කුමාර් ගේ "බොඩිය" දකින්නට පුල පුලා බලාසිටි පැරණි මිතුරෝ-පැරණි හතුරෝ - අලුත් හතුරෝ හැමෝම ෆුල් අප්සැට්ය! චැහ්.. බළල් පණක් නොවැ තියෙන්නෙ ! කොටියාගේ මල්ලි බළලා නොවැ!
ඒකයි පණ බේරුනේ ! නින්දා අපහාස, මඩ හා අවලාද වරුසාවකි!
කුමාර්ලා ඒවාට උත්තර නොදෙති.මහත්මා ගතිය පෙන්වති.
අන්තිමේදී කුමාරලාට එරෙහි බොරු අවලාද සියල්ල, සත්‍යයය ලෙස ජනහදවත්තුළ තහවුරුවේ.
ඊට පස්සෙ උත්තර දීමෙන් ඵලක්නැත.ගොබෙල්ස්ගේ න්‍යායය අසාර්ථක යැයි විවිධ න්‍යායයන් හැදෑරූ කුමාරලා හිතනවාද වියහැක!
විජේවීරට භාෂා විශාල සංබ්‍යාවක් කතාකළහැක.ඔහු බල්ලාට බලු භාෂාවෙන් ඇමතුවේය.කිසිවිටෙකත් බල්ලන්ට සහෝදරයායැයි ඇමතුවේ නැත.හරකාට චඃක්...මඃක් ය. .බේබද්දාට තවත් භාෂාවක්ය.
බුදුන් වහන්සේ ද එහෙමය.අංගුලිමාලට එක ක්රමයකි;ආලවකට තවෙකකි;ඔලුව ඉදිමුන නෑදෑයින්ට අමුතු භාෂාවකි; නන්ද කුමාරයාට වෙනස්ම භාෂාවකි.
එහෙත් කුමාරලා විසින් හැමෝටම ඇමතීමට යොදාගන්නේ එකම භාෂාවකි! වැඩේ වරදින්නේ එතැනදීය.
ඒනිසා බුදුන්වහන්සේ ද අනුගමනය නොකරනලද මහත්මාගතියක් කුමාරලා විසින් අනුගමනය කිරීම අනුවම කුමාරලා බුදුවෙන්නට පෙරුම්පුරන කට්ටියක් නොවන බව තහවුරුවේ.එමෙන්ම විජේවීරගේ ඉහතකී "භාෂා හැකියාව", රැකගතයුතු උරුමයක්ලෙස කුමාරලා නොහිතන බව ද ඊටත් හොඳින් තහවුරුවේ.
කොහොමින් හරි අන්තිමේදී නිවැරදිකරුවෝ වූ ද පැමිනිලිකරුවෝ වූ ද කුමාරලා ජනතා අධිකරණයේ එල්ලුම්ගහට නියමවිය හැක!
එහෙම නඩු උසාවි ඉතිහාසයේ ද ඇත.තමන් නිර්දෝෂී බව සාධාරණ සැකයෙන් තොරව අධිකරණයේ ඔප්පුකළයුතුය.නඩුකාර හාමුදුරුවන් බුද්ධිමත් යැයිද සාධාරණ නිවැරදි තීන්දුව තිතට ලැබෙන්නේ යැයි නිවැරදිකරුවා හිතුවොත් නිවැරදිකරුවා ගස් යන්නටද ඉඩ තිබේ!
නිවැරදිකරු බව දැන දැනත් ඔලුව හරි විකුණල හොඳ පෙරකදෝරුවන් අල්ලන්නේ ඒකටය.
නව ලිබරල් ධනවාදයේ දෙවෙනි ඉණිම පිළිබඳ ජනයාට පහදාදීමට පෙර සතුරන් විසින් දමාගැසූ මඩ සෝදාගතයුතුය.
රජ කමටද සුදුසුවන්නේ එවිටය !
ඒසඳහා වැයකරන කාලය, ශ්‍රමය අපතේ නොයයි.තර්කයට,වාදයට ජවිපෙට ආවේණික ෆ්ලැට් න්‍යායයේ වැදගත් ශිල්පක්රම උපයෝගීකර ප්‍රතිප්‍රහාරය දියයුතුය.හොඳ තුරුම්පු අතේ තියාගෙන අකුලාගෙන හිටියොත් අසත්‍යය ජයගන්නේය.මඩ සඳහා, මාත්‍රාව අඩුවෙන් මඩ ස්වල්පයක්ද භාවිත කිරීමේ ඒහැටි වරදක් නැත. එහෙම කිව්වේ පරණ යාලුවෝ වෙතට මඩ දමා ගැසීමට අවශ්‍යම නම් මඩ ටිපර් ගණනක් තිබෙන බැවිනි. නැත්නම් මේ පරණ යාලුවෝ තැලෙන යකඩය උඩ පැන පැන තලන්නට පෙළඹෙති. ගහන්න ගහන්න වඳිනවට වඩා, වදින්න වදින්න, ආපසුහැරී රිදෙන්න වදින්න නොගැහුවොත් සත්‍යය යට යෑම ස්ථිරය.
ලංකාවේ ජනතාව තර්කානුකූලව හිතන බුද්ධිමත් ජනතාවක් යැයි ජනමාධ්යහමුවේ කුමාර හැමවිටම අවධාරණයෙන් පවසයි. ඒකත් හරියට නඩුකාරයා බුද්ධිමත්යැයි හිතලා අමාරුවේ වැටුන නිර්දෝෂියා සිහිකරවන කතාවකි.නඩුකාරයෝ උගත්ය;බුද්ධිමත්කම කෙසේවෙතත් ඔවුහු තීන්දුව දෙන්නේ සාක්කි සැලකීමෙනි.
ඒත් කුමාර සාක්කිදීම ප්‍රතික්ෂේප කරයි!
ජවිපෙ තුළ ඉහළ නායකත්ව වගකීම්දැරූ බව ඔප්පුකරන්න කුමාරට ඕනෑකමක් නැතිලු!
ඒ ඉතිහාසයට නැවතීමේ තිත තියලලු!
ඉතිං ඒ තිත තියපු ඉතිහාසය කුමක්ද යන්න රටේ ජනයා දැනසිටිය යුතුය.ජනතාව විසින් කුමාරලා පිළිබඳ විනිශ්චය දෙන්නේ ඉතිහාසයේ ඒ කරුණු සලකා බැලීමෙනි. ප්‍රේම්කුමාර් ගුණරත්නම් ගැන හොඳක් හෝ නරකක් හෝ දැනසිටින්නේ ජවිපෙ හා වාමාංශික හෝ දක්ෂිණාංශික හෝ දේශපාලන උනන්දුවක් සහිත පිරිස පමණි. ඊට අමතරව ජනමාධ්‍යවේදීන් හා රාජ්‍යයේ ඔත්තුසේවා ඇතුලු රැකවලුන්ය. කුමාරලා විසින් දිවි පරදුවටතබා විමුක්තිය ලබාදෙන්නට ඉලක්කකරගත් සමාජ පංතියේ මිනිස්සු කුමාර කවුදකියා දන්නේනැත. කුමාරලා ගැන කතාකළයුත්තේ කුමාර යන පුද්ගලයා වටා ජනයා පෙළගැස්වීමට නොව කුමාර නමැති පුද්ගලයාට එල්ලකරන නින්දා අපහාස, සාහසික චෝදනා අදාළ දේශපාලන ව්‍යාපාරයේ ඉදිරි ගමනට අහිතකරව බලපාන නිසාය.
කුමාරගේ වයසින් දෙගුණයකට ආසන්න වයසක් මේ ගෙන්දගම් පොළවේ පයගසා සිටි මට ඔහු පවසන ජාතියේ තර්කානුකූලව හිතන බුද්ධිමත් ජනතාවක් හමුවී නැත. ලංකාවේ ජනයා, බුද්ධිමත් යැයි කුමාර විසින් දැඩිවිශ්වාසයකින්යුතුව නිතර පවසන්නේ පොදුජනතාවගෙන් ඈත්ව රහසිගතව; සැඟවීසිටි නිසායැයි එකී ලාංකීය බුද්ධිමත් ජනයා ට අවබෝධවීමට බැරිකමක්ද නැති බව කුමාරලා මතක තබාගත යුතුය. ලාංකීය ජනයාගේ තරම නොදන්නා කුමාර යනු හැංගිලාම හිටපු මිනිසෙකු බව එකී ලාංකීය ජනයාගේ බුද්ධියටම හසුවියහැක!
තමන් අතර ගැවසුනු මිනිසෙකු කවදාවත් මෙහෙම කතාවක් නොකියනබව තර්කානුකූලව හිතන ලාංකීය බුද්ධිමත් ජනයා හොඳාකාරව දනිති.
ජනතාවගෙන් සැඟවී දිගු කලක්, අඛන්ඩව ජවිපෙ තුළ ක්‍රියාකිරීම නිසා හටගත් වෙහෙසකර බව හේතුවෙන් ජනතාව යනු ජවිපෙ සාමාජිකයන් යැයි පැටලීමෙන් "ජනතාව බුද්ධිමත් කතාව" කුමාර විසින් පැවසුවා විය හැකියැයි ජනයා විසින් නිගමනයකිරීමටද ඉඩතිබේ.
එහෙත් ජවිපෙ තුළ සිටි එවැනි තර්කානුකූලව හිතන බුද්ධිමත් මිනිස්සු බහුතරය දැන් ඉන්නේ කුමාරලා සමගය.
බහුතරයා අප සමගයැයි කුමාරලා කීවේ ඒ නිසා වියහැක. බහුතරයාගේ කතාව මට වැටහෙන්නේ එහෙමය.
ජවිපෙ සුලුතරය,ලංකාවේ ජන බහුතරය වගේම හිතන මතන පිරිසක්මය!
හම්බන්තොට ජවිපෙ ලොක්කෙක් "පර දෙමළා" යැයි කුමාර හැඳින්වූයේ ඒ නිසාය.
"දෙමළෙකුට පක්ෂෙ අයිතිය යනව..මල්ලිලා වරෙල්ලා"යැයි කොල්ලන්ගේ අතට පොලුමුගුරුදී උසිගැන්වූයේ හම්බන්තොට තවත් ලොක්කෙකි.
මේ දෙන්නම මාක්ස්වාදී පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෝය!ඒ කතාවලට ඇවිස්සුනේ විප්ලවවාදීන්ය!
මේ කතා බොරු යැයි කියන්නේනම් හම්බන්තොට දී කුමාරලාගේ සගයන්ට පහරදීමට පැමිණි ජවිපෙ සාමාජිකයන්ගේ හදවතට තට්ටුකර විමසන්න.
මේ කතා ඇසීමෙන් කළකිරී දැන් දැන් දිනෙන් දින ජවිපෙන් ඉවත්වෙන හා නිහඬවෙන පිරිස දකිනවිට ජවිපෙ තුළ තවත් බුද්ධිමත් සාමාජිකයින් පිරිසක් සිටිබව ඉතා පැහැදිලිය.
කුමාර් ගුණරත්නම් ගේ මහත්මාගතිය ඕනෑවට වඩා වැඩිය.
මහත්තයංකම නොව මහා ආත්මය වැඩිය.
සේනාධීර ගුණතිලකලාගේ,පුබුදු ජයගොඩලාගේ ද මහත්මාගතිය වැඩිය.
මේ කට්ටියට ඒ කාලෙ "කුමාර මහත්තයා", "ඕපාත මහත්තයා" ලෙස ආමන්ත්‍රණය කළේ ද ඒ මහත්මාගතිය නිසා විය හැක!
ඒත් ජවිපෙ තුළ වැඩිපුර ඉන්නේ "අයියලා" ය!
"ටිල්වින් අයිය", "සිරිඅයිය", "ලොකු අයිය", "සමන්ත අයිය", "ලාල් අයිය" "ගලප්පත්ති අයිය"
මාර අයියලා තොගයකි!
අයියලාගෙන් "සරත් අයියා" "පේමචන්ද්‍ර අයියා" වැනි දෙතුන් දෙනෙක් මේ පැත්තේ හිටියට "අයියලාගේ බහුතරය" අනිත් පැත්තේය. අයියලා විසින් "අයිය පාට්" දානකොට "මහත්මා පාට්" එකෙන් පිලිතුරුදීම අසාර්ථකය.
මගේ ඇඟේ මාලු බඳගිරිය වැවේ නටන්නේ මේ "මහත්මා පාට්" දැකලාය.
වීරවංශ-ඩලස් ඇමතිලාට, නලීන් මහඇදුරලා-චන්ද්‍රප්‍රේම-චක්රවර්තිලා ආදී ඒ ජාතියේ හැමෝටම පිලිතුරුදීමට "මහත්මා පාට්" එකෙන් බැරිය.
කොහොමින්.. කොහොමින් හරි මමත් අයිය කෙනෙකි! මං රූපෙ අයියා ය.
දේශපාලන පක්ෂවල "නායකයින්" හෙවත් "ලොක්කන්" ලෙස පැරෂුට්වලින් පාත්වුන "අයියෙක්" නොව නියම "ගමේ අයියෙකි".අටේ කැලෑසියෙන් සියලු ශිල්ප ශාස්ත්‍ර හදාරා අවසන්කළ පිටිසරෙයෙක් හෙවත් ගම්බයියෙකි.
හේන් ගොවියෙකි.
මට විනයක් නැත! කටට එන එක කියලදාන්නේය.අසූචිවලින් පහරදියයුතු යැයි හිතුනොත් අතේ ගූ ගාගෙන හෝ ඒ වැඩේ කරන්නේය.ඒවා මගේ උපන්ගෙයි දෝෂය.
මගේ රං කිරි කටගෑවේ අම්මගෙ අම්මාය.ඈ බෞද්ධ උපාසිකාවකි,ඕනෑම දේකට රෙඩි නිර්භීත ගැහැණියකි.
මම කන-බොන මිනිහෙක්මි. දුප්පත්කම වැළඳගෙන වුවද සැං පවුඩර්, නිතර පරිහරණය නොකරම බැරිය. නාරිදේහයන්ට ලොල් ය. එනම්, හැට පැන්නත් පයින් නොයන වඳුරෙකි!
ආදි කාලයේ, යාල කැලේ අලි බලන්න එන බටහිර, ක්‍රිස්තියානි සුද්දන්ට කඩේ ද ගියේය.
ඒ ඔක්කොමත් අස්සේ ජේවීපී ද කළේය! අරුම-පුදුම වැඩේ ද එයයි!
කියවීම හා යමක් -කමක් ඉගෙනගත්තේ ජවිපෙට පිංසිද්ධවෙන්නටය.
මං වගේ කන-බොන, ගමන් වමේ දේශපාලනය වෙනුවෙන් පෙනීසිටින මිනිසුන් පශ්චාත් නූතනවාදීන් ලෙස ද හංවඩුගසති. ඒක සහමුලින්ම වැරදිය.ඒත් ඒ බව කිසිවෙකුට හෝ පහදානොදීමට මම පරිස්සම්වෙමි.
එකී-නොකී සියලු සුදුසු-නුසුදුසුකම් හේතුවෙන් ,හොට බිම ඇනෙනකම් ජේවීපී කළත්, විජේවීරලාගේ යාලු මිත්තරකම් මට තිබුනත් ජවිපෙ විසින් කිසිදාක මැතිවරණ සංවිධානයකින් ඉහළට මං වැද්දගත්තේ නැති බව ජවිපෙට ගෞරවයක් ලෙස සටහන් කළයුතුමය.Lanka Views වෙබ් අඩවියේ සැරිසරන පිරිස බොහෝකලකට පෙර සිට මා හඳුනනද බවද සිහිපත්කිරීම සුදුසුය.
මඩ;අපහාස; අවලාද නොව,මතවාදීගැටුමේ සැබෑ ඉතිහාසය හා පක්ෂයතුළ සිද්ධවුන අලකලංචිය අකුරක්නෑර දින වකවානු සහිතව ලිබිත හා සිද්ධිමය සාක්ෂි සහිතව හෙළිදරව්කළයුතුය. තැනින් තැන අතරින් පතර හිස්තැන් නොතියා තේරෙන සිංහලෙන් ලියා-කියා දියයුතුය.බොරු බේගල් හා මඩ අවලාදවලට හැරුන ගමන් පහරදිය යුතුය.
ජනතාව ඉදිරියට යා යුත්තේ ඒ කාරණය ඉදිරියේ තියාගෙනය. ජවිපෙ රැඳී සිටින නොමගගිය සාමාජිකයා දිනාගතහැක්කේද එවිටය.
මඩට උඩින් කොන්ක්‍රීට් දැම්මට වැඩක් නැත.ජනයාගේ සැකය, දෙගිඩියාව නැතිවෙන පැහැදිලි නිවැරදි පිලිතුරු තර්කානුකූලව, ලිඛිතව දියයුතුය. කටින් කිව්වට ප්‍රතිඵලයක් නැත. ගෙයින් ගෙට යා යුත්තේ ඒ උත්තරත් රැගෙනය. ප්‍රතිපත්ති හා අරමුණු නමැති කොන්ක්‍රීට් බදල අල්ලන්නේ එවිටය. මිනිස්සු හරස් ප්‍රශ්න මූණටම නොඅසන්නේ සැකතැන් අපහැදිලිතැන් නැතිනිසායැයි හිතුවොත් වැරදීම පටන්ගන්නේ එතැනින්ය.
සැක බිය රෝග බීජ රෝපණයකර ව්‍යාප්ත කරපු පරණ මිත්‍රයෝ දැන් සුදනන් සේ තමන්ගේ වැඩකරති.
රෝග විෂබීජ ජනයා තුළ ස්වයංක්‍රීයව ඉතිරී පැතිරී යයි.ඒ නිසා "දැන් මඩ හා අවලාද සුනේ සුන්ය;හැමෝම ගොලුවී ඇත " යැයි සිතීම මුලාවකි.
ඩෙංගු,හිටි හැටියේ හිස ඔසවයි! මාරාන්තිකය.ඩෙංගු වයිරසය ව්‍යාප්තකරන මදුරුවා නොමරා, ඩෙංගු වයිරසය සහමුලින් විනාශකළයුතු පන්නයේ අමුතු දුෂ්කර දේශපාලන අභියෝගයක් පැමිණ ඇත.මේ මුසාවාද දෙසන එකෙක් දෙන්නෙකුට කෙලල දාන එක අදකාලෙ හැටියට අසාර්ථකය. කෙලල දාන්න වෙන්නේ මුසාවාද වෛරසයට පමණි. මදුරුවෝ මරන්න ගියොත් අසූනමය වගේ වෙන්නේය. ආපහු පිටු අටසීයක ස්වයංවිවේචනද ලියන්නට සිදුවෙන්නේය. එහෙම වැඩ කියුබාවේදී හරියට කරපු නිසා කියුබාවේ දැන් ඩෙංගු නැතැයිද කියැවේ.
කුමාරලා එය හරිහැටි සිදුනොකරන්නේ නම් කුමාරට බාහිර ස්වරූපයෙන් සමාන ලෝකයේ සිටින හත්දෙනාගෙන් එක් අයෙකු ලංකාව තුළදී කෙසේ හෝ සොයාගනිමි. එකී "සජීවී ඩමිය" මට ඕනෑ විධියට පුහුණුකර ව්‍යාජ මාධ්‍ය සාකච්ඡාවක් පටිගත-තැටිගත-රූපගතකොට ලොවපුරා බෙදාහරිමි. එහිදී, ජවිපෙ හිටපු ප්රබලයෙකු වූ ප්‍රේම්කුමාර් ගුණරත්නම් ගේ "සජීවී ඩමිය" වෙත මූණුආවරණය කරගත් මාධ්‍යවේදීයෙක් ලෙස මම විශාල ප්‍රශ්න තොගයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන අතර ඉන් එකක් දෙකක් පහත සටහන් කරමි."ඇත්ත කුමාර" වැඩේට නොබැස්සොත් "බොරු කුමාර" සීන් එකට එන්ටර් වෙනවාමය. එය වැළැක්වීමට පොලු මුගුරු රැගෙන කුමාරලාගේ සගයන් මා ලුහුබඳින බවද මම හොඳාකාරව දනිමි.
දැන් ,අටසිල් දසසිල් සමාදම්වී ජවිපෙ මැරයන්ට මෛත්‍රී වඩමින් ජවිපෙන් ඔලුකටු කුඩුකරවාගන්නේ වුවද කුමාරලාගේ කට්ටියත් ගිනි අවි ගිනි කෙළි හොඳට දන්නා කට්ටියකි. දෙගොල්ලම එක මල්ලෙ ලුණුකකා එකට ඉන්නකාලේ එකට එකතුවී වීරවංශලාගේ ඔලු පැලූ හැටිත් මම හොඳින් දනිමි. ඒවා ගැන මේ කට්ටිය ළඟදි අච්චුගහපු ස්වයංවිවේචන පොතේ ලියැවී තිබෙනු මට නොපෙනුනේ නාකි මගේ ඇස් පෙනීම දුර්වල නිසා වියහැක. දෙගොල්ලම අමාරුකාරයෝ නිසා "ඩමිය" හොයන අතරතුරේම හැංගෙන්නටද තැනක් හොයාගතයුතුය.
ඒසඳහා ටික කලක් ගතවිය හැක. අද පටන් දීර්ඝකාලයක් තුළ මා ඔබහමුවට නැවත නොපැමිණියහොත් සුදුවෑන් එකක රූපෙයා යනු දුටුවේයැයි මේ කට්ටිය කියන්නට බොහෝදුරට ඉඩතිබේ.
එය අමූලික බොරුවක් බව කළින්ම ලියාතබමි. ලලිත්ලා-කූගන්ලා-කුමාරලා-දිමුතුලා උස්සන්න පැට්‍රෝල් පිච්චුවට මං වගේ ගම්බයියෙකුට ගෝඨාභය මහත්තයා තෙල් පුච්චන්නේ නැති බව මට හොඳටම ෂුවර්ය.
මට මොකක්හරි අකරතැබ්බයක් වුනොත් ජවිපෙ යාලුවෝ දෙගොල්ලගෙන් කාගෙන්හරි පමණක් බව වගකීමෙන් යුතුව රටටත් ලෝකයටත් ප්‍රසිද්ධියේ පවසමින් අදට නවතිමි. දැන් ප්‍රශ්න කීපයක් අඩංගු මුට්ටියදාල බැලීමට සූදානම්නිසා ඔබේ ආරක්ෂාව පිණිස මගේ ළඟින් වහාම ඈත්වෙන්න.
(1) ජවිපෙ මධ්‍යම කාරකසභාවේ දෙතුන් දෙනෙක් හැර සියලුදෙනා ඝාතනය ට ලක්විය.දේශපාලනමණ්ඩලයේ සියලුමදෙනා ඝාතනය කෙරුණි. එහෙත් සෝමවංශ අමරසිංභ පමණක් දිවිගලවා ගත්තේ කෙසේද?
(2)එය බරපතල සැකයක් ජනිතකරනුයේ සෝමවංශ ඉන්දියානු රහස් ඔත්තු සේවය;රෝ සංවිධානය සමඟ ගනුදෙනු කළබව විවිධ මාධ්‍ය හා ලේඛනයන්හි සටහන්වූ ප්‍රකට කරුණක් නිසාත් එමෙන්ම රෝහණ විජේවීර අසූනවයට පෙර පවා ඉන්දීයානුව්යාප්තවාදයක් ගැන දෙසමින්දැඩි ඉන්දීයාවිරෝධී දේශපාලන ස්ථාවරයක සිටීමත්ය.එබැවින් විජේවීර ඝාතනයට සෝමවංශ පිළිබඳ සැකයක් ජනිතවීම නොවැළැක්විය හැකි කරුණක් බව ඔබ පිළිගන්නේද?
(3)එය වඩාත් තහවුරුවන්නේ ඉන්දියාවෙන් තායිලන්තයට ළඟාවූ සෝමවංශ ආරක්ෂිතව රැගෙනයාමට ඉතාලියේ සිට පැමිණි සගයා සෝමවංශ මුණගැසෙන අවස්ථාවේ සෝමවංශ සමඟ සිටි නාඳුනන ඉන්දියානුවන් දෙදෙනා රෝ නියෝජිතයින් යැයි පවසන්නේ සත්‍යයක්ද?
(4)සෝමවංශ ලංකාවට පැමිණ, කලුතර පැවති රැළියේදී සෝමවංශ විසින් හිටපු අගමැති වී.පී.සිං ට හා ඉන්දියානු රජයට ප්‍රසිද්ධියේ ස්තුතිකිරීම බළලා මල්ලෙන් එළියට පැනීමක්ද?
එවැනි ස්තූතියකට කිසිදු වෙනත් දේශපාලන නිමිත්තක් තිබුනිනම් ඒ කවරේද?
(5)ඉන්දියානු භාණ්ඩ වර්ජනය කරපියව් කියමින් මයිසූර් පරිප්පු විකුණූ අහිංසක වෙළෙඳුන් මරාදැමීමට තීන්දුගත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට දායකවූ සෝමවංශ මෑත භාගයේ ජවිපෙ මන්ත්රීවරුනට ජපන් වාහන එපායැයි පවසා;ඉන්දියාවේ නිෂ්පාදිත ජීප්රථ ගෙන්වීමේ පදනම කුමක්ද?
(6)ඔබ බටහිර ඔත්තුකරුවෙක් බව ජවිපෙ හා වීරවංශ ඇතුලු ජාතිකවාදීහු පවසති.සෝමවංශ රෝ ඔත්තුකරුවෙක් යැයි සැකකරන කරුණු මම මුලින් ඇසූ ප්රශ්නතුළ අඩංගුයි.මේ අනුව පරණ-අලුත් ජවිපෙ දෙකම, භයානක; ගුප්ත සැකකටයුතු, නායකයන් දෙදෙනෙකු විසින් මෙහෙයවන, අහිංසක ජනයා රවටන සංවිධාන දෙකක්යැයි මා යෝජනාකරන අතර ඒ පිළිබඳ ඔබේ පිලිතුර කුමක්ද?
(7) රනිල් වික්‍රමසිංහමහතා බටහිරගැති නායකයෙක් බවට මතයක් ද ඇත.මහින්ද රාජපක්ෂ මහතාට ඉහතකී චෝදනා කිසිවක් අදාළ බව කිසිවෙකුත් නොකියයි.මේ සියලුකරුණු අනුව රටට විශ්වාසය තැබිය හැකි ඔත්තුවෙක් හා ගැත්තෙකුත් නොවන එකම ජනනායකයා මහින්ද රාජපක්ෂ මහතා යැයි ජනතාව තීන්දුකිරීම නිවැරදි නොවේද?
දීපංකො උත්තර!
ඕස්ට්‍රේලියාවේ හැංගිලා ඉඳගෙන මේ ප්‍රශ්න කිහිපය කියවනකොටම "ඇත්ත කුමාර" තක්කු මුක්කුය!
ඒනිසා" බොරු කුමාර" හෙවත් "සජීවී ඩමිය" විසින් දියයුතුයැයි ඔබ හිතන පිලිතුරුද ලියා එව්වොත් රජ ගේමක් ගැසියහැක.
ඇත්ත කුමාර තක්කු මුක්කු වුනාට පසුව ,අනිත් පිලේ "ලාල් අයිය" උත්තරයක් නොදුන්නත් අනිත් පිලේ නායකයන් කියන පල්හෑලි කටපාඩම් කරගෙන ගිරව් වගේ තැන නොතැන නොබලා දොඩවන ජවිපෙ ඉන්න මං වගේ ගම්බයියෙක් හෝ මේවාට පිලිතුරු දියයුතුය.
තවත් මීට වඩා හොඳ ලිඛිත සාක්කි සහිත ප්‍රශ්න පත්‍රයක් රැගෙන ළඟදීම ඔබ හමුවට පැමිණෙමි.
එතෙක් ඔබට නොව, මට..මේ මට,ත්‍රිවිධ රත්නයේ පිහිට රැකවරණය ලැබේවායි සාධුකාරයක් දෙන්න.
සාදු...සාදු..සා...!








Comments
කරුණාකර ඔබ දන්න ා සියලු තොරතුරු මීට වඩා විධිමත්ව පැහැද ිලිව වෙනම ලිපිය ක් ලෙස මෙම වෙබ් අඩවියට ලැබෙන්න ට සැලැස්වීම පාඨ ක අපට පමණක්නොව රටටම දේශපාලනික වැදගත් වේවි.ඔබ බොහෝ තොරතුරු දන්නා අයෙකි.දෙගිඩියාවක් නැත ිව දන්නා සියලුද ේ රටට හෙළිකරන්න .
පෙ.ස. ප.
ඕස්ට්‍රේලියානු කමිටුව.