"ගුමු ගුමුව වදුලේ... සිලි සිලිය සුළඟේ.. මුනු මුනුව නදියේ... කසු කුසුව ජවිපේ .. අදයි මට ඇසුනේ....අදයි මට ඇසුනේ.."
මියුරු ගායනයකි! ප්‍රථම ප්‍රේමයේ මල් හී සර ඉලක්කයට විදපු පෙම්රාජයෙකු අයුරු, අප්‍රමාණ සංතෝෂයෙන් ගයමින් ,නටමින්, උඩපනිමින් ,බිම පෙරළෙමින් දිවඑන්නේ රෝටුං ය.රෝටුංගේ මේ ප්‍රීතිප්‍රමෝදයට අනංගයාගේ සම්බන්ධයක්නම් තිබිය නොහැක.මින්දද ගේ හී සර වැදී මුගේ සැලෙන හද තව තවත් සැලුනේ දරු දෙදෙනෙකුගේ ජීවනබර ද දරාගනිමින්, නංවන දුක් ගී කිසිවෙකුටත් නොඇසෙනසේ සඟවාගෙන, ජවිපෙ ෆුල්ටයිම් කොරපුනිසාය.අවුරුදු බර ගාණක් ජවිපෙ පූර්ණකාලිනයෙකුවූ රෝටුං, වධකාගාර -හිරකඳවුරු හරහා එලොව ගිහිං මෙලොව ආපු එකෙකි.ඉන්පසු මතවාදී අරගල කොරල, ජනඅරගල කොරල, සමාජවාදය ගොඩනැගීමේ පෙරටුගාමී වැඩකොටසකට ෆුල්ටයිම් කරගහන විප්ලවකාරයෙකි.
මා දැක තිගැස්සුන රෝටුංගේ නැටුම්-ගැයුම්-දිවුම් එකවරම නැවතිණි. හේ ,නියර උඩ වාඩිවී හෑස් හෑස් ගාමින් ටිකවේලාවක් හති ඇරියේය.
"මොකෝ බං මේ සංතෝසෙ !උඹවගේ මිනිහෙකුට ඔයහැටි සතුටක් එන්න ලංකාවෙ සමාජ විප්ලවේවත් කෙරිල ද"?
"නෑ බං රූපෙ අයියෙ.ඒක දැන්ම කෙරෙනපාටක් නෑ බං! පැණිමූණ, ඇඹුල්කරගෙන අතරිං පතර හෑස් හෑස් ගාමින්ම ඌ කියාපි!
"ඉතිං යෝදයෝ ඒක අඬන්න ඕන කාරණාවක් නොවැ! අහවල් මඟුලකටද උඹ මේ උඩ පැන පැන නටන්නෙ?
මගේ පැනයට උගේ ඇඹල්මූණ, ක්ෂණිකව නැවත පැණිමූණක් විය!
"මං නටන්නෙද ? මං නටන්නෙ, මං පෙරටුගාමී සමාජවාදී පක්සෙන් ඉල්ලා අස්වුන නිසානේ"
අතරිං පතර හෑස් හෑස් ගාමින්ම මූ ආයිත් තවත් එකක් කියාපි! එවිටම "හෑස්" ගෑවුනේ මටය.
"හුට්ට පටි පටස් ! එහෙනම් ඒ පක්සෙත් පුදන කොටම කාපි යකා කිව්වලු!"එකවරම මට එසේ කියැවුණි.
"එහෙනං ඉතිං ටිල්විං මල්ලිගෙ අනාවැකිය හරියටම හරි" ! යැයි මං කියනකොටම,
"මොකක් !! අපි අයින්වුනාට පස්සෙ ටිල්විං අයිය සාස්තර කියන රස්සාවට බැහැලද"?යැයි පුදුමයෙන් විමසමින් රෝටුං දඩස් ගා එකවරම නැගිට්ටුනේය.
"නෑ.නෑ.. බං දේශපාලන අනාවැකි..දේශපාලන අනාවැකි;උඹලගෙ පක්සෙ මාස පහෙන් තොලොංචියි කියල ඒ මනුස්සය පත්තරවලට කියල තිබුනෙ!දැං ඉතිං උඹලගෙ ඒ සොහොන් ලකුණු ටික ටික පහළවේගෙන එනව වගේ මේ සිද්ධවෙන දේවල්වලින් මට පේන්නෙ!
රෝටුං බඩඅල්ලගෙන බක බක ගා හිනාවෙයි.
"එතකොට උඹලගෙ අලුත් පක්සෙන් හතර දෙනෙක් ඉවත්වෙලාය.., ඒ නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂෙ දෙකඩ වුනාය කියල පොල්ගෙඩි අකුරෙන් පත්තරවල මුල්පිටුවෙ දැම්මෙ; හැබෑටම උඹලගෙ පක්සෙ අටදෙනාද බං හිටියෙ"?
"ඒ සහෝදරවරුන්ට අලුත් පක්ෂෙත් එක්ක දේශපාලන ප්‍රශ්නවගයක් තිබුනනේ රූපෙ අයියෙ.ගතික සංවිධානයකට ඕව සාමාන්‍යයි!අපි,මූලධර්මවාදී, ආගමික කල්ලියක් නෙමෙයිනේ. ඒ වුනාට මට අලුත් පක්ෂෙත් එක්ක ඒවගේ දේශපාලන,සංවිධාන,පුද්ගල ප්‍රශ්න එකී-නොකී කිසිම ප්‍රශ්නයක් තිබුනෙ නැති නිසා තමයි මම ඒ පක්සෙන් ඉල්ලාඅස්වුනේ;.අටදෙනාගෙ කතාව උඹ අහගනිං අනුර දිසානායකගෙන්"
"උඹලගෙ අලුත් පක්සෙ තමයි හොඳම පක්සෙ කියල ඊයෙ පෙරේද උඩ පැන්නෙත් උඹලමයි..දැන් ඒක නරකෙයි කියල ඒකෙන් අයින්වෙලා උඩ පැන පැන නටන්නෙත් උඹලමයි.මේක මහ විකාර වැඩක්නේ බං රෝටුං?
"මොකක් කිව්ව! මං කිව්වද රූපෙ අයියෙ උඹට, අලුත් පක්සෙ නරකයි කියල?
අලුත් පක්සෙ;පෙරටුගාමී සමාජවාදී පක්සෙ නිවැරදි පක්සයක්..තේරුණාද"? රෝටුං ට හොඳටම කේන්තිඇවිල්ලාය.
"ආං..හරි හරි ,දැන්මට තේරුනා..මට තේරුනා...දැන් උඹලගෙ අලුත් පක්සෙ නිසා ජේවීපී එකට කෙලවිලා යන නිසා උඹලට හීනියට සතුටක් දැනුන නේද?කසු කුසුවක් ඇහුන කිව්වෙ ඒක නේ?ඒ කාලකන්නි සංතෝසෙද මොකක්ද එක උඹට දැනිලනේද උඹ උඩ පැන පැන නැටුවෙ?
"ගොං කතා කියන්න එපා රූපෙ අයියෙ,
ජවිපෙට කෙලවන්න ඕනනම් ජවිපෙ වෙනුවෙන් අපේ ජීවිතේම කැප කරයිද?
පක්ෂෙ ඇතුලෙ අරගලකරයිද?ජවිපෙ කියන්නෙ අපේ මහගෙදර!ජවිපෙ කියන්නෙ පැවතිය යුතු දේශපාලන පක්ෂයක්"!
"ආං..හරි හරි, උඹ අලුත් පක්සෙං අයින්වෙලා ආයිත් ජේවීපී එකට බැඳෙන්න තීරණය කෙරුව නේද"?
මමත් කෝපිකඩේ අබිලිං මාම වගේ වටින් ගොඩින් කෙළවරක් නැතිව විමසිල්ල දාන්නේ රෝටුංගේ සතුටේ හැබෑ හේතුව කොහොමහරි හොයාගන්නටය.
"මඟුලක් කතා කරනවද රූපෙ අයියෙ!දැන් ජේවීපී එක නිවැරදි දේශපාලන ලයින් එකට වැටීගෙන එන්නෙ,
එහෙම තියෙද්දි මං ආයිත් ජේවීපී එකේ ෆුල්ටයිම් කොරන්න යන්න තරම් මෝඩයෙක් කියල උඹ හිතනවද හැබෑටම"?
මූට අමු කැවිලද! නැත්නම් මදන මෝදකේවත් කැවිලද!පැහැදිලි අර්තයක් -ගිරංතයක් නැති රෝටුංගේ මේ අපබ්‍රංස මටනම් නොවැටහෙයි.
කිසිදා මත්දියර හා මත්දුම ඇසුරුනොකරන රෝටුං, මගේ බාල ලේලිගේ ලොකු කොල්ලා ය.නෑකමට මූ මගේ මුනුපුරා ය.රෝටුංගේ හොඳම යාලුවා සූටිං ය. සූටිං දඩබ්බරයෙකි. සූටිං නිතර "සූස්තිය"උරයි. සූටිං සූස්තිය උරන්නේ හම්බන්තොට නගර සභාවේ කම්කරු වෘත්තික සින්නයියා සමගය.කිසිම අංගයක්-පුලංගයක් නැති සූටිං, අපේ රෝටුං ගේ "අංගආරක්ෂිතයා" හෙවත් "බොඩිගාඩ්" බව සින්නයියා පවසයි.
අක්‍රිය දුම්පානයෙන් සූටිංගේ සූස්ති දුම්පාරක් රෝටුංට වැදිලාවත්ද!
"මේ අහපං රූපෙ අයියෙ,ජවිපෙ දැන් පරණ වැරදි නිවැරදි කරගෙන විප්ලවය දිහාවට හෙමින් නමුත් ස්ථාවරව ගමන්කරන බව මට සූටිංගෙන් දැනගන්න ලැබුන.ඒක මට ලොකු සතුටක්! පෙරටුගාමී සමාජවාදී පක්සෙ වගේ අතිධාවනකාරී වමේ ළදරු වලිප්පුව හැදුන අපරිණත වමක් විධියට නොහැසිරී විනීතව සංසුන්ව ගමන්කරනවලු!එහෙම කසු කුසුවක් දැං ජවිපෙ පහළ සාමාජිකයො අතරෙත් තියෙනවලු!ඉතිං ඒ සතුට ට තමයි මං නැටුවෙ"
සූටිං ගංජ ගහල දොඩවන විකාර කතා විශ්වාස කොරන්න තරම් රෝටුං මෝඩයෙක් ද?මට මේ කිසිවක් තේරුම්ගැනීම අපහසුය.
"අපි කරපු මතවාදී අරගලය නිසා වගේම, අපේ අලුත් පක්ෂෙ රට තුළ තහවුරුවෙන එක වළක්වන්න දැං ජවිපෙට වෙනත් උපායමාර්ගයක් නැතිනිසා අකමැත්තෙන් හරි නිවැරදි මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න සිදුවීම සතුටට කාරණයක් නෙවෙයි ද මං අහන්නෙ රූපෙ අයියෙ" අධ්‍යාපන පංතියකමෙන් හර -බර වචන යොදමින් රෝටුං හේතු පැහැදිලි කරයි.
"නිවැරදි මාවතට වැටිලද?නැත්නම් උඹලගෙ බලපෑම නිසා එහෙම වෙන්නට පුලුවන් කියල උඹල අනුමාන කරනව ද?මේ අහපං රෝටුං.අධිරාජ්‍ය විරෝධී පෙරමුණ කියන්නෙ මන්ත්‍රීකම් තුන හතරක් ගන්න අටව ගත්ත කෙමනක් නෙමෙයි ද? වමේ පක්ෂයක් කොහොමටත් අධිරාජ්‍ය විරෝධී නේ බං!ඒකට වෙනම පෙරමුණක් හදන්නෙ ලපයි-සිපයි ඔක්කොම ගාල් කොරගෙන ඡන්ද කඩාගන්න නෙමෙයි ද?ඉතිං උඹ හිතනවද ජවිපෙ නියම ලයින් එකට ආව කියල?
"එහෙම සූස්තර දැම්මට අපේ හෙළිදරව් හමුවෙ ඒව ජනතාව තේරුම්ගන්නව නේ රූපෙ අයියෙ"
"එතකොට ඔය පහුගිය කාලෙ උඹලගෙ පාර පස්සෙ එලව එලවා ඔලුකටු කුඩුකරල, මොළ ලොඳ එළියට ඇද ඇද වියරුවෙන් දැඟලුවෙ මොකද"?
"හරි..හරි..ඒ ඔක්කොම ඇත්ත තමයි.ගහලහරි අපේ දේශපාලනේ නතරකරගන්න නේ ජවිපෙ නිළධාරි ට්‍රයි කෙරුවේ..ඊට වඩා ලොකු හතුරුකම් පවා ඒ කට්ටිය අපට කෙරුවනේ;දැනුත් ඒව සහමුලින් අත්හැරල නැති බවත් ඇත්ත.ඒත් ඒ ඔක්කොම කුමන්ත්‍රණ අසාර්ථකවුනා නොවැ!කුමාර සහෝදරයගෙ ජීවිතෙත් බේරුණා නොවැ!
දැන් තියෙන තත්වෙ අනුව අකමැත්තෙන් හරි ජවිපෙට හරි මගට වැටෙන්න බලපෑම සිද්ධවෙලා තියෙන්නෙ"
රෝටුං ගේ හැබෑ වෙනසකි!අදහාගත නොහැක!මූ, මං ගැන ඔත්තුබලන්නවත් ට්‍රයි කොරනවද!
"ඉතිං.. එහෙමනම්, උඹ ආයිත් ජවිපෙ ට ම පලයංකො; මේ අලුත් පක්ස හද හද තවකාලයක් දුක්විඳින්නෙ අහවල් මගුලකට ද"?මම කපටි උත්තරයක් දුනිමි.
"නෑ..නෑ..රූපෙ අයියෙ, ඒක වැරදි යි. ජවිපෙ තව තවත් නිවැරදි කරල නියම තැනට තල්ලුකරන්නනම් උපක්‍රමිකව අපි කරන්න ඕන පෙරටුගාමී සමාජවාදී පක්ෂය තව තවත් ශක්තිමත්කිරීම.ඒකතමයි මගේ උපක්‍රමය. එතකොට වෙළඳපොළ තරගය වගේ දෙගොල්ල අතර තරගයක් හටගන්නව.අන්‍යෝන්‍ය අන්තර් ක්‍රියාවක්;ද්විඝටනයක්;ඒකෙ අවසාන ප්‍රතිඵලය කාලයත් සමග මේ දෙකම නොවන නවතම නිවැරදි වමක් බවට පරිණාමය වීමත් වෙන්න පුලුවන්;තවත් විස්තර කෙරුවොත් ජවිපෙ හසුරුවන රිමෝට් එක තියෙන්නෙ කුමාර සහෝදරයලගෙ අතේ!පෙරටුගාමී සමාජවාදී පක්ෂය හසුරුවන රිමෝට් එක තියෙන්නෙ ටිල්වින් අයියලගෙ අතේ"!
යකෝ.. සූස්ති දුමකට මේ තරම් හරියක් කොරන්න පුලුවන් කියල මං දැනගෙන හිටියෙ නෑ නොවැ.මෙච්චර කාලෙකට මට කවදාවත් මෙහෙම අයිඩියාස් ඇවිල්ල නෑ!
"දැන් රෝටුං උඹලගෙ කලින් තිබුන රිමෝට්,ප්ලග් ඔක්කොම ජාති අරලියමන්දිරේ හයිකෙරුව වගේ ඕවත් වෙන එවුන්ගෙ ගෙවල්වල හයිකොරන එකක් නෑ කියල ෂුවර් ද"?
ෂුවර් ද අහනව!ෆුල් ෂුවර්! රූපෙ අයියෙ.ෆුල් ෂුවර්!
" අන්න ඒ ආකාරයට බාහු-සිරිතුංග සහෝදරවරුන් ගෙ කුලකය, දීප්ති ල, ඒ කට්ටියගෙ පරණ යාලුවො සුමිත් චාමින්දල,නිර්මාල්ල,ප්‍රදීප් ජයරත්නල ආදී එකී නොකී ඒ සියලුදෙනාම මේ ක්‍රියාවට පාර්ශවීය හා ඍජු වශයෙන් දායකවෙලා ස්වයංක්‍රීයවම නිවැරදි අලුත්ම අලුත් සුපිරි වම ලංකා පොළව මත බිහිවෙනව රූපෙ අයියෙ."
"එතකොට රෝටුං උඹ කියන්නෙ රෝහණ සහෝදරය කියපු ස්වේච්ඡා සංවිධානය අහෝසිවෙලා, ස්වයංක්‍රීයව වමක් හැදිල ස්වයංක්‍රීයව සියල්ල සිදුවෙනව කියලද? චා.චා..හරිම මනෝරාජිකයි.හරිම මනෝරාජිකයි".මමත් න්‍යාය ඩිංගිත්තක් දන්නබව මූට පෙන්වන්න ඕනැය.
"නෑ නෑ මං කිව්වෙ තරගය නිසා ප්‍රධානවශයෙන් මේ පක්ෂ දෙකේම පුද්ගල ක්‍රියාකාරකම්; විශේෂයෙන්, පොත-පත කියවීම ඇතුලු දැනුම සෙවීම,කැපකිරීම් ඇතුලු මානවයා පෙළඹවීමේ සාධක උද්දීපනයවෙලා අභිප්‍රේරණය සිදුවන බව.එහෙමනැතුව සියල්ල ස්වයංක්‍රීයයි කියල නෙමෙයි රූපෙ අයියෙ,මේක දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන සංකීර්ණ ක්‍රියාවලියක්.ඒකයි මං මුලදිම කිව්වෙ සමාජවිප්ලවේ දැන්ම කෙරෙනපාටක් නෑ කියල"
දැන්නම් මුගේ මහප්‍රාණ අහගෙනහිටියා හොඳටම ඇතිය.
"හරි..රෝටුං,උඹ ඔය කියන්නෙ ජවිපෙට තරවටුවක් කරල යහමගට ගන්න නම් උඹලගෙ පක්ෂෙට බැඳෙන්න කියල නේ..එතකොට උඹලගෙ පක්ෂෙට ආදරේ මිනිහ කරන්න ඕන ජවිපෙට එකතුවෙන එක නෙමෙයි ද"?
"දැට්ස් රායිට්!විලෝමය ද සත්‍යවේ!
රෝටුං, කවදාවත් නැතිව ලාල් කාන්ත වගේ ඉංගිරිස් කෑලිත් දමයි!
"උඹේ කතාව මට පැහැදිලියි රෝටුං, උඹ කියන්නෙ රතුපාට පක්ෂ සියල්ලම නිවැරදි වූ එකම තැනට උපක්‍රමිකව ළඟාවෙමින් ඉන්නව කියලනේ?එහෙනම් මොකද උඹ ප්‍රධාන රතුපක්ෂ දෙකෙන්ම අයින්වෙලා පැත්තකටවුනේ"?
"අයියෝ හරි සරලයි රූපෙ අයියෙ!ජවිපෙ දේශපාලනිකව වැරදි නිසා තමයි මං ජවිපෙ ෆුල් ටයිම් කරන්න ගියේ..හේතුව ජවිපෙ නිවැරදි කරන්න උපරිම මැදිහත්වීම කළහැකික්‍රමය ඒකනිසා..ඒකට අරගල කරනකොට අපි පන්නල දැම්ම..ඒකෙ ප්‍රතිඵලය අපි අලුත් නිවැරදි වමක් හැදුව..ඒකෙ වක්‍ර හෙවත් අතුරු බලපෑමක් ලෙස වැරදි ජවිපෙ නිවැරදි දිශාවට ක්‍රමයෙන් හැරෙන්න වෙනව!කාටද සංතෝෂ?දැන් අපට නිවැරදි වමවල් දෙකක් තියෙනව.ඒක නිසා මගේ ඓතිහාසික කාර්යභාරය අවසන්,පක්ෂදෙකේම මගේ ෆුල්ටයිම් ඉවරයි.මං අද ඉඳල ගෙදර."
"නිවැරදි ඒව දෙකක් තියෙන්න බැහැනේ රෝටුං?මොකක් හරි එකයි නේ බං නිවැරදි."?
මගේ එම පැනය මගහැර රෝටුං වෙනත් කතාවකි!
"අන්න ඒ ඉහතකී පොදු වම හැදෙන එක තමයි රූපෙ අයියෙ, සෝමවංශ සහෝදරය නිතර කියන්නෙ -"වෙන්ව ගමන් කරමු-එක්ව සටන් කරමු"- කියල;ඒ වගේම -"දේශපාලනයේ සදාකල් හතුරෝ-සදාකල් මිතුරෝ" -කියල ජාතියක් නෑ කියන්නෙත් ඒකනේ;සියලු ගංගා මූදට එකතුවෙන බව උඹ අහල නැද්ද රූපෙ අයියෙ?".
"ඒකියන්න උඹල දෙගොල්ල ආපහු යාලුවෙන්න බැරිකමක් නෑ!එහෙම ද"?
"ඉග්සැක්ට්ලි! රූපෙ අයියෙ; උඹ නිකමට හිතපං සෝමවංශ අයිය,රනිල් බදාගත්තනම්,ෆොන්සේක කරට ගත්තනම්,වීරවංශ ජවිපෙ ඉන්නකාලෙ මුතාලිෆ් ගෙ මළගෙදර ගිහින් සෝකය පළකෙරුවනම්,විජේවීර උම්මත්තකයෙක්යැයි ප්‍රසිද්ධියෙ කියල මදිවට ඒ මනුස්සය මරපු එවුන්ට ප්‍රසිද්ධියෙ ස්තුතිකරපු ගුණදාස අමරසේකර ජවිපෙන් හදපු දේශහිතෛශියෙ සභාපති වුනානම්;ජානක පෙරේරට දේශපාලනේට එන්න සෝමවංශල උපදෙස් දුන්නනම්,කී-නොකී අරුම පුදුම දේ සිද්ධවුන මේ රටේ සෝමවංශල-ටිල්වින්ලට,එක පතේ කාපු කුමාරල-ඕපාතල සමග නැවත එකට එකතුවෙන එක අරුමයක් ද?අනිත් එක ඒකෙ වැරැද්ද මොකක් ද?අපට ඕන සමාජවාදය විතරයිනේ බං. ඒක කාගෙන් ලැබුනත් වරදක් නෑ නොවැ රූපෙ අයියෙ".
"ආං..ඒක තමයි වීරවංශ ඇමතිතුමත් ඉස්සර දවසක ප්‍රසිද්ධියෙ කිව්වෙ ජවිපෙ සමග එකතුවෙන දවසක් අනාගතේදි එන්න පුලුවන් කියල;උඹලගෙ චමීර කොස්වත්ත සහෝදරයත් දවසක් ඔය කතාවම ප්‍රසිද්ධියෙ කිව්වෙ ඒක වෙන්නැති.
අනේ සාදු!කොහොමින් හරි මං වලකජ්ජ ගහන්න කළින් දෙගොල්ල තරගෙට හරි දුවල ලංකාවෙ සමාජවාදය දකින්න ලැබුනොත් මට ඒ ඇති"!
"ඒක නෙවෙයි රෝටුං;එතකොට ෆුල්ඩම් එක දාල මේව ලියල උඹලට කඩේ යන මං වගේ හාදයොන්ට උඹලගෙ සමාජවාදෙ යටතෙ මොනවගේ තැනක් ලැබෙයි ද?
"උඹටද..? උඹට ඉතිං තව කාටහරි මඩ ගහන පල්හෑලි ලිය ලිය ඉන්නපුලුවන්,එච්චරයි"
මූ මගේ මූණ බලාගෙනම පැකිලීමක් නැතිව කිව්ව කැත විතරක්!චිඃහ්!
"ආං...ඒමද මල්ලී..ඊ...ඊ? මට ආරංචියි , උඹල දෙගොල්ලම පොත් ලැයිස්තු ලියාගෙන හෝ පටේට දැන් පොත් කියවනව කියල !
ඕව කියවන්න තිබුනෙ මීට කළින්;එහෙමවුනානම් පුතෝ, ඔය පක්ෂෙ කරටියෙන් කැඩිල ;අරටුවෙන් බිඳිල මේ විනාසෙ වෙන්නෙ නෑ තේරුණාද? ගම්වල ඉන්න ගිරවු ටිකට ඕව හොඳට කටපාඩම් කරගෙන මතුර මතුර ඉන්න කියපං.හැබැයිපුතෝ උඹලට ඔය පොත් කියවිල්ල වැඩිදවසක් කොරන්න අපේ ජනාධිපතිතුමා ඉඩතියන්නෙ නෑ..අන්න ඒකත් මතක තියාගනිල්ල"
මූ මට ගැහුව හින්ට් එකට මටත් ඌරු ජුවල් නැග්ගේය.
" ඇයි මොකෝ...එයැයි අපට ඩොං ගහන්නද? යක්කුන්ට බයනම් අපි සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ රූපෙ තේරුණාද? නිකං පලයං බං යන්න,හු..හූ..."
"නෑ නෑ යෝදයෝ එහෙම අනතුරක් නෙවෙයි මං කිව්වෙ;ෆොන්සේක උන්නැහේ එළියට දාල,පළාත් සභා ඡන්දයක් කෑලි කරමෙට උඹලට හෙට අනිද්දම ජනාධිපතිතුමා දෙනව.කාල වරෙල්ලකො!
පොත් ලිප් බොක්කට දාල අමුඩ ගහගෙන බැහැල මඩවපල්ල;ඊට පස්සෙ පුක බිම ඇනුනම කොම්පියුටර් ජිල්මාට් කියල විහිලු සපයපල්ල. අනේ මගේ කට;සමාජවාදෙට කළින්,පුලුවන්නම් ඔන්න ඕව වර්ජනය කරන්න ඔක්කොම එකතුවෙයල්ල !
ඕං මං ගියා...!








