වියළි කලාපයේ කැකෑරෙන අව්වටත් ඔරොත්තු දීගෙන අවුරුදු ගණනාවක් මහ පොළොවේ සාරය උරාගෙන අහසට දලූ දාපු මහ ගසුත් ‘බුල්ඩෝසර්’ යකඩ යකාගේ තලයට වැඩි වෙලා ඔරොත්තු දුන්නේ නෑ. දෙපාරක් තුන්පාරක් මුරණ්ඩුකමට හෙල්ලිලා මුලූත් ගලවගෙන ඇදගෙන වැටෙන්නේ වේදනාවෙන් කෙඳිරිගාගෙන. පුංචි ගස්, පඳුරු, පැළ ගැන මොන කතාද? මේ ඔක්කෝම බුල්ඩෝසර් තලයෙන් තල්ලූවෙලා ගිහින් එකගොඩකට එකතු වෙනවා. ටික දවසක් වේළුණාම ගිනි තියන්න ලේසියි. පුංචි ගිනිකූරකින් පත්තු කරන ගින්දර මහා ජාලාවක් වෙලා ටික දවසකට කලින් කොළ පාටින් ජීවය පිරුණු හැමදෙයක්ම අඳුරු කළු අඟුරු, අළු, දූවිලිවලට පෙරළුවා. තැනින් තැන ඉතිරි වුණු මහ ගස් මේ දිහා බලාගෙන හුළඟට හෙලවුණේ තමන්ට අහිමි කරපු නෑදෑයෝ මතක් කර කර වැලපෙනවා වගේ. ඉන්පස්සේ ඉතිරි වුණේ අමු ම අමු මස් වගේ රතු පාට පස් මතුවුණු නැවුම් පොළොවක්. මේ නැවුම් පොළොවේ පැළවුණේ මොනවාද කියන එක තීරණය කරන්න අනාගතයට බාරයි. අපට නියම වුණේ මේ වර්ග කිලෝමීටර කිහිපය ඇතුළේ තාවකාලික නිවාස කියපු ටකරන් මඩු හදන්න. අපේ උපන් බිමේම අනාථයන් වුණු පිරිසකට අනාථ කඳවුරු හදන්න.
කාලය බොහෝම වේගයෙන් ඉගිළුණා. පොටවල් දහයේ කටුකම්බි වැටවල්, ආරක්ෂක මුරකපොලූ තරවෙලා අපේ ගමන් බිමන්වලටත් සීමා වැටෙද්දී, ඉදිකිරීම් වැඩ ඉක්මන් කරන්න කියලා කරපු ඉල්ලීම් නියෝග වෙලා, නියෝග තර්ජන දක්වා උත්සන්න වුණා.
ජීවී අජීවී හැමදෙයක්ම තුනී රතු පාට තට්ටුවකින් වහගෙන දූවිලි සුළි කැරකෙන තට්ට පොළොවේ රුපියල් අටසීයක පඩියකට මිනිස්සු වැලි, සිමෙන්ති, මැටල්, බ්ලොක් ගල්, පරාල, ටකරන් එක්ක හැප්පුණා. රස්සාවට විතරක් ම නෙවෙයි මරණය පෙනි පෙනී මරණයට යටින් ජීවිතයේ පිම්ම නන්දිකඩාල් කලපුවෙන් පැන්න, ඇඳිවත පිටින් විතරක් ආපු, අසරණ වෙච්ච තමන්ගේ ම මිනිස්සු පිරිසකට හිසට සෙවණක් ඉක්මනින් දෙන හදවතේ උවමනාවත් අපේ අය අතර තිබුණා. දවල් ? නැතිව එකදිගට මහන්සි වෙන අතරෙ පුංචි කාලේ ටී.වී. එකේ දැකපු සෝමාලියාවෙ, රුවන්ඩාවෙ දර්ශන මතක් වෙන සිද්ධිත් එක්ක ගෙවුණු දීර්ඝ දවස් මැද්දේ එක දවසක්.....
අක්කර පහක හරි හතරැස් කොටුවක් වුණු වැඩබිමක එක කෙළවරකින් කෝලාහලයක ලකුණු පෙන්නුම් කෙරුණා. නා නා ප‍්‍රකාර කටහඬවල් ගොඩක් මැද්දෙන් එකා පස්සෙන් එකා වේගයෙන් දුවන මිනිස් රූප දෙකක් මතුවුණා. ඔවුන් දුවගෙන ආවේ අපි ඉන්න පැත්තට. අපැහැදිලි දෙමළෙන් කෑගහන හඬවල් අතරින් කවුදෝ සිංහලෙන් ”හොරෙක්! හොරෙක්!!” කියලත් කෑගහනවා ඇහුණා. තත්පර කිහිපයක මේ සිද්ධි අතරින්ම වියරු කෑගෑමක් කරපු දෙවැනියා කොහෙන්දෝ අතට අහුවුණු උදැල්ලකින් පළමුවැනියාට කොටන්න උත්සාහ කළා. තවත් නම් බලාගෙන මැදිහත් නොවී ඉන්න බැරි මේ අලකලංචිය මැද්දට අපේ කාණ්ඩය කඩා පනිද්දී මමත් එතැනට පය ඉක්මන් කළා. සිද්ධිය මොකක්ද කියලා දැනගන්නත් කලින්ම කෝකටත් ඉස්සර වෙන අපේ අයියලා දෙන්නටම තඩිබාන්න පටන්ගනිද්දී මම මැදට ඇවිත් මරන්න ගිය මිනිහත් මැරෙන්න ගිය මිනිහත් දෙපැත්තකට කළා. වියරු කෝපයෙන් දැවෙමින් මිනිහෙක් මරන්න උදැල්ලත් අරන් පන්නපු මනුස්සයා අපේ අයගේ දෑත්වලට කිටි කිටියේ තදවෙලා ඉඳන්ම විලාප දිදී කිරි දරුවෙක් වගේ අඬන්න පටන්ගත්තා.
තරුණ විය යන්තම් පසුකරන්නෙක්. මාස ගාණකින් නොකපපු කොණ්ඩයත් රැවුලත් අකලට තැනින් තැන ඉදිලා තිබුණා. කේඩෑරි වුණු අතපය, කැහැටු ශරීර කූඩුව ඉරුණු කමිසයකිනුත් පාට පිච්චුණු පරණ සරමකිනුත් වැහිලා. ගින්දර පත්තුවුණු පපුවෙන් උතුරන වේදනාව විරූප වෙලා ඇඹරුණු මුහුණ දිගේ කඳුළු, හොටු, සෙම විදියට බේරෙද්දී ඉකි ගහ ගහ හුස්ම ඇද ඇද මොකක්දෝ කියන්න දඟලනවා. අපට නොතේරුණු දෙමළෙනුත් තේරුණු ගොළු භාෂාවෙනුත් ඔහු කියපු ඒ කඳුළු කතාවෙ සරල සිංහල තේරුම මේකයි.
යුද්ධයේ අන්තිම දවස් කිහිපය වෙනකොට සන්තකේටම ඉතිරි වුණු රෙදි කඩමාලූ ටිකත් පොදි කරගෙන ඔහු බිරිඳත් එක්ක මාස දහයක් වයස කොලූ පැටියත් තුරුලූ කරන් බෝට්ටුවකින් පැනලා එනවා. පරාජය ඉදිරියේ වියරුවෙන් ඉඳපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් ඒ බෝට්ටුවට වෙඩි තියනවා. හරි වැරැදි නොදන්නා උණ්ඩයට සිදුරු වෙන්නේ එවෙලෙත් කිරි සුවඳ හමන අර මාස දහයක පුංචි කොල්ලගේ පපුව. මර බයේ කලපුවෙන් එතෙර වෙලා බලනකොට ඔහු තුරුලූ කරන් ඉන්නේ යන්තම් මාස දහයක් වයස තමන්ගේ එකම දරුවගේ මළකඳ. කිරි දරුවෙක්ගේ කිරි සිනා මතක මැද විකල් වුණු සිහියෙන් ඔහේ මැණික් ෆාම් කඳවුරට ආපු ඒ තාත්තා ඉබාගාතේ ඇවිදින අතරේ දකින්න ලැබෙන්නේ හුරු පුරුදු මූණක්. තමුන්ගේ එකම දරුවට වෙඩි තියපු මිනීමරුවගේ මුහුණ. තාත්තා කෙනකුට ඊටත් වඩා දෙයක් උහුලන්න පුළුවන්ද?
කිලිනොච්චියේ පෙරළුණු වතුර ටැංකිය උඩ ඉඳන් ෆොටෝ ගත්ත මල්ලිලාට නොදැනුණාට තමන්ගේ අහිමි වුණු දරුවන් වෙනුවෙන් මේ කඳවුරු බිමේ අම්මලා තාත්තලා අඬපු කඳුළුවලින් ඉරණමඩු වැව වුණත් පුරවන්න තිබුණා. මෙහෙ විතරක් නෙවෙයි, මේ කාලකණ්ණි යුද්ධෙටම යටවුණු, අවුරුදු දහඅටක් - විස්සක් තිස්සේ දුක් විඳලා හදපු වඩපු තමන්ගේ තරුණ පුත්තු වෙනුවෙන් දකුණේ අම්මලා තාත්තලා අදටත් අඬන කඳුළු. තිස් අවුරුද්දක් තිස්සේ දෙපැත්තක මිනිස්සු තමතමන්ගේ දරුවන් වෙනුවෙන් කොච්චර නම් දුකක් දෙපැත්තක ඉඳන් උහුලන්න ඇද්ද? ඒ කවුරුත් කාගේ හරි දරුවෝ. කාගේ හරි අම්මලා තාත්තලා.
මෙතැන විතරක් නෙවෙයි! මීට අවුරුදු විසිතුනකට කලින් බාගෙට පිච්චුණු ටයර් සෑයවල් මැද නහය කාගෙන යන අමු මිනී මස් පුළුටු ගඳ අතරේ තමන්ගේ ආදරණීය දරුවන්ගේ සුවඳ හොයපු අම්මලා තාත්තලා කීදාහක් මේ රටේ හිටියද? පාරවල් දිගේ තැන තැන දාපු, ගඟවල් දිගේ පාවෙලා ආපු ඔළුව නැති මිනී කඳන්වල, එක සරම් කෑල්ලකින් උපන් ලපේකින්, තුවාල කැළලකින් තමන්ගේ දරුවන් අඳුනගෙන මොරදීපු අම්මලා තාත්තලා කොච්චර හිටියද? මහ පොළොවටත් නොකියා හුළඟක් වගේ අතුරුදන් වුණු තමන්ගේ ආදරණීය දරුපැටවු එනකල් අදටත් මගබලාගෙන ඉන්න අම්මලා තාත්තලා කීදාහක් මේ රටේ කී පොළක ඉන්නවද? කිරිබත් මුට්ටිවලින්, මානෙල් මල් වට්ටිවලින් මූණු වහගෙන තමන්ගේ ම මතකයට පස්ස හරවපු ජාතියකට හැරුණාම කාටවත් මේවා අමතක වෙන්න බැහැ. උණහපුළුවටත් උගේ දරුවා මැණිකක්. මං කියාගෙන ආපු කතාව මෙතැනින් නතර වුණේ නැහැ. ඒ තාත්තා කඳුළු හළාගෙන තමුන්ගේ කෝටු දෑතින් දරුවා නළවපු හැටි පෙන්නපු විදිය අදටත් මගේ ඇස් පියන් අතරේ රැඳිලා තියෙනවා. නොමැකෙන්නම.
- බුද්ධික නෙළුගොල්ල







