Posted on 10.13.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් අද(13) දින දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් ස්ථාන කිහිපයක උද්ගෝෂණ සංවිධානය කර තිබුණි.
ඒ අනුව කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට, යාපනය, කිලිනොච්චිය සහ වව්නියාව නගරයන්හිදී මෙලෙස උද්ගෝෂණ සංවිධානය කර තිබූ අතර ඒ සඳහා වාමාංශික දේශපාලන ව්‍යාපාර සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සම්බන්ධ විය.
එමෙන්ම යාපනය නගරයේ සියලු කඩ සාප්පු වසා දමා හර්තාල් ව්‍යපාරයක් සිදු කරමින් මෙම විරෝධතාව සඳහා සහයෝගය ලබා දීමට කටයුතු කර ඇත.
මර්ධනකාරී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු කර ගත නොහැකිව සහ විවිද හේතූන් මත නඩු කල් දමමින් 130කට ආසන්න දේශපාලන සිරකරුවන් ප්‍රමාණයක් මේ වන විට ආණ්ඩුව අත්තනෝමතික හා පදනම් විරහිතව විශාල කාලයක් පුරාවට රඳවා තබා ගෙන සිටීමට එරෙහිව මෙලෙස විරෝධතාකරුවන් උද්ගොෂණයේ නියැළුණි.
මෙම අසාධාරණ රඳවාගැනීම වඩා තිව්‍ර කරමින් පසුගියදා දේශපාලන රැඳවියන් පිරිසකගේ නඩු කටයුතු වවුනියාව අධිකරණයෙන් ඉවත් කර අනුරාධපුර අධිකරණය වෙත මාරු කිරීම හේතුවෙන් අදාළ නඩු ක්‍රියාවලිය මුළුමනින්ම ජාතිවාදී ස්වරූපයකින් ක්‍රියාත්මක වෙමින් පවතින අතර අදාළ ක්‍රියාවලිය හේතුවෙන් මෙම සිරකරුවන්ගේ නඩු කටයුතු තව තවත් දීර්ඝ වෙමින් ඇත.
මෙම අසාධාරණ පදනම් විරහිත ක්‍රියාවලියට එරෙහිව පසුගියදා සුලක්ෂන්, දර්ශන් සහ තිරිවරුවල් යන රැඳවියන් තිදෙනා ආරම්භ කරන ලද මාරාන්තික උපවාසය මේ වන විට දින 18ක් සම්පූර්ණ කර ඇති අතර එක් රැඳවියකුගේ සෞඛ්‍ය තත්වය මේ වන විට අතිශය බරපතල තත්වයක පවතින බවද වාර්තා වේ.
කෙසේ වෙතත් අදාළ ජීවිත සම්බන්ධයෙන් හෝ කිසිඳු වගවීමක් නොමැති බව ආණ්ඩුවේ මේ හා සම්බන්ධව ගනිමින් සිටින ක්‍රියාමාර්ග හරහා මැනවින් පැහැදිලි වේ.
ජාතිකවාදී ප්‍රවේශයන් පෝෂණය කරලීම වෙනුවෙන් සිය යාන්ත්‍රණයන් භාවිත කර ආණ්ඩුව දේශපාලන සිරකරුවන් නිදහස් කරලීම දිගින් දිගටම මඟහැර කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් වසර ගණනාවක් පුරාවට පදනම් විරහිතව අතිශය අසාධාරණ ලෙස බන්ධනාගාර තුල සිය ජීවිත දියකර හරිමින් සිටී.
