ජුනි 06 වැනිදා දිවයින පුවත්පත ‘සම්බන්දන්, පොළොවට බහින්න’ නමින් කතුවැකියක් පළකර තිබිණි. දිවයින කතුවරයා හෝ කතුවැකිය ලියන ලේඛකයා බෙහෙවින් කලබල වී ඇත්තේ සම්බන්දන් යළි කතා කිරීමට පටන් ගැනීම ගැනය. කතුවැකියේ විවේචනයට හසුවී තිබෙන්නේ මඩකලපුවේදී පැවැත්වුණු ඉලංගෙයි තමිල් අරසුකච්චි 14 වැනි පක්ෂ සම්මේලනයේදී ආර්. සම්බන්දන් පැවැත්වූ කතාවයි. යුද සමයේ යුද අපරාධ සිදුවූ බවට වන යෝජනාවක් එම සම්මේලනයේදී සම්මත කරගත් අතර සම්බන්දන්ගේ කතාවේ ද ඒ පිළිබඳ අදහස් අඩංගු විය. ආණ්ඩු හිතවාදී මාධ්‍යකරුවන් යළිත් වරක් සිංහල-දෙමළ ප‍්‍රතිවිරෝධයක් ඇවිස්සීමට උත්සාහ කරන අතර ආණ්ඩුවේ කථිකයන් --කොටි එනවෝ” කියා කෑගැසීම ආරම්භ කර ඇත. සම්බන්දන් පමණක් නොව හැමදෙනාම පොළොවට බැස ප‍්‍රශ්නය දෙස විචාරශීලීව බැලිය යුතු වේ. සම්බන්දන් ඇතුළු දෙමළ ජාතික සන්ධානය යළි කතා කිරීම ඇරඹීම ද ආණ්ඩුව --කොටි එනවෝ” කියමින් සිංහල ජාතිවාදය ඔසවාලීමට තැත්කිරීම ද පසුපස ඇති සාධක ගැඹුරෙන් විමසා බැලිය යුතුය.
ආර්ථිකය ඝාතනය වීම
ආර්ථිකය දිනෙන් දින බිඳවැටෙමින් තිබේ. සැබැවින්ම කිවහොත් ආර්ථිකය පණ අදිමින් සිටී. නිෂ්පාදනය පහළ යාම නිසා අපනයන අඩුවී ඇත. ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අලූත්ම වාර්තාවට අනුව 2012 මාර්තු මාසයේදී සමස්ත අපනයන 10.2%කින් පහත වැටී ඇත. කාර්මික අපනයන 10.9%කින් ද ඇඟලූම් අපනයන 11.7%කින් ද කෘෂිකාර්මික අපනයන 10.1%කින් ද තේ අපනයනය 6.3%කින් ද පහළ ගොස් ඇත. මාර්තු මාසය තුළ ආනයන 3.9%කින් වර්ධනය වී ඇති අතර වසරේ මුල් කාර්තුව තුළ ආනයන වර්ධනය 17%කි. මෙහි ප‍්‍රතිඵලය වී ඇත්තේ ආදායම් අඩුවී වියදම වැඩිවීම නිසා වෙළෙඳ ශේෂය 22.5%කින් වර්ධනය වීමයි. මේ කරුණු මෙලෙස සිදුවන අතර මෙම ආර්ථික බිඳවැටීමේ ප‍්‍රතිඵල සාමාන්‍ය ජනතාවට දැනීම ආරම්භ වී ඇත. පසුගිය මැයි මාසයේ උද්ධමනය අපේ‍්‍රල් මාසයට වඩා වැඩිවූ අතර 2011 මැයි මාසයට සාපේක්ෂව මෙම මැයි මාසයේ උද්ධමනය ඉහළයාම 7%කි. ආහාර ද්‍රව්‍ය මිල 2.5%කින් ද ආහාර නොවන භාණ්ඩවල මිල 0.6%කින් ද මැයි මාසය තුළ ඉහළ ගිය බව පවසන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඇඳුම්, නිවාස කුලී, ජලය, විදුලිය, ගෑස්, ප‍්‍රවාහන වියදම්, අධ්‍යාපන වියදම් ආදිය අඛණ්ඩව ඉහළ යන බව පවසා ඇත. මෙහි අරුත වනුයේ අන්කිසිවක් නොව ජනතාවට ජීවත්වීම සඳහා ඇති හැකියාව දිනෙන් දින අඩුවී ජීවිතය වඩ වඩාත් දුෂ්කර වන බවය.
රුපියල බිඳවැටීම වැළැක්වීම සඳහා ආණ්ඩුව ආනයන සීමා පනවමින්, ඩොලර් සංචිත මුදාහරිමින්, මූල්‍ය රෙගුලාසි අලූතින් පනවමින්, මූල්‍ය අරමුදලෙන් ණය ගනිමින් ආදී වශයෙන් කළ සියලූ උත්සාහයන් ව්‍යර්ථ කරමින් රුපියලේ අගය භයානක ලෙස අවප‍්‍රමාණය වී තිබේ. රුපියලේ අගය ඩොලරයකට රුපියල් 125 සීමාවේ පවත්වාගත හැකි බවට මහ බැංකුව පුරසාරම් දොඩා සතියක් ඉක්ම යන විට, එනම් ජුනි 06 වැනි දින ඩොලරයක අගය සටහන් වී තිබුණේ රුපියල් 132.53ක් ලෙසිනි. රුපියල අවප‍්‍රමාණය වීම නිසාත් අධික ලෙස බදුබර පැටවීම නිසාත් බඩු මිල වැඩිවනවාට අමතරව ආණ්ඩුව සමාගම්වල ඉල්ලීම්වලට ඉඩදීමෙන් ද බඩු මිල වැඩිකරයි. මෙය ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාට පසුව අලියකුට පෑගුණා වැනි තත්වයකි. පසුගිය කාලය තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තුන්වරක්ම අඩුවූ පසුත් ආණ්ඩුව අයි. ඕ.සී. සමාගමට ඉන්ධන මිල ඉහළ නැංවීමට අවසර දුන්නේය. ඉකුත් මැයි 31 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට අයි. ඕ.සී. සමාගම ඞීසල් ලීටරයක මිල රුපියල් දෙකකින් ඉහළ දැම්මේය. නමුත් 2012 මාර්තුවේ සිට මැයි වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල 20%කින් පහත වැටී තිබිණි. ජුනි 01 වැනිදා වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 86.53 දක්වා පහත වැටී තිබිණි. එය 2011 ඔක්තෝබර් 04 වැනිදායින් පසු වාර්තා වූ පහළම අගයයි. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවන පමාවෙන් ලංකාවේ ද මිල වැඩිකරන ආණ්ඩුව එය පහත වැටෙන විට මිල අඩු කරන්නේ නැත. ගෑස්වල තත්වය ද මෙසේය. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අඩුවන තත්වයක් තුළ මෙරට ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් ඉහළ දමනු ලැබීය. ඊට හේතුව ලෙස ඉදිරිපත් කළේ සමාගම පාඩු ලබන බවය. නමුත් ප‍්‍රධාන පෙළේ ගෑස් සමාගමක් වන ලාෆ්ස් සමාගම මාර්තු මාසයෙන් අවසන් වූ මාස හය තුළ රුපියල් මිලියන 639ක ලාභයක් වාර්තා කළ අතර එය 2011 අදාළ කාලයට සාපේක්ෂව 15%ක වැඩිවීමකි. සමාගම එසේ ලාභ ලබද්දීත් ලෝක වෙළෙඳපොළේ මිල පහළ යද්දීත් බර පැටවෙන්නේ ජනතාවටය.
මේ ප‍්‍රතිපත්තිය යටතේ ආර්ථිකය බිඳවැටෙන බවත් ජනතාවගේ ජීවන තත්වයන් පහළ වැටෙන බවත් ඉතා පැහැදිලිය. ආණ්ඩුවට නිෂ්පාදනය ඉහළ නැංවිය නොහැකිවාක් මෙන්ම ජනතාවට ජීවිතයක් ලබාදීම ද කළ නොහැකි බව ඔප්පු වී ඇත. මේ තත්වය යටතේ කළ හැක්කේ එක්කෝ ආර්ථික දේශපේ‍්‍රමයක් ඉහළට එසවීමයි. නැතිනම් සිංහල - දෙමළ සමාජයන් අතර ප‍්‍රතිවිරෝධතා තවදුරටත් අවුළුවා සැබෑ ප‍්‍රශ්නය යටගැසීමයි. විමල් වීරවංශලා ආර්ථික ඝාතකයන් ගැනත් ලංකාවේ ආර්ථිකය බිඳදමන අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණ ගැනත් කෑමොර දෙන්නේ ඒ නිසාය. නලින් ද සිල්වලා, ගුණදාස අමරසේකරලා මෙන්ම ජාතිවාදී මාධ්‍ය නියෝජනය කරන මනෝජ් අබේධීරලා ආදීන් එල්.ටී.ටී.ඊ.යේ පුනරාගමනයක් ගැන කියමින් පත්තර පිටු පුරවන්නේ ඒ නිසාය. පවතින ආර්ථික බිඳවැටීම ඉදිරියේ ආණ්ඩුවට නුදුරු අනාගතයේදී දේශපාලනය කරන්නට සිදුවන්නේ ජනතාවගේ අතෘප්තිය හා අසහනය සමගය. කලකිරීම හා අපේක්ෂා භංගත්වය සමගය. එම දුෂ්කර තත්වය මගහරවා ගැනීමට ආණ්ඩුවට ‘කොටියකු’ උවමනා කර තිබේ. එහෙත් දැන් ප‍්‍රභාකරන් නැත. සම්බන්දන්ව කොටියාට අන්දවන්නට උත්සාහ කරන්නේ ඒ නිසාය. සිංහල ජාතිවාදයට රාජ්‍ය අනුග‍්‍රහය දෙන්නේ ඒ නිසාය.
දෙමළ ජාතිවාදය පෙරට ඒම
යුද්ධය අවසාන වීමෙන් පසු දෙමළ ජාතික සන්ධානය සිටියේ නිශ්ශබ්දවය. ඔවුන්ට පසුබිමෙහි තිබුණේ පරාජය කරනු ලැබ අවමානයට හා අයුක්තියට පාත‍්‍ර කරවනු ලැබූ සමාජයකි. පසුගිය කාලයේ දෙමළ ජාතික සන්ධානය ස්වයංනිර්ණ අයිතිය, නිජබිම් සංකල්පය ආදිය ගැන කෙසේ වෙතත් අවම වශයෙන් උතුරේ මිලිටරිකරණය ඉවත් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, රඳවාගෙන සිටින්නන්ගේ නම් හෙළිකිරීම, බලහත්කාරයෙන් උදුරාගත් දේපළ යළි පැවරීම ආදී අවම මූලික ඉල්ලීම් ගැන පවා කතා කළේ නැත. යුද්ධය නිමාවී වසර තුනක් ගතවිය. දිවයින පුවත්පතේ කතුවරයා බියපත් කරමින් ඔවුන් කතා කිරීම අරඹා තිබෙන්නේ වසර තුනකට පසුවය. සම්බන්දන්ලා කතා කිරීම ගැන සාකච්ඡා කරන විට ඒ කතාවලට හේතුවූ ආණ්ඩුවේ කෙරුවාව ගැන ද සාකච්ඡා කළ යුතුය. ගෙවුණු වසර තුන තුළ ප‍්‍රතිසන්ධානයක් සඳහා ආණ්ඩුව ගත් පියවර කුමක්ද? ආණ්ඩුව කළ වැඩවලින් සිදුවූයේ සිංහල හා දෙමළ සමාජ අතර පාලමක් ගොඩනැඟීමද? එසේත් නැතිනම් ඒවා අතර පරතරය තවත් වැඩි වීමද? මේ ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුතුය.
ආණ්ඩුව ප‍්‍රතිසන්ධානය සඳහා අවශ්‍ය අවම පියවර පවා සම්පූර්ණ නොකිරීමේ ප‍්‍රතිඵලය වී ඇත්තේ ආනන්ද සංගරී වැනි මුලින් ආණ්ඩුවට සුබපැතූ දෙමළ නායකයන් පවා ආණ්ඩුවේ විවේචකයන් බවට පත්වීමයි. දෙමළ ජාතික සන්ධානය යළි කතා කිරීම ඇරඹීමයි. ඒ කතා තුළ යුද අපරාධ ගැන පවා සාකච්ඡා වීමයි. ගෙවී ගිය කාලය තුළ දෙමළ ජාතික සන්ධානය මුළුමනින්ම පාහේ නියෝජනය කළේ දෙමළ ප‍්‍රභූතන්ත‍්‍රයේ බල උවමනාවන්ය. එහිදී ඔවුන් දෙමළ ජාතිවාදය දිශාවට ඇදී ගියේ ද අවම වශයෙනි. දෙමළ ජාතික සන්ධානය ජාතිකවාදී කොටස්වල විවේචනයට ද බඳුන් විය. ඔවුන් පළාත් සභාවලට වැඩිපුර බලය බෙදාහැරීම, ව්‍යවස්ථාවේ සිදුකරන ප‍්‍රතිසංස්කරණ වැනි ‘දේශපාලන විද්‍යාත්මක’ සහ ‘සම්භාව්‍ය’ මාතෘකා ගැන කතා කළා මිස උතුරේ දෙමළ ජනතාවගේ දෛනික දැවෙන ප‍්‍රශ්නවත් ඔවුන්ගේ විෂය පථයට හසුවූයේ නැත. නමුත් දැන් ආණ්ඩුව සිංහල ජාතිවාදය මත පදනම් වෙමින් සිදුකරන ක‍්‍රියාකාරීත්වයන් නිසා ඔවුන් ද ක‍්‍රමානුකූලව දෙමළ ජාතිවාදය වෙත තල්ලූ වෙමින් සිටී. ත‍්‍රස්තවාදයට හේතුව දෙමළ වර්ගවාදය යැයි දිවයින පුවත්පතේ ලිපියක සඳහන් වන විට අපට කියන්නට ඇත්තේ දෙමළ වර්ගවාදයට හේතුව සිංහල වර්ගවාදය බවයි. දෙමළ වර්ගවාදය යනු සිංහල වර්ගවාදයට දක්වන ප‍්‍රතිචාරයක් බවයි. කෙසේ වෙතත් ආණ්ඩුවේ මුග්ධ ක‍්‍රියාවන් නිසා දෙපසේම ජාතිවාදී වෛරයේ ගිනි පුලිඟු යළි දැල්වෙමින් තිබේ.
එක් අතකට මේ සිදුවෙමින් පවතින්නේ අතීතයම යළි ප‍්‍රතිනිර්මාණය වීමකි. 1980 දශකයේ මැදභාගයේදී සාපේක්ෂව හෝ ප‍්‍රගතිශීලී අදහස් දැරූ අනෙක් කණ්ඩායම් විනාශ කර දෙමළ ජන සමාජයේ විශ්වාසය දිනාගැනීමට එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඉඩ ලැබුණේ ආණ්ඩුව විසින් කළ මෙවැනිම ජාතිවාදී ක‍්‍රියාවන් නිසාය. උමා මහේෂ්වරන්, සභාරත්නම් වැනි ප‍්‍රගතිශීලී අදහස් දැරූවන් මරා දැමීමටත් 1986 මැයි මාසයේදී ටෙලෝ සංවිධානය ද 1986 දෙසැම්බර් මාසයේදී ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය ද විනාශකර අනෙකුත් සංවිධාන ද කුඩු පට්ටම් කිරීමටත් එල්.ටී.ටී.ඊ.යට අවස්ථාව ලැබෙන්නේ සිංහල ජාතිවාදයේ නැඟීම විසින් උදාකරන ලද තත්වයන් මතය. දෙමළ සමාජයේ සිටි අන්ත ජාතිවාදී නොවන්නන් පසෙකට විසිවී ගොස් අන්ත ජාතිවාදී අදහස් දැරූ ප‍්‍රභාකරන් ඉදිරියට ආවේ සිංහල ජාතිවාදය විසින් දෙමළ සමාජය තුළ වර්ධනය කළ ආකල්ප ප‍්‍රයෝජනයට ගනිමිනි. ආණ්ඩුවත් ඊට හිතවත් මාධ්‍යත් සිංහල ජාතිවාදී අදහස් පුනරුච්චාරණය කරන වේගයට සමානුපාතිකව දෙමළ සමාජය තුළ ද මධ්‍යස්ථ මතධාරීන් ඇදවැටී ජාතිවාදයට ඉඩප‍්‍රස්ථා නිර්මාණය වෙයි. 1985-1986 කාලවකවානුව තුළ සිදුවූයේ එයයි. දැන් සිදුවෙමින් පවතින්නේ ද එයයි. දෙමළ විද්වතුන් පවසන ආකාරයට ආණ්ඩුවේ ජාතිවාදයට මතවාදී ලෙස එරෙහි වූ නායකයන් ඉක්මවා ජාතිවාදී සන්නද්ධ ක‍්‍රියාකාරීත්වය ඉදිරියට ඒමට හේතුව ආණ්ඩුව මතවාදයට මතවාදයෙන් නොව තුවක්කුවෙන් හා ප‍්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දීම ආරම්භ කිරීමයි. --මේ අයට වෙන භාෂාවකින් කතා කර වැඩක් නෑ” යන මතය දෙමළ සමාජය තුළ තහවුරු වූයේ හමුදාව මැදිහත්කර සිදුකළ ප‍්‍රචණ්ඩ සිදුවීම් ගණනාවකින් පසුවය. දැන් යළිත් පුනරුච්චාරණය වන්නේ එයමදැයි ගැඹුරෙන් සිතාබැලිය යුතුය.
මේ අකාරයට සිංහල-දෙමළ සමාජ අතර ප‍්‍රතිවිරෝධය සංකීර්ණ කිරීම සමාජ යහපැවැත්මට බරපතළ හානියක් කරයි. එය මීට පෙර තිස් අවුරුදු යුද්ධයකට රට ඇදදැමූ අතර අනාගතයේදී හැට අවුරුදු යුද්ධයකට වුවත් රට ඇදදැමිය හැක. පත්තර පිටු පුරා ජාතිවාදය වපුරන්නන් කරන්නේ පීඩිතයන් අතර ජාතිවාදයේ උග‍්‍ර විෂ පතුරුවා හැර පීඩිතයන් භේද කිරීම හා මාරාන්තික විෂබීජ එන්නත් කර සමස්ත සමාජයම රෝගී කරවීමෙනි. එය ඉතා බරපතළ අපරාධයක් වන අතරම අනාගතයේදී ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන තත්වයකි. පුවත්පත්වල ජාතිවාදය පතුරුවන මහත්වරුන්ට පොළොවට බහින්නැයි අප ආරාධනා කරන්නේ එහෙයිනි. ආණ්ඩුවට සිය දේශපාලනය ගමන් කරවීමට අන් මගක් නැත. ආණ්ඩුවේ දේශපාලනය ගමන් කරන්නේ සිංහල - දෙමළ ප‍්‍රතිවිරෝධය මතය. මේ ආණ්ඩුව නිර්මාණය කළ, ආණ්ඩුවට බලය දුන්, ආණ්ඩුව පදනම් වී ඇති බලවේගයන් ද ජාතිවාදී බලවේගයන්ය. ඒ නිසා සිය ජාතිවාදී ක‍්‍රියාවන් අවම වශයෙන් පාලකයාගේ දෘෂ්ටි කෝණයෙන් බලා හෝ පාලනය කිරීමේ හා කළමනාකරණය කිරීමේ හැකියාව ආණ්ඩුවට අහිමි වී ඇත. මේ තත්වය තුළ දෙමළ ජාතික සන්ධානයට ද ජාතිවාදයට තල්ලූවීම හැර අන් විකල්පයක් නැතිවනු ඇත. අවසානයේදී සිදුවී ඇත්තේ සිංහල පීඩිතයාට මෙන්ම දෙමළ පීඩිතයාට ද ජාතිවාදයේ විලංගු වැටීමයි.
මේ ජාතිවාදී යකඩ බිත්තිය පළාගෙන යාමේ කාර්යභාරය ඇත්තේ වමටය. ඒ සඳහා වමට සටන්කාමීත්වය මෙන්ම නිවැරැදි දෘෂ්ටියක් ද අවශ්‍ය වනු ඇත. එම කාර්යභාරය ඉටුකිරීමට වම අසමත් වුවහොත් 1985-86 යළි ප‍්‍රතිනිර්මාණය වීම වැළැක්වීමට අපට නොහැකි වනු ඇත. තවත් ජාතිවාදී යුද්ධයකට සමාජය ගොදුරුවීම වැළැක්වීමට අප අසමත් වනු ඇත.








