A+ R A-

උතුරේ සිවිල් ජනජීවිතය වහා ස්ථාපිත කළ යුතුයි - ජ.වි.පෙ. අවධාරණය කරයි

E-mail Print PDF

උතුරේ සිවිල් ජන ජීවිතය ස්ථාපිත කිරීමට ආණ්ඩුව වහා ක්‍රියා කළ යුතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. අද කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ යුද්ධය අවසන්වී මාස 22ක් ගතව ඇතත් උතුරේ ජනතාවට ජීවත්වීමට අවශ්‍ය අවම පහසුකම් හෝ ලැබී නොමැති බවයි.

එහිදී අදහස් දැක්වී ටිල්වින් සිල්වා මහතා මෙසේද පැවසීය: 

යුද්දය අවසන්වී මාස 22ක් ගතව ඇතත් උතුරේ සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීමට ආණ්ඩුව අසමත්වී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග කිසිවක් ගෙන නැහැ. ඒ වෙනුවට ජනතාව බියවද්දමින් තර්ජනය කරමින් සිටිනවා. එම ජනතාවට නිදහසේ දේශපාලන කටයුතු කිරීමට අවසර නැහැ.  විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අපේක්‍ෂකයින්ට දිගින් දිගටම තර්ජන කරමින් සිටිනවා. අප ඒ පිළඳව මැතිවරණ භාර නියෝජ්‍ය පොලිස්පතිතුමාටත් පැමිණිලි කර තිබෙනවා. නමුත් තවමත් එවැනි තර්ජනය කිරීම් හා බියවැද්දීම්වල අඩුවක් නැහැ.

උතුරේ ජනතාවට නිදහසේ ජීවත්වෙන්න, නිදහසේ ගමන් බිමන් යන්න, පීඩනයකින් තොරව ජීවත් වෙන්න අවශ්‍ය අත්‍යවශ්‍ය තත්ත්වයන් සකසා නැහැ. එය ඍජු ලෙසම ජාතික සමඟියට බලපානවා. ඔවුන්ට සමානව සළකන්නේ නැති බව ඔවුන්ට දැනීම ජාතික සමඟිය බිඳ වැටීමට හේතු වෙනවා.  ඒ නිසා උතුරේ සිවිල් අයිතීන්, සිවිල් පරිපාලනය ස්ථාපිත කරන ලෙස අපි ආණ්ඩුවට බලකර කියා සිටිනවා.

යුද්ධයෙන් අවතැන්වූවන් විශාල ප‍්‍රමාණයක් සිටිනවා. නැවත පදිංචි කරනවා යැයි පම්පෝරි ගසා බොරු කියමින් අසරණ ජනතාව බස්, ලොරි වලින් ගෙන ගොස් මහ මඟ දමා ඇවිත් තිබෙනවා. ඔවුන්ට ටකරන් කෑලි කීපයක් පමණයි දී තිබෙන්නේ. ඔවුන් කොහේට හරි ටකරමක් හේත්තු කරගෙන ජීවත් වෙනවා. නැවත පදිංචිකරවනවා කියන්නේ ගම්වලට ගෙනගොස් අතහැර පැමිණීම නොවෙයි. ඔවුන්ට ජීවත් වීම සඳහා අවම ලෙස අවශ්‍ය කරන නිවාස සාදා ගැනීමට අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය සැපයිය යුතුයි. ඔවුන්ට ජීවන මාර්ගයක් ගොඩ නඟා ගැනීමට අවශ්‍ය උපකාර කළ යුතුයි. අවශ්‍ය තත්ත්වයන් සකසා දියයුතුයි . ඒ සඳහා වන මූලික අඩිතාලම සැකසිය යුතුයි. විදෙස් සංවිධානවලට කියනවා සංඛ්‍ය ප‍්‍රමාණවලින් අහවල් ප‍්‍රමාණයක් නැවත පදිංචි කළ බව. නමුත් එසේ අවශ්‍ය අවම මූලික පහසුකම් හෝ සපයා විධිමත් ලෙස නැවත පදිංචි කිරීමක් සිදුවී නැහැ.

This content has been locked. You can no longer post any comment.