ජූලම්පිටියෙ අමෙරෙ නිසා ජවිපෙ ගොඩයයි! ආණ්ඩුව අංගොඩ යයි! පැවසූ ඇමතිතුමා හමුවීමට මම අංගොඩට ගියෙමි.
"බලපං රූපෙ, අපි ලංකාවෙ වමේ ව්‍යාපාරය නැතිභංග කොරන්න පාතාලෙ යොදාගන්න හුරුබුහුටි විධිය!
මොකක්ද ඇත්තටම උඹට ඒ ගැන හිතෙන්නෙ"?
" මොකක් හිතෙන්නද ඇමතිතුමා !ඔහේලගෙ ආණ්ඩුවට වැඩිකල් ඔය මැරකම්වලින් රජ කරන්න බෑ තේරුනාද?
"ආණ්ඩුව, මැරකම් කළත් නොකළත් අවුරුදු හතර පහක් ආණ්ඩුවක් කරගෙන යනකොට හැම ආණ්ඩුවටම විරුද්ධව මෙහෙම විරෝධයක් මතුවෙනව බං..ඒක මේ සිස්ටම් එකේ අවුලක්නේ රූපෙ, අන්තිමේ තිබිච්ච ආණ්ඩුව පෙරළල අලුත් ආණ්ඩුවක් බලයට එනව..හැමදාම වුනේ ඕක නොවැ.උඹලගෙ jvp එකේ පංති පහෙන් ඉස්සරවෙලාම ඉගැන්නුවෙ ඔය ආර්ථික අර්බුදේ ගැන නොවැ ....මොකද දැං ඒව උඹට මතක නැද්ද"?
"ඒ වුනාට ඇමතිතුමා ජනතාව ඒ කාලෙ ආණ්ඩුපෙරළි මාරුවෙන් මාරුවට කෙරුවෙ බඩ ගැන හිතල නොවැ,
හඳෙන් හාල් ! ධාන්‍ය රාත්තල් අටක් !
මේ කුසේ ගින්දර හැම ගින්දරටම වඩා බලගතුයි නොවැ ඇමතිතුමා.ඒත් පහුගියකාලෙ බඩට වඩා රට ගැන හිතන්න කියල පොළඹවපු නිසා රට ගැන හිතල මිනිස්සු හැම අමාරුකමක් ම විඳගෙන හිටිය ඇමතිතුමාලට මතකනැද්ද"?
"ඒක තමයි බං හෙණේට හිටියෙ,දැං දැං මිනිස්සුන්ට තේරෙන්න අරගෙන නොවැ බඩ නම් උන්ගෙ වුනාට රට උන්ගෙ නොවෙයි කියල"
"ඉතිං එහෙම තියෙද් දි මේ වගේ මැරකම් කරන එක ආණ්ඩුවට අවාසියක් නේද ඇමතිතුමා"?
"ඒ වුනාට බඩගින්නට වඩා මරණබිය බලවත් නොවැ රූපෙ..මොක කොරන්නත් ජීවිතේ රැකිල තියෙන්න ඕන නේ..ඒක නිසා අපි මිනිස්සුන්ගෙ බඩගින්න යටපත් වෙන්න මරණ තර්ජනේ දානව"
ඇමතියාට පිස්සු තද වෙලාය!
" මේකයි රූපෙ රහස; ආණ්ඩුවට අවාසි වුනාට ඊට වැඩිය අවාසියි වාමාංශිකයො එකතුවෙලා බඩේ ගින්දරට සැබෑ හේතු ජනතාවට පෙන්නල ආණ්ඩුවයි රාජ්‍යයයි දෙකම පෙරළාදමල වම බලයට ආවොත්..ජනතාවගේ කියපු රට අඩුගානෙ ධනපති පංතියටවත් අයිතිනැති රටක්ය,පවුලකට විතරක් අයිති රටක්ය කියල මිනිස්සුන්ට තේරුනොත්..මොකද වෙන්නෙ.අන්න ඒක වළක්වන්න නම් වමයි දකුණයි කලවම් කරපු ආණ්ඩු විරෝධී පෙරමුණක් හැදෙන්න ඕන ..අන්න ඒ කළවම් පෙරමුණ ගොඩ නැගීමට පොළඹවන්න තමයි අපි මේ මැරප්‍රහාර, මරණ තර්ජන කරන්නෙ..තේරුනාද රූපෙ"?
ඒ කියන්නෙ ආණ්ඩුවට විරුද්ධ බලගතු දේශපාලන පෙරමුණක් හදන්න ආණ්ඩුව උදව්කරනව!! කිසිසේත්ම විශ්වාස කළ නොහැක.මේ ඇමතිතුමා අංගොඩ පැමිණීම පිළිබඳ දැන්නම් මා පුදුම නොවිය යුතුය.
"jvp එක ධනපති පක්ෂ එක්ක පෙරමුණු ගැහිල්ල ට විරුද්ධව ලොකු සටනක්දීල අලුත් පක්ෂයක් හදපු ජනඅරගල පෙරටුගාමියො තමයි බං මේ වැඩේට ලොකුම බාධාව..ඒක නිසා අපි දැන් ඒ පක්ෂෙ එවුන් උස්සන එක නවත්වල ඒ අයට හිතවත් පුද්ගලයොන්ටත් මරණ තර්ජන මැර ප්‍රහාර පටන්ගගත්ත"
"මට තේරුනේ නෑ ඇමතිතුමා"!
"මේ අහපං...යුද්දෙ දිනුවම අපි ප්ලෑන් කරේ තව අවුරුදු තිහ හතළිහක් දිගටම ආණ්ඩු කරන්න නොවැ රූපෙ..දැන් මේ ආර්ථික අර්බුදයද මොන මඟුලක් ද ඇවිත් ඔක්කොම චක බ්ලාස් බං!මේවට හැබෑ හේතුව ජනතාවට කියල දෙන්න සූදානම් වෙන්නෙ ඔය ජනඅරගල පෙරටුගාමියො..එහෙම වුනොත් අපේ කටෙත් පස්!යූඇන්පියෙ කටෙත් පස් !අපේ සිස්ටම් එකත් එතැනින්ම ඉවරවෙනව.දැන් අපේ උපායමාර්ගය දියත්කරන්නෙ ආණ්ඩුව රැකගැනීමට විතරක් නොවෙයි..ක්‍රමය:සිස්ටම් එක රැකගැනීමට තේරුනාද රූපෙ ,ආණ්ඩුවට කෙළවිලා ගියත් කොහොමහරි සිස්ටම් එක: ක්‍රමය රැකගන්න ඕන..ක්‍රමය රැකුනොත් ඊළඟ චාන්ස් එක හරි අපට තියෙනවනේ බං"
"එතකොට ඔය නිර්මාල් රංජිත් මහත්තයට මරණ තර්ජනේ දාන්නෙත් ඒ අරමුණු දෙකෙන්මද ඇමතිතුමා"?
"නැතුව...! නැතුව...! එතකොට ඔය සෙට් එක බයවෙලා වර්ජන අකුලගත්තොත් ආණ්ඩුවට වාසියි!
එහෙම නැතුව ඔය හැමෝම, එජාප;පෙසප;ජවිපෙ;නසසප...එකී-නොකී සියලුදෙනාම එකතුවෙලා ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න එකම පෙරමුණකට ආවොත් අපේ සිස්ටම් එකට වාසියි"!
"ඒකෙන් කොහොමද සිස්ටම් එකට වාසිවෙන්නෙ ඇමතිතුමා?ඒක ඔබතුමාලට ලොකු අභියෝගයක් නොවැ"!
"අපට; ආණ්ඩුවට අභියෝගයක් බව ඇත්ත බං..ඒත් ඔය පෙරමුණු අන්තිමට නවතින්නෙ මැතිවරණපෙරමුණු වෙලා නොවැ...එතකොට කොලපාට;රතුපාට;ලාරතුපාට;තදරතුපාට;දම්පාට;රෝසපාට;කහපාට;අපේ ගිලෙන නැවෙන් පනින නිල්පාට එවුනුත් එකතුකරගෙන අලුත් ආණ්ඩුවක් හදනව..ඒ ආණ්ඩුව මේ සිස්ටම්එක දිගටම රැකගෙන යනව..."
"එතකොට දැන් ජනතාවට අහිමිවෙලා තියෙන ප්‍රජාතන්ත්‍රෙ එදාට ලැබෙනව ද ඇමතිතුමා"?
"බලේට එන එවුන්ට ඔක්කොම ලැබෙනව..පැරදුන අපටත් උන්ට ලැබෙන සියල්ල අඩුවක් නැතිවලැබෙනව..
උඹලට ඒ වෙනුවට නැවත බඩගින්න සමඟ මරණතර්ජන එනව"
"ඒක, මාර අසාධාරණයක් නේ ඇමතිතුමා!?
"නෑ...නෑ...රූපෙ,උඹලට එහෙම අසාධාරණයක් වෙන්න පැරදුනු අපි ඉඩතියන්නෙ නෑ ..එදාට තියෙන ආණ්ඩුවෙන් කෙනෙහෙලිකම් සිද්ධවෙන පක්ෂනායකයොත් එකතුකරගෙන ජනතාවගෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපිත් අලුත් පෙරමුණක් හදල උඹලගෙ ඡන්දෙන් නැවත අපි බලේට එනව..
මේ නොලැබෙන ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් සියලු පාට-පක්ෂ-භේද අත්හැරල අද වගේම එදාටත් උඹල දිවිනොතකා සටන්කරනව..
ලංකාව පවතින තුරා ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමට යැයි කියමින් මේ මගෝඩි වැඩේ තට්ටුමාරුවට කෙරීගෙන යනව..සංසාර චක්‍රය වගේ මේකත් මාරුවෙන් මාරුවට කැරකෙනව...සිස්ටම් එක නිරුපද්‍රිතව සුවසේ පවතිනව"
අංගොඩ ඉන්න ඕනෑ අපි නොවැ...! මේ මනුස්සයා මොකට ආවද අංගොඩ? අම්මප මුගේ මොළේ තමයි මොළේ!!
"ඒක නොවෙයි ඇමතිතුමා...දැන් ඔය jvp එකෙන් වමේ පෙරමුණකි, ෆොන්සේකල; හේමකුමාරල; සජිත් මහත්තුරු වෙනත් පෙරමුණකි හැදෙන්න ඉඩක් නැද්ද"?
"කොහොම වෙන වෙනම පෙරමුණු හැදුවත් ආණ්ඩු පිහිටුවන්න දෙගොල්ලට එකතුවෙන්න සිද්ධවෙනවමයි රූපෙ...හේතුව,සමානුපාතෙ ප්‍රතිඵල!!අනෙක උඹ හිතුවද අපි බිංදුවට වැටෙයි කියල..අපිටත් දසලක්ෂගණනින් ඡන්ද වැටෙනව නොවැ".
"මට පේන්නෙ -සතුරා ප්‍රජාතන්ත්‍රවාදය යි- කියල කවුදෝ උගත් මහත්තයෙක් කියපු කතාව ඇත්ත වේගෙන එනව වගේ ඇමතිතුමා "
"නෑ..නෑ..එහෙමමත් නොවෙයි රූපෙ..ඔය ප්‍රජාතන්තරෙත් විවිධ ප්‍රභේද තියෙනව නොවැ..ඔය දැන් කුමාර් ගුණරත්නම් ළඟදි පත්තරේකට කියල තිබුනෙත් මේ අපේ උපක්‍රමයට ; සමාජ ප්‍රජාතන්ත්‍රවාදී උගුලට අහුනොවී සමාජවාදයට පන්තිය පෙළගැස්සවිය යුතුය කියල; උඹ ඒක දැක්කද?මේ ජනඅරගල පෙරටුගාමියො මාර හෙණයක් බං අපේ ලයින් එකට.
දැං බලපං jvp එක තදරතු පාටට ඉඳල ඉඳල,පරිවාස හරහා සභාග ආණ්ඩු හැදුව විතරයි හරියට මත්කුඩු ගැහුව වගේ පෙරමුණු ගැහිල්ලට ඇඩික් වුනා නොවැ!
දැං අධිරාජ්‍යවාදෙටයි, ජූලම්පිටියෙ අමරයටයි සබ්බසකෝලෙටම විරුද්ධව දිගට හරහට පෙරමුණු ගහගෙන ගහගෙන යන හැටි බලපංකො.දැං JVP එක වීරවංශල-චම්පිකල වුනත් එකපෙරමුණකට එකතුකරගන්න පල්ලම්බැහැල මුට්ටියදාල බලන්නෙ ඒක නොවැ.
කොහොමහරි ජනඅරගල පෙරටුගාමීන්ටත් මරණ තර්ජනේ දාල මැර ප්‍රහාර දෙක තුනක් දුන්නනම් ඒ කට්ටියත් අර ගොඩටම තල්ලුකරන්න බැරිවේද රූපෙ?
ඇමතියා මගෙන් අහන්නෙ බෙල්ල ගහල යන ප්‍රශ්න නොවැ. කතාව වෙන පැත්තකට හරවා මගහැරිය යුතුය.
"ඒක නොවෙයි ඇමතිතුමා...ඇත්තටම මොකද මේ අපේ රටේ මිනිස්සු, පක්ෂ නායකයො, සංවිධාන හැමෝම ජූලම්පිටියෙ අමරෙයට මේ තරම් විරෝධයක්?
මූ විතරද දේශපාලන ඝාතන කෙරුවෙ? මේ වගේ දෙයක් ලංකාවේ සිද්ධවුනේ පළමුවන වතාවටද?
මේ වගේ අපරාධවලට රජයේ නීතිය ඉදිරියේ වගේම ජනතා අධිකරණය ඉදිරියේ චෝදනාලබපු වරදකරුවො වෙච්ච කී දෙනෙක් මේ රටේ මිනිස්සු විසින්ම වැඩිම මනාපෙන් රජ කරවල තියෙනවද?ඇයි මේ අමරෙට විතරක් මේ වෛරී විරෝධය"?
මගේ පැනයට ඇමතිතුමා බර කල්පනාවකය.
"ඕක ගැඹුරු සමාජ මනෝවිද්‍යාත්මක ප්‍රශ්නයක් රූපෙ..අපි පස්සෙ වෙලාවක ඕක ඇනලයිස් කරමු.
කෝකටත් උඹ මේ දවස්වල ඔය ප්‍රශ්නෙ මතුකරන්න යන්න එපා රූපෙ.ඒක උඹේ සරීර සෞඛ්‍යයට ඒ තරම් හොඳ මදි.
උඹත් ආණ්ඩුවට යටින් සපෝට් කරන අමරෙගෙ හිතවතෙක් කියල සැක හිතන්න පුලුවන්තේරුනා ද?
"ඉතිං දෙයිහාමුදුරුවනේ මං මේ අහන්නෙ මගේ ඔලුවට-පපුවට දැනෙන පැනයක් නොවැ ඇමතිතුමා..ඒකෙන් කොහොමද මං ආණ්ඩුව ට පක්ෂයි කියල කවුරුහරි කියන්නෙ"?
"මේ අහපං රූපෙ උඹ ඇත්ත කියනව කියල උඹ හිතුවට රටේ ලෝකෙ මිනිස්සු උඹේ දිහා වපරඇහෙන් බලන්න ගන්නව ඔය කතාවට"
"මිනිස්සු මේ සිද්ධියට කුපිතවෙලා ,කුපිතකරවල ඉන්නෙ රූපෙ .මිනිස්සු ඇත්තටම කුපිතවෙන්න ඕන,කුපිතකරවන්න ඕන, මේ සමාජක්‍රමයත් එක්ක.හේතුව නසන්නෙ නැතිව ප්‍රතිඵලය නසන්න බෑ කියල බුදුබණෙත් තියෙනව නොවැ රූපෙ..ඒත් දැන් ඔක්කොම කණපිට..
මිනිස්සු ඇත්තටම කුපිතවෙන්න ඕන ආණ්ඩුවෙ මැරකම් පවුල්වාදෙත් එක්ක...දුමින්ද සිල්වල-මර්වින් සිල්වල ගෙ මැරකම් එක්ක..නාලන්ද එල්ලාවලල..ත්‍රිමාවිතාණල මරපු එවුන් එක්ක..භාරත ලක්ෂ්මන්ල මරපු එවුන් එක්ක..උඩතලවින්නෙ මුස්ලිම් තරුණයො දහදෙනා එකතැන මරපු එවුන් එක්ක...කෝටි ගණන් කලු සල්ලි-මුදල් සේප්පුවල හංගගෙන හිටපු එවුන් එක්ක..කෝප් වාර්තාවලින් හෙළිදරව්වෙච්ච රට කාපු හොරුත් එක්ක..හැත්තෑ ගණන්වල වගේම අදත් කන්‍යාවියන් ට රැකියා දීමට උසස්වීම් දීමට රෙස්ට්හවුස් වලදි පත්වීම් දීපු රජවරුත් එක්ක..තේරුනාද?මේ ලිස්ට් එකේ ඉතිරි ටික උඹම ලියාගනිං.
මිනිස්සු යටපත් කරගෙන ඉන්න අන්න ඒ සියලු තරහ-මරහ දැන් පිටවෙන්නෙ අමරෙගෙ පිටින්!පහත් තැනින් යයි ගලා ජලේ"!!
"අද ප්‍රභූවරු විධියට වැජඹෙන ;මැති-ඇමති-නිලධාරි බොහෝදෙනා මිනීමරුවො,සල්ලාලයො,
ස්ත්‍රීදූෂකයො,රාජ්‍යදේපළ හොරා කාපු අමනයන් බව දැන දැනම අමනයන් ඉදිරියේ සර්..බඃර්..කියල දෙකට තුනට නැවෙන නිවට ජනමනයො හැමෝම අද ඒකට පලිගන්නෙ ජූලම්පිටියෙ අමරෙගෙන්"!
"කොටින්ම කියතොත් ඉහත කී දූෂිතයන් අමනයන් මිනීමරුවන් රජ කරවා උන් සමඟ සභාග ආණ්ඩු-පෙරමුණු හදපු ඒ මදිවට -මතුපිටින් පෙනෙනදේ සත්‍යයනම් විද්‍යාවක් අවශ්‍යනොවේ- යැයි කියපු මාක්ස්වාදී යැයි කියන jvp එකෙත් අංක එකේ හතුර අමරෙය!!මේ දූෂිත සමාජ ක්‍රමයේම අතුරු ඵලයක් වූ අමරෙය!!
ඇමතිතුමා ලිඛිත භාෂාවෙන් නොනවත්වා කතාකරන මහහඬට හෙදනිළධාරියෙක් විපරමින් බලයි.
"ඊට අමතරව අමරෙගෙ පාදඩ පෙනුම;දේහස්වරූපෙ;පංති පදනම;ඉහළ සමාජ පංතියකට අයිති නොවීම වැනි හේතු මේ වෛරී විරෝධයට හේතුවක් නොවෙයි ද ඇමතිතුමනි"?
ඇමතිගෙන් උත්තරයක් ලැබෙන්නට පෙර බෙහෙත් බීමට සූදානම් වනලෙස ඇමතිට දැනුම්දුනි.
රටපුරා ගිහිපු මම;මහ කැලෑ මැද දුක් විඳිමින් හැංගිලා හිටිය මම;හිරගෙවල් තුන හතරක ගිය මම;කටු නැති ගහේ යන්නට පෙර යා යුතු අංගොඩට පමණි!
සුභ සහ යස ක්‍රමයට වෙස්මාරුකරගෙන ඇමතිතුමා රට පාලනය සඳහා මුදා හැර ඔහුට නියමිත බෙහෙත් පෙති-කරල් සියල්ල ගිලදමා මම ඇඳේ ඇලවුනෙමි.මා දැන් අංගොඩය!
"මොළේ හොඳ" මිනිසුන් අංගොඩ සිටින අතර අංගොඩ පැමිණිය යුතු ජනමනයා එළියේ සිටීම රූපෙට නතරකළ නොහැක.
අමරෙය බාරවුනාට පස්සෙ ඉතිරි එවුනුත් බාරවෙනකම් ජවිපෙ සටනේය..මේ විධියට පාතාලමැරකම්;ගණිකා නිවාස;මත්කුඩු ජාවාරම් සියලු සමාජ දුර්ගුණ උද්ඝෝෂණ හරහා ධනපති ආණ්ඩුවට බලපෑම් කිරීමෙන් නතරකළහැක...උසාවි යෑමෙන් නතරකළහැක. මේ සෙප්පඩ විජ්ජා සංදර්ශන දේශපාලනය කරන්නේ මාක්ස්වාදී යැයි කියාගන්නා මගේ ජීවතුන් අතර සිටින පරණ ජවිපෙ මිත්‍රයෝය.එහෙත් මා වගකියන්නේ අපගේ හෙට දවස වෙනුවෙන් දිවිපිදූ ජවිපෙ සගයින් ඇතුලු සියලුම මිනිසුන්ටය."ධරුම රාජ්ජය "ධනපති ක්‍රමය තුළ දැන් ගොඩනගන්නේ "මාක්ස්වාදී ජවිපෙ" ය.මට ඒ රාජ්ජය අහිමිය.මා දැන් අංගොඩය.
මෙවැනි ඇමතිවරයකු අංගොඩ නවතා මිනීමරුවෝ,සල්ලාලයෝ,දූෂිතයෝ රට පාලනය කරද්දී;අමෙරෙයලා සියලු වැරදිවලට හේතුවසේ සලකා හිරගෙට යද්දී මං විතරක් මේ පිස්සු ජනමනයා සමඟ එළියේ සිටින්නේ කුමකට ද?
මට සුදුසු තැන අංගොඩය!අංගොඩින් ටිකට් කපනතුරු නැවත ලිවීම සුදුසු නැත.අසාසිටි- කියවූ ඔබ සැමට ස්තූතිය.







Comments