යළි දත් විලිස්සන වෘකයන්!

මැයි මස 20වන දා රාත්‍රියේ කුරුණෑගල, මල්ලවපිටියේ මුස්ලිම් මස්ජීදයකට කිසියම් පිරිසක් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එම මුස්ලිම් විරෝධී ප්‍රහාරය වාර්තා වුයේ ආසන්න සති කිහිපය තුළ අම්පාර දිස්ත‍්‍රික්කයේ ඉරක්කමාම්, පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ඕනගම, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර සහ කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය ප්‍රදේශ වල සිදුවූ ප්‍රකෝපකාරී සිදුවීම් වලට අමතරවය.

මේ සියලු සිදුවීම් පෙන්වන්නේ ජාතිවාදී සහ ආගම්වාදී නොසන්සුන්තාවක් උත්සන්න වීමේ අනතුර ඇති බවයි. මෙම ජාතිවාදී ප්‍රකෝප කිරීම් සංවිධානාත්මක ඒවා බවටද සාක්ෂි තිබේ. නිදසුනක් ලෙස බොදු බල සේනා සංවිධානයේ ගලබොඩඅත්තේ ඥානසාර හිමි මැයි මස 17වැනිදා මනෝ ගනේෂන් ඇමතිවරයා හමුවී ප්‍රකෝපකාරී ලෙස හැසිරීම සහ මේ රට සිංහල බෞද්ධයන්ගේ රට ලෙස පිලිගන්නවාදැයි ඇමතිවරයාගෙන් ප්‍රශ්න කිරීම මෙම ප්‍රකොපකාරීත්වයන් පිටුපස ජාතිවාදී සංවිධාන ඇති බවට සාක්ෂි සපයයි. බොදු බල සේනා සංවිධානයට අමතරව සිහල රාවය, රාවණා බලය ආදී නම් වලින් විවිධ කණ්ඩායම් මුස්ලිම් විරෝධයක් ප්‍රචාරය කරන අතර එම සංවිධාන බොහොමයක නායකත්වය බෞද්ධ භික්ෂුන්ගෙන් සමන්විත වීම විශේෂයකි. මේ දිනවල මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවන තර්ජන, ප්‍රහාර, මුස්ලිම් දේවස්ථාන වලට පහර දීම ආදී සිදුවීම් පෙන්වන්නේ සිංහල ජනතාව සහ මුස්ලිම් ජනතාව අතර ඓතිහාසිකව ගොඩ නැගී තිබෙන සම්බන්ධය බිඳ දමා ජාතිවාදී ලෙස විරසකයන් ඇති කිරීමේ සංවිධානාත්මක උත්සාහයක් දියත් වන බවයි. මේ අතර උතුරේ මහ ඇමති සී.වී.විග්නේශ්වරන් උතුරේ රැඳී සිටින ආරක්ෂක හමුදාවට ඉවත් වන්නැයි කියා උතුරේ ජනතාව වීදි බසින දවසක් නුදුරේදීම උදාවෙනු ඇතැයි මැයි මස 18 වැනිදා කළ ප්‍රකාශයත්, එයට දකුණෙන් එන ප්‍රතිචාරත් විසින් සිංහල සහ දෙමල ජන කොටස් අතරද විරසකභාවයක් යලි මෙරීමේ අනතුරක් උද්ගතව තිබේ. කෙටියෙන් කියන්නේනම් ලංකාවේ සිංහල, දමිළ, මුස්ලිම් ජන කොටස් අතර ජාතිවාදී සහ ආගම්වාදී පදනමින් ප්‍රශ්නයක් ඇතිකරලීමේ සිදුවීම් සිදුවෙමින් පවත්යී. එමෙන්ම ඒවා වේගයෙන් ප්‍රසාරණය වෙමින් පවතී.

ලංකාවේ මෙම වර්ධනය වෙමින් පවතින තත්වයන් පැහැදිලිවම ජාත්‍යන්තර තත්වයන් සමගද බැඳී පවතී. අප මෑත කාලයේදී මෙවැනි ප්‍රවණතා නිරීක්ෂණය කලේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ප්‍රංශයේ ජනාධිපතිවරණ වලදීය. 2016 නොවැම්බර් 8 දින පැවැත්වුණු ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරනයේදී ප්‍රවණතා කිහිපයක් පෙරට පැමිණ තිබිණි. එකක් හිලරි ක්ලින්ටන්ගේ නව ලිබරල් ප්‍රතිපත්තිය එලෙසම ගෙන යාමේ ප්‍රවනතාවයි. දෙවැන්න ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතිවාදී සහ වර්ගෝත්තමවාදී ප්‍රවනතාවයි. තෙවැන්න බර්නි සෑන්ඩර්ස්ගේ වාමාංශික ප්‍රවනතාවයි. මේ අතරින් බර්නි සෑන්ඩර්ස් එක්සත් ජනපද ඉතිහාසයේ සමාජවාදය පිලිබඳ සටන්පාඨය හිමිකරගත් ඉහලම මැතිවරණ ප්‍රතිපලය හිමි කරගත් අතර අවසානයේදී හිලරි ක්ලින්ටන්ගේ නව ලිබරල් ව්‍යාපෘතිය පරාජය කරමින් සම්ප්‍රදායික දේශපාලන ප්‍රභුවට අයත් නොවන, දේශපාලන ධාරාවෙන් පිටස්තරයෙකු හා ව්‍යාපාරිකයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළේය. ඔහු සුදු ජාතිවාදය, මුස්ලිම් විරෝධය, යුදවාදය, ආර්ථික ජාතිකවාදය, ස්ත්‍රී විරෝධය ආදී සකලවිධ දුර්ගුණාංග ප්‍රදර්ශනය කළ අයෙකි.

ප්‍රංශ ජනාධිපතිවරණයේ වේදිකාවද මෙවැනි ප්‍රවණතා ගණනාවක රඟ මඩලක් විය. තට්ටු මාරු ක්‍රමයට ප්‍රංශය පාලනය කළ සමූහාණ්ඩුවාදී පක්ෂය සහ සමාජවාදී පක්ෂය නව ලිබරල් පිළිවෙත ඉදිරියට ගෙන යාම සිය ප්‍රතිපත්තිය ලෙස ඉදිරිපත් කළහ. එමානුවෙල් මැක්රෝන් ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතිය සහ විධානය වැනි සටන්පාඨ ඉදිරිපත් කරමින් සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළේය. ලේ පෙන් ජාතිවාදය, මුස්ලිම් සහ යුදෙව් විරෝධය, සංක්‍රමණික කම්කරු විරෝධය සහිත ප්‍රවනතාවක් නියෝජනය කළාය. ජීන් ලුක් මෙලන්ශෝ සමාජවාදය සිය විසඳුම ලෙස දැක්වීය. අප්‍රේල් 23 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයේ පළමු වටයෙන් මැක්රෝන් 24%ක්ද, ලේ පෙන් 21%ක්ද, සමූහාණ්ඩුවාදී පක්ෂයේ අපේක්ෂකයා වූ ෆිලන් 20%ක්ද, මෙලන්ශෝ 19.5%ක්ද හිමි කරගෙන ඡන්ද සමානුපාතිකව මෙම ප්‍රවණතා අතර බෙදුණි. වැඩිපුරම ඡන්ද ලබාගත් අපේක්ෂකයන් දෙදෙනා අතර මැයි මස 7වැනිදා පැවැත්වූ දෙවන වටයෙන් ජාතිවාදී ලේ පෙන් පහසුවෙන්ම පරදා මැක්රෝන් ජය ගත්තේය. මෙලන්ශෝ ලැබූ ඡන්ද ප්‍රතිශතය වාමාංශික ප්‍රවනතාවක් මෑත කාලයේදී ප්‍රංශයේ ලැබූ ඉහලම ජනතා ප්‍රතිචාරයයි. මෙම උදාහරණ දෙක පෙන්වන දේශපාලන පදනම කෙටියෙන් ගතහොත් අපට මෙසේ එය සංක්ෂිප්ත කළ හැක.

නව ලිබරල් ප්‍රතිපත්තිය ජනතාව අතර විරෝධය අවුළුවා ඇති අතර එය තව දුරටත් වලංගු නැත. එමෙන්ම එම ප්‍රතිපත්තිය පදනම් කරගත් සම්ප්‍රදායික දක්ෂිනාංශික පක්ෂ පිළිබඳව සහ ඒවායේ සම්ප්‍රදායික නායකත්වය පිළිබඳව ජනතා විශ්වාසය අහෝසි වී ඇත. මෙම තත්වය හමුවේ දේශපාලන විකල්ප ලෙස මතුවී ඇත්තේ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදය, ජාතිවාදය සහ සමාජවාදයයි. ලොව පුරා රටවල විවිධ ආකාරයෙන් මෙම ප්‍රවණතා ශක්තිමත් වෙමින් තිබෙන අතර ඇතැම් තැන වල ලිබරල් නායකයන්ද, තවත් තැන වල වාමාංශික හැඩයක් ගත් ව්‍යාපාරද ජය ගනිමින් තිබේ. ග්‍රීසියේ සයිරිසා ව්‍යාපාරයේ ජයග්‍රහණය සහ ජෙරමි කොබින් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායකත්වයට පත්වීම එවැනි වාමාංශික ප්‍රවණතා පිලිබඳ උදාහරණය. එමෙන්ම ලොව ඇතැම් රටවල අර්බුදය හමුවේ ජාතිවාදය සහ ආගම්වාදය ශක්තිමත් වෙමින් තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ ප්‍රතිපලය සහ පසුගිය සතියේ ජර්මන් හමුදාව තුල රහසේ ක්‍රියාත්මක වූ නව ෆැසිස්ට් දේශපාලන ජාලයක් අනාවරණය වීම මේ සඳහා ආසන්නම උදාහරණය. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි ජය ගැනීම, පිලිපීනයේ නැගී එන ජාතිවාදී ප්‍රවණතා ආදිය අපේ කලාපයේ උදාහරණ වේ. ලංකාව තුලද අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වන්නේ මෙම දේශපාලනයයි.

ලංකාව තුල 1977 සිට නව ලිබරල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වූ අතර ගෙවුණු වසර 40 තුල  අසාර්ථකත්වය මැනවින් ප්‍රදර්ශනය වී තිබේ. ලංකාවේ ජනතාවගෙන් 40%ක් තවමත් ලබන්නේ ඩොලර් 2කට අඩු දෛනික ආදායමක් බව අගමැතිවරයාම පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ අතර එක්සත් රාජධානිය පදනම් කරගත් නයිට් ෆ‍්‍රෑන්ක් ආයතනය නිකුත් කල 2016 වාර්තාව පවසන්නේ සුපිරි ධනවතුන් සංඛ්‍යාව වර්ධනය වීමේ වේගය අතින් කොළඹ නගරය ලොව දෙවන ස්ථානය හිමි කරගෙන සිටින බවය. අවසාන ශේෂ පත්‍රය වනුයේ නව ලිබරල් ප්‍රතිසංස්කරණ විසින් එක අන්තයක ධනය ගොඩ ගසා අනෙක් අන්තයේ බහුතරයකට දිළිඳු බව උරුම කිරීමයි. දැනට ක්‍රියාත්මක වන විශ්‍රාම වැටුප කප්පාදු කිරීම, ඊ.පී.එෆ්. අරමුදලට බදු ගැසීම, කම්කරු නීති කප්පාදුව, මෑන් පවර් වැනි වහල් ක්‍රම ව්‍යාප්ත කිරීම, කෘෂිකාර්මික ඉඩම් බහු ජාතික සමාගම් සතු කිරීම, කෘෂිකර්මයේ සහන අහිමි කිරීම, අධික ලෙස බදු බර පැටවීම, අධ්‍යාපනය-සෞඛ්‍ය සේවය වැනි සමාජ ආරක්ෂණ සේවා වෙලඳ භාණ්ඩ බවට පත් කර එහි බර ජනතාව මත පැටවීම ආදී මෙකී නොකී නව ලිබරල් ප්‍රතිසංස්කරණ මගින් සිදු වන්නේ මේ විනාශය තව තවත් ගැඹුරු වීමයි. මේ හැම පියවරකටම එරෙහිව දැවැන්ත ජනතා උද්ඝෝෂණ මතුවී තිබෙන අතර තව දුරටත් නව ලිබරල් ධනවාදයේ වලංගුතාව අහෝසි වී තිබේ. ලංකාව තුලද මෙය සිදු වන්නේ සම්ප්‍රදායික දක්ෂිනාංශික පක්ෂ සහ ඒවායේ නායකයන් පිලිබඳ විශ්වාසය බරපතල ලෙස බිඳ වැටුණු තත්වයක් තුලය. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිලිබඳ ජනතා පදනම් වේගයෙන් දිරාපත් වී තිබෙන අතර ඉතිහාසයේ පළමු වරට එම පක්ෂ දෙක හවුල් ආණ්ඩුවක් සඳහා එකතු වීම මගින් මෙම පිරිහීම වේගවත් වී තිබේ. දැන් ලංකාවේ ජනතාව සතුව තිබෙන විකල්ප මොනවාද?

2015 ජනාධිපතිවරණයේදී විකල්පය ලෙස ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍යය, සමාජ වෙළඳපල ආර්ථිකය ආදී සංකල්ප වලින් විස්තර කරන ලද සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී පන්නයේ වැඩපිළිවෙලක් ඉදිරිපත් විය. නමුත් වසර දෙකක ඉතා කෙටි කලක් තුල ඒ පිලිබඳ සමාජ පදනම් මුළුමනින්ම පාහේ දියකර හැර තිබේ. වත්මන් ආණ්ඩුව තමන්ට ජනතාවගේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලබා දීම කෙසේ වෙතත් අවම වශයෙන් නීතිය තුල ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදු කිරීමවත් තමන්ට කල නොහැකි බව, එසේත් නැතිනම් තමන් ඒ සඳහා සූදානම් නැති බව තහවුරු කර තිබේ. බැඳුම්කර වංචාව ඇතුළු වත්මන් ආණ්ඩුව සම්බන්ධ වංචා වලිනුත්, පසුගිය ආණ්ඩුවේ දුෂිතයන් ආරක්ෂා කිරීමෙනුත් යහපාලනය පිලිබඳ සටන්පාඨය විකාරයක් බවට පත්වී තිබේ. නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන්නේ එක පාර්ශවයකට පමණක් බවත් ආණ්ඩුවේ හිතවතුන්ට නීතිය අදාළ නොවන බවත් පෙන්වන උදාහරණ දැනටමත් ඇති තරම් තිබෙන අතර එම උදාහරණ සංඛ්‍යාව දිනපතා වැඩිවෙමින් තිබේ. ආණ්ඩුව පොරොන්දු වූ සමාජ වෙළඳපල ආර්ථිකය යනු අන් කිසිවක් නොව නම මාරු කල නව ලිබරල් ආර්ථිකයම බව සක් සුදක් සේ සමාජයට පැහැදිලි වී තිබේ. එනිසා තව දුරටත් සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් පිලිබඳ වලංගුතාවක් ලංකාවේ නැත. ජනතා විමුක්ති පෙරමුණ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී සටන්පාඨ ඔසවන්නට තැත් කරනමුත් ආණ්ඩුව එම සටන්පාඨ සියල්ල සමාජය ඉදිරියේ විහිළුවක් බවට පත් කර තිබීමත්, ජනතා විමුක්ති පෙරමුණ ආසන්න වසර 15ක පමණ කාලය තුල වරින් වර දක්ෂිනාංශික පක්ෂ දෙකින් එකක මුක්කුවක් බවට පත්වීම නිසා ජනතාවට ඒ පිලිබඳ විශ්වාසය තුරන් වී තිබීමත්, කම්කරු-ගොවි-ධීවර- ශිෂ්‍ය ආදී ජනතා ව්‍යාපාර පැත්තෙන් පන්ති සටන්පාඨ එසවී තිබීමත් නිසා එය තවදුරටත් විකල්පයක් ලෙස ඔසවාලිය නොහැක.

මෙම තත්වය තුල ලංකාවේ අර්බුදයට විකල්ප ලෙස ඉදිරිපත් වී තිබෙන්නේත්, තරඟ කරන්නෙත් ප්‍රවණතා දෙකකි. එකක් ජාතිවාදයයි. ඒකාබද්ධ විපක්ෂය විසින් ආකර්ෂණය කරගෙන සිටින බලවේග වලට ජාතිවාදය සහ ආගම්වාදය විසින් යම් උත්තේජනයක් ලබා දෙනු ඇත. මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටියදීත් සිය පැවැත්ම වෙනුවෙන් ජාතිවාදය භාවිතා කළ අතර යලි බලය ගැනීම සඳහාත් එයම භාවිතා කිරීමට නොපැකිලෙනු ඇත.

මුස්ලිම් විරෝධය දඩමීමා කරගත් අන්තවාදී සංවිධාන වලටත්, එම මතවාදය ශක්තිමත් කරන ඩෙ මල සහ මුස්ලිම් ජාතිවාදී සංවිධාන වලටත් තිබෙන අරමුණු කුමක් වුවත්, ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව රාජපක්ෂ බල ව්‍යාපෘතියට සවියක් වනු ඇත. එනිසා මේ හැම ජාතිවාදයකටම ඒ බල ව්‍යාපෘතියෙන් තල්ලුවක් ලැබෙනු ඇත. 2016 දෙසැම්බර් 4 වැනිදා සත්හඬ ඉරිදා පුවත්පත වාර්තා කල ආකාරයට පසුගිය ආණ්ඩු කාලයේදී ආණ්ඩුව මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් වලට සහ සිංහල ජාතිවාදී සංවිධාන වලට යන දෙකටම මුදල් යොදවා ඇත. එම පුවත්පත් වාර්තාවට අනුව මුස්ලිම්-ඉස්ලාම්  අන්තවාදී සංවිධානයක් වන තවුහිද් ජමාද් සංවිධානයත් සිංහල බෞද්ධ අන්තවාදී සංවිධානයක් වන බොදු බල සේනා සංවිධානයත් ඇතුළුව අන්තවාදී සංවිධාන ගණනාවකට  ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත ගිණුමකින් අරමුදල් සපයා ඇත. තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඩීන් මහතා යුද හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවකු බවද එම වාර්තාව පවසයි. මෙම ජාතිවාදයන් දෙකම මෙහෙයවීම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු හා පසුගිය ජනාධිපතිවරණය සමයේ ක්‍රියාත්මක වූ විශේෂ ආරක්ෂක මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා වූ මේජර් ජෙනරාල් එන්. එස්. ආර්. සොයිසා විසින් සිදු කල බවද එම පුවත්පත පවසයි. මෙම වාර්තාව සත්‍යනම් විවිධ ආකාරයේ ජාතිවාදයන් වර්ධනය කරමින්, ඒවා එකිනෙක මත පෝෂණය කරමින් පවත්වාගෙන යාම දේශපාලන ව්‍යාපෘතියක් බව ස්ථිරය.

දෙවැන්න හෙවත්, මෙම ජාතිවාදී ප්‍රවනතාවටත්, නව ලිබරල් ධනවාදයටත් එරෙහි සැබෑ විකල්පය වනුයේ සමාජවාදයයි. මේ දිනවල ශක්තිමත්ව නැගී එන නව ලිබරල් විරෝධී ජනතා උද්ඝෝෂණ විසින් ඉල්ලා සිටින්නේද සමාජවාදී හරයකි. නිදසුනක් ලෙස ශිෂ්‍යයන් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමට එරෙහිව අරගල කරන අතර එය යතාර්ථයක් කල හැක්කේ සමාජවාදයට පමණි. පසුගිය කාලයේ ටෙලිකොම් කම්කරුවන් මෑන් පවර් වහල් ක්‍රමය අහෝසි කර වඩාත් යහපත් ශ්‍රම කොන්දේසි වෙනුවෙන් අරගල කල අතර එය සමාජවාදී ප්‍රතිපත්තියකි. විශ්‍රාම වැටුප, ඊ.පී.එෆ්. ආදී සමාජ ආරක්ෂණ ආරක්ෂා කර ගැනීමට සටන් වදින කම්කරුවන් දැනගත යුත්තේ වැඩිහිටි වියේ ආරක්ෂණය ධනවාදය තුල ලබා නොදෙන සමාජවාදයේ ලබා දිය යුත්තක් බවය. සිය වාසස්ථාන අවට කුණු දැමීමට එරෙහිව අරගල කල ජනතාව තමන් පිලිබඳ තීරණ ගැනීමේ අයිතිය තමන්ට දෙන ලෙසත්, ගමේ කුණු දැමීම ගැන තීරණ ගැනීමට ගමේ වැසියන්ට අයිතියක් ඇති බවත් පැවසු අතර එය සමාජවාදයේ ප්‍රතිපත්තිය වන ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයයි. එනිසා නව ලිබරල් ධනවාදයට සහ එහි වෙස් මාරු කරගත් ස්වරූපය වන සමාජ-ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි සැබෑ විකල්පය වනුයේ ජාතිවාදය නොව සමාජවාදයයි. ජාතිවාදීන් උත්සාහ දරනුයේ ජනතාව මුහුණ දී තිබෙන සැබෑ ප්‍රශ්න වල ප්‍රතිපත්තිමය හේතුව වසන් කර, පීඩිත ජනතා එකිනෙකා ගහමරා ගැනීමට සලස්වා සැබෑ සතුරා සඟවා මේ අර්බුදය තවත් තීව්ර කිරීමටය. එබැවින් ඒ විනාශකාරීත්වය පරාජය කර සමාජය වාම විකල්පයක් වෙත ඔසවාලීමේ, සමාජවාදයට සමාජ අනුමැතිය ලබා ගැනීමේ දේශපාලනය තවත් වේගවත් කල යුතුය. යලිත් වරක් 2014 ජුනි 15 අලුත්ගම සිදුවූ ආකාරයේ ලැජ්ජාසහගත සිදුවීම් හෝ තිස් වසරක යුද්ධයේ විනාශකාරී සිදුවීම් හෝ ප්‍රති නිර්මාණය වීම වලක්වාගත හැක්කේ එවැනි දේශපාලනයකින් පමණි.

රවීන්ද්‍ර මුදලිගේ – සම අයිතිය ව්‍යාපාරය

(ලක්බිම පුවත්පතට සැපයූ ලිපියකි)

Save