ජනතාව මත දිගින් දිගටම බර පටවමින්, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහෝසිකරමින් ගෙන යන ඒකාධිපති පාලනය නවතා ආණ්ඩුව වහා යහ පාලන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුව ඇති බව ජාතික භික්ෂු පෙරමුණ පවසයි.
එම පෙරමුණ විසින් අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූ ජාතික භික්ෂු පෙරමුණේ ප‍්‍රධාන අනුශාසක මහාචාර්ය අත්තන්ගනේ රතනපාල හිමියන් පෙන්වාදුන්නේ ආණ්ඩුවේ සංවර්ධනය බොරු මාධ්‍ය සංදර්ශණවලට සීමා වී ඇති බවයි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය අත්තන්ගනේ රතනපාල හිමි:
රටේ යුද්ධය ඉවර වෙලා තිබුණත් ගෙදර යුද්ධය දරුණු වෙලා. කුස්සියේ යුද්ධය එන්න එන්නම වැඩි වෙනවා. අපි හිතුවා රටේ යුද්ධය ඉවර වෙද්දී ගෙදර යුද්ධයත් ඉවර වේවි කියලා. නමුත් සිදු වී තිබෙන්නේ ගෙදර යුද්ධය වට ගණනාවකින් ඉහළ යෑමයි. මේ ගෙදර යුද්ධය භික්ෂූන්වහන්සේ හැටියට අපිටත් බලපා තිබෙනවා. ගෙදර ආදායමත් සමඟ පන්සල දානේ වේලක් දීම ප‍්‍රශ්නයක් වෙලා තියෙනවා. අපේ දායකයන් පන්සලේ දානේ වේල මඟ හරින්නේ නැහැ. නමුත් ඒ දානේ වේල අපිට දෙන්නේ ගෙදර දරුවා වේලක් දෙකක් බඩගින්නේ තියලා වෙන්න පුළුවන්.ඉහළ යන බඩු මිලට සාපේක්‍ෂව ආදායම වැඩි වෙලා නැහැ. රජ්‍ය සේවකයාගේ, පෞද්ගලික අංශයේ සේවකයාගේ වැටුප් වැඩි කිරීමට ක‍්‍රමවේදයක් සකස් කර නැහැ. ව්‍යාපාරිකයාගේ ගොවියාගේ අදායම වැඩි වෙන්නේ නැහැ. ඒ සඳහා නිවැරදි ආර්ථික ක‍්‍රමවේදයක් නැහැ. ප‍්‍රවාහන ගාස්තු අඩුවෙලා නැහැ. ඒ වෙනුවට දිනෙන් දින බඩු මිල වැඩිවෙනවා.
දේශීය ආර්ථික ගැන කතා කරන ආණ්ඩුව පිටරටින් ආහාර ද්‍රව්‍ය ආනයනය දවසින් දවස වැඩි කරමින් සිටිනවා. ගොවියන් දිරිගන්නවන්න වැඩසටහනක් නැහැ. ඒ නිසා රටේ ආර්ථිකය වේගයෙන් කඩා ගෙන වැටෙනවා. ආණ්ඩුවට මේ පිළිබඳ විසඳුමකට පැමිණෙන්න ක‍්‍රමවත් සැළසුමක් නැහැ. අපි ආණ්ඩුවට බලකර කියා සිටිනවා මේ ප‍්‍රශ්නයට විසඳුමක් ලබා දෙන ලෙසට.
ආණ්ඩුව දැන් යහපාලනයකට මාරු වෙන්න ඕන. ඒ සඳහා වංචා දූෂණ නැති කරන්න ඕන. ජනතාව මත අනුකම්පාවකින් තොරව අසීමිත ලෙස පටවන බදු බර අඩු කරන්න ඕන. හොරකම් නැති කරන්න ඕන. පසුගිය කාලයේ ස්වාභාවික ආපදා නිසා විශාල ලෙස ගොවි ජනතාවගේ වගාවන් විනාශ වුණා. ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර විනාශ වුනා. රජයක් ලෙස ඒ ගොවි ජනතාවට සහන ලබාදිය යුතුයි. ව්‍යාපාරිකයන්ට ප‍්‍රාග්ධනය ලබා දිය යුතුයි. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළ යුතුයි.මේ කිසිවක් නොකර ආණ්ඩුව බදු බර වැඩි කරමින් සිටිනවා. ධර්මයේ සඳහන් වෙන්නේ ‘‘අක්‍රෝධෝ අවිහිංසාච’’ රාජ්‍ය පාලකයා ජනතාවට ක්‍රෝධ නොකළ යුතුයි අවිහිංසාවෙන් රට පාලනය කළ යුතුයි. නමුත් දැන් පාලකයන් කතා කරන්නේ වියරුවෙන් ක්‍රෝධයෙන්. ප‍්‍රචණ්ඩත්වය රට පුරාම. ‘‘කන්තේච අවිරෝධතා’’ ඉවසීමෙන් යුතුව ජනතාව සමඟ විරෝධතාවයෙන් තොරව රට පාලනය කළ යුතුයි. විශේෂයෙන් පශ්චාත් යුධ සමය ගැන ධර්මයේ වගේම ඉතිහාසයෙනුත් අපිට පාඩම් තියෙනවා. ‘‘සචේ පුරිසා මම ප‍්‍රජා’’ යනුවෙන් ධාර්මිකව සියලූ රට වැසියන් දරුවන් සේ සළකා කටයුතු කළ යුතු බව පවසා තිබෙනවා. ධර්මාශෝක රජු කාලිංඝ මහා යුද්ධයෙන් පසු රට පාලනය කළ අයුරු කාටත් ආදර්ශයක්. දුටුගැමුණු රජතුමා තමන්ගේ සතුරා වෙනුවෙන් සොහොන ඉඳිකළා පමණක් නොව එම සොහොන ලඟින් යද්දී අසු පිටින් බසින්නටත්, හිස් වැසුම් ගළවා ආචාර කරන්නටත් නීති පැනවුවා.
නිෂ්පාදන ආර්ථිකයටකට ජනතාව යොමු කරනවා වෙනුවට දැන් කියනවා වවාගෙන කන්න කියලා. පසුගිය කාලයේ ගෙන ආ ව්‍යාපෘති බැනර් වලට හා සටන් පාඨ වලට පමණක් වියදම් කළා.
ජාතික භික්ෂු පෙරමුණ ලෙස අපි කියනවා රජයට මේ වංචා දූෂණ හොරකම් නවත්වා ජනතාවට ආදර්ශයක් ලබාදී සහන ලබා දෙන්න කියලා.දේශයක් වෙනස් කරන්න පාලකයන් ආදර්ශවත් වෙන්න ඕන. රටක සදාචාරයක් තිබෙන්න ඕන. නීතියක් තිබෙන්න ඕන. රට ගොඩනගන්න සැබෑ වුවමනාවක් ඇති බව ජනතාවට පෙන්වන්න ඕන. එවිටයි ජනතාව ධෛර්යමත්ව ඒ සඳහා කැපවීම් කරන්නේ.
මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික භික්ෂු පෙරමුණේ අනුශාසක මණ්ඩල සාමාජික ශාස්ත‍්‍රපති හඳුගල රතනපාල නාහිමි, ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය ලේකම් ශාස්ත‍්‍රපති වකමුල්ලේ උදිත හිමි සහ ජාතික භික්ෂු පෙරමුණේ නියෝජ්‍ය සභාපති ශාස්ත‍්‍රවේදී ලූණුගම්වෙහෙර කල්‍යාණරංසි හිමිද සහභාගී වූහ.










Comments
Thamanta thamawa palanaya karaganta nohaki minihata ratak palanaya kirimata nohaka.