයගත්තේය.තංගල්ල ප්‍රාදේශීය සභාවේ වීරවංශගේ නියෝජිතයා ජයගත්තේ ජවිපෙ ට හැමදාකම හිමිවතිබූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීධූර දෙක, එකක් බවට පහළට දමමිනි.
තංගල්ල ප්‍රාදේශීය සභාවට හැමදාම ජවිපෙන් තරගකර උඩින්ම ජයගන්නා, කුඩාවැල්ලේ ජවිපෙ අපේක්ෂකයා පැරදුනේ කුඩාවැල්ලෙන් වීරවංශ ඉදිරිපත්කළ අපේක්ෂකයාටය.එහි තවත් වැදගත් කරුණක්වෙන්නේ එකී කුඩාවැල්ලෙ ජවිපෙ පැරදුන අපේක්ෂකයා ඊට පෙර පැවති හැමඡන්දයකදීම ඉහළම මනාප ලබන පෞද්ගලික ඡන්දපදනමක් ද සහිත චරිතයක් වීමය.
මෙන්න ඇත්ත! මේවා කියනකොට කාගෙ කාගෙත් හිත් රිදෙන්නට පුලුවන.
ඒත් අමුම අමු ඇත්ත මෙයයි.
ඡන්ද හා ඔලුගෙඩි ගණනින් දේශපාලනික නිවැරදි බව මැනිය නොහැකිබව සැබෑය.එහෙත් ඡන්ද ප්‍රතිඵල මගින් බොහෝ දේ වටහාගැනීම පහසුකරන බව කිවහැක.
වීරවංශලා අලුත් "වමක්" හැදුවේ නැත."දකුණ" ශක්තිමත් කළාපමණි."දකුණට" ගිය වීරවංශ ඉදිරිපත්කළ අපේක්ෂකයින් සියලුදෙනා ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයින්ය.ජවිපෙ අරුතින් අමු ද්‍රෝහීන්ය!
හම්බන්තොට ජවිපෙට මේ ද්‍රෝහීන් දේශපාලනිකව පරාජය නොකළහැකිවූයේ ඇයි?
වීරවංශලාගේ දේශපාලනයේ හරි-වැරදි කෙසේවෙතත් හම්බන්තොට බිම්මට්ටමේදී ජවිපෙ, වීරවංශලාටත් පැරදිලායැයි පැවසීම අතිශෝක්තියක් නොවේ!
එහෙමවුනේ ආණ්ඩුව හෝ රාජපක්ෂලා නිසාද?
හැමෝම දකින්නට අකැමති; හේතු සොයන්නට අකැමති, තිත්ත ඇත්ත මෙයයි.
වීරවංශලා හොයාගන්නට නැතැයි කියමින්, පැරණි ජවිපෙ වෙනුවෙන් කාටුන් අඳින විනී හෙට්ටිගොඩ පැරණි මිත්‍රයා ද මේ කරුණු නොදන්නවා වියනොහැක.අවශ්‍යනම් තව ඕනෑතරම් නිදසුන් දියහැක.
අලුත් ජවිපෙ බිහිවීමත් සමග හම්බන්තොට පැරණි ජවිපෙ අද තත්වය කුමක් ද?
හම්බන්තොට ජවිපෙ කීර්තිමත් ප්‍රකට චරිත රාශියක් ඊළඟ මැතිවරණයකදී අපේක්ෂකයින් හෝ කථිකයින් ලෙස හෝ පැරණි ජවිපෙ වේදිකාවේ දකින්නට නොලැබෙන අවදානමක් පැවතීම පැරණි ජවිපෙ කුපිතවීමට ප්‍රබල හේතුවකි.
ඊළඟ කරුණ, ජවිපෙ හම්බන්තොට බිම්මට්ටමේ ප්‍රබල චරිත අතිවිශාල සංඛාවක් අද ප්‍රසිද්ධියේ පැරණි ජවිපෙ ප්‍රශ්නකිරීම හා විවේචනය කිරීමය.සමහරු ටිල්විං සිල්වාගේ මූණටම කිවයුතු දෑ කියාඇත.මෙකී පුද්ගලයෝ ජවිපෙ නොවන පුද්ගලයන් දෙසීයකට තුන්සීයකට පමණ දේශපාලනික බලපෑමක් කළහැකි සමාජ සම්බන්ධතා තිබෙන ප්‍රබල ජනප්‍රිය චරිත වෙති.මෙතෙක්කල් නිහඬව කරබාගෙන සිටි බොහෝදෙනෙක්ද අලුත් ජවිපෙ බිහිවීමත් සමග පැරණි ජවිපෙ විවේචනයකිරීම අරඹාඇත.ජවිපෙ කුපිතවීමට දෙවන හේතුව එයයි.
ඉහතකී දෙගොල්ලම අලුත් ජවිපෙ හෙවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එකතුවී නැති බවද මම හොඳාකාරව දනිමි.
එහෙත් වැට උඩ ඉන්න මේ දෙපිරිස ගැන පැරණි ජවිපෙ තුළ සැක-බිය හොල්මන් කරන නිසා ඔවුන් මෙල්ලකිරීම මේ ප්‍රහාර හා මරණතර්ජනවල සැඟවුන අරමුණයි.
ජවිපෙ,ඉහතකී දෙගොල්ලටම කිසිම අරියාදුවක් නොකර කපන්න බැරි අත ඉඹිති!
මරණ දණ්ඩනය පනවා ඇත්තේ අලුත් ජවිපෙ ක්‍රියාකාරි කොලුගැටව් පිරිසටය.
තඩිබාන්නේ මුව හමටය!
මුලින් කී දෙපිරිසට රිදෙන්නට හා බයදැනෙන්නට කොලුගැටව් ට පහරදෙති!
ඇත්තම ඇත්ත එයයි.
මෙකී ප්‍රහාර පිළිබඳ සැලකීමේදී "යකා හිතන තරම් කලු නැත"යැයි යමෙක් සැහැල්ලුවෙන් පැවසියහැක.
එහෙත් මම එය නොපිළිගනිමි. මේ ප්‍රහාරයන් සිදුකරන ජවිපෙ පුද්ගලයන්ගේ හැබෑ තත්වය මම හොඳින්ම දනිමි.එනම් මොවුහු පාතාලයේ සොල්දාදුවන් නොවෙති;මෙවැනි වැඩ-කිඩ වලට කිසිදු පළපුරුද්දක් නැති කාඩ්බෝඩ් චණ්ඩි පිරිසකි.
ටිල්විංලා, බැනපිය කිව්වොත් බැනල ඉවරවෙලා ගහලත් එන්නෝය;
ගහපිය කිව්වම ගහල මදිවට මරල දමන්නෝය.
එනිසා නිරපරාදේ අහිංසක කොල්ලෙක් දෙන්නෙක් මේ වල්හරක්ගේ අතින් මියයෑමට ඉඩතිබේ.
තවද මේ ප්‍රහාරයන් හා මරණ දණ්ඩන ක්‍රියාත්මක කිරීම සඳහා, දකුණේ හා රටපුරා බලය පැතිරවූ ප්‍රබල පාතාල කණ්ඩායමක ශේෂවූ බලපරාක්‍රමය එම කණ්ඩායමට නොදැනෙනසේ උපායශීලීව හා සූක්ෂ්මව කළමනාකරණය ටිල්විංලා විසින් සිදුකරනබව වගකීමෙන් යුතුව හෙළිකරමි.
ඒ ගැන දැනගන්නට කියවන්න-"හම්බන්තොට රතු බළල්ලු".-









Comments