උතුරු කොරියානු රොකට් යානා සිය රටට ඉහලින් ගමන් කරන්නේ නම් ඒවා විනාශ කරන ලෙස නියෝග කිරිමට සිදුවනු ඇතැයි ජපාන ආරක්ෂක ලේකම් නඕකි තනාකා පවසයි.
පාර්ලිමේන්තු සැසිවාරයකදී ඔහු මේ බව සඳහන් කර තිබේ. මෙය සිය රටේ ආරක්ෂාවට එල්ල වූ තර්ජනයක් බවද පවසන ඔහු වැඩිදුරටත් පවසන්නේ එයට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට ජපානය සූදානම් බවයි. තමන් සතු කේපබල්-3 නැමැති වැඩිදියුණු කළ පේට්‍රියට් මිසයිල ඒ සඳහා යොදවන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
එළඹෙන අප්‍රේල් 12-16 අතර කාලයේදී උතුරු කොරියාවට අයත් උන්හා 3 රොකට්ටුව ආධාරයෙන් ක්වංග්මයෝංග්සොන්ග්-3 නැමැති නිරීක්ෂණ චන්ද්‍රිකාවක් ගුවන් ගතකරන බව පසුගිය සිකුරාදා උතුරුකොරියාව විසින් නිවේදනය කර තිබිණි. අප්‍රේල් 15 දිනට යෙදෙන එරට හිටපු නායක කිම් ඉල් සුංගේ ජන්ම දිනය නිමිතිකරගනිමින් මෙම රොකට්ටුව ගුවන් ගතකිරිමට උතුරු කොරියාව කටයුතු කර තිබිණි.
අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල තාක්ෂණය අත්හදාබැලීම සඳහා මෙම ගුවන් ගතකිරීම යොදාගනු ඇතැයි ඇමරිකාව, දකුණු කොරියාව සහ ජපානය සැක පහළකරයි.
න්‍යෂ්ටික අවි සම්බන්ධ සියලු පරීක්ෂණ නවතා දමන බවට උතුරු කොරියාව පසුගිය පෙබරවාරි 29දා ඇමරිකාව සමඟ එකඟතාවයකට එළඹී තිබිණි. ඒ අනුව එරටට ආහාර ආධාර ටොන් 2,40,000ක් සැපයීමටද එම ගිවිසුමෙන් ඇමරිකාව එකඟ වී තිබිණි.







